ඉංගිරියේ අවතැන් සංඛ්‍යාව දසදහසක් | දිනමිණ

ඉංගිරියේ අවතැන් සංඛ්‍යාව දසදහසක්

 දිවයිනේ බොහෝ පෙදෙස්වලට ඇද වැටුණ අධික වර්ෂාව සමඟ ඉංගිරිය-කොළඹ මාර්ගය පාදුක්ක ලියන්වල ඇතුළු ප්‍රදේශ ගණනාවකින්ද , රත්නපුර - පානදුර මාර්ගයේ ඉංගිරියේ සිට රත්නපුර මාර්ගය නම්බපාන ප්‍රදේශයෙන්ද , පානදුර මාර්ගය බෝධිනාගල ආරණ්‍ය ප්‍රදේශයද ජලයෙන් සම්පූර්ණයෙන්ම යටවී සියලු ප්‍රවාහන කටයුතු ඇණහිටිනි. තවත් විකල්ප හා අතුරු මාර්ග රැසක්ද ගං වතුර මෙන්ම නාය යාම් , පස් කඳු කඩා වැටීම හා ගස් කඩා වැටීමෙන් අවහිර විය.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ආපදා සහන සේවා අංශයට මෙතෙක් ලැබී ඇති දත්ත අනුව නාය සහ ගං වතුර බලපෑමට ලක්ව පුද්ගලයන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් අවතැන්වී සිටිති.

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන දොළහක් දැඩි ලෙස මෙම උවදුරට ලක්ව තිබේ. හඳපාන්ගොඩ , වගවත්ත , කැකුළදොළ , රත්මල්ගොඩ බටහිර හා නැගෙනහිර, අරකාවිල , නම්බපාන , මහ ඉංගිරිය , ඌරුගල බටහිර හා නැගෙනහිර , දොඹගස්කන්ද , කැකුළලිය එම ප්‍රදේශ ලෙස දැනට හඳුනාගෙන තිබේ.මින් වැඩිම ආපදාව වගවත්ත ප්‍රදේශයට වන අතර එම පෙදෙසේ පමණක් අවතැන් පවුල් සංඛ්‍යාව 509කි. අවතැන් බොහෝ පිරිස් සිය නෑ හිතවතුනගේ නිවාසවල තාවකාලික පදිංචියට ගොස් ඇති අතර අනෙක් පිරිස් වෙනුවෙන් ප්‍රධාන කඳවුරු දෙකක් ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථානය සහ රයිගම්වත්ත දමිළ පාසල ආශ්‍රිතව පවත්වාගෙන යයි.

මේ සියල්ලන් හට පිසූ ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය දෑ ලබා දීමට ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, විවිධ ස්වේඡා සංවිධාන සහ ප්‍රදේශයේ දානපතීන් ඇතුළු පරිත්‍යාගශීලීන් පියවර ගෙන ඇති අතර ත‍්ත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක් එම ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාන යන බව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීහු පැවැසූහ. අනතුරුව හානියට පත් නිවාස හා අනෙකුත් දෑ ගොඩනගා ගැනීම වෙනුවෙන් ආධාර උපකාර කිරීමටත් හානිවූවන් යළි ගොඩ නැගෙනතුරු වියළි සලාක ආදිය පිරිනැමීමටත් අවශ්‍ය පියවර ගැනිමට කටයුතු සැලසුම් කරමින් සිටින බව ඔවුහු පවසති.

ඡායාරූප - ඉංගිරිය විශේෂ

නව අදහස දක්වන්න