මිලින නොවන අපේක්ෂා | දිනමිණ

මිලින නොවන අපේක්ෂා

 “මේ පොත කියවා තවත් අයකු හට කියවීම සඳහා තබා යෑම ඔබගේ යුතුකමකි” මහරගම අපේක්ෂා රෝහලේ දී මේ අපූරු කියමන දැකගන්නට ලැබිණ. විශේෂඥ වෛද්‍ය සායන පැවැත්වෙන මහලෙහි අයිනක තබා ඇති පොත් මේසය අසල මෙය සවිකර ඇත. මෙබඳු ආදර්ශ පුවරු කිහිපයක් ම එහි විය. කුඩා දරුවන්ට හා වැඩිහිටියන්ට කියවීම සඳහා සුදුසු විවිධ පොත් එහි විය. මෙබඳු පොත් මේස කිහිපයක් ම රෝහලේ විවිධ ස්ථානවලදී දැකගත හැකිය. පිළිකා රෝගයෙන් පීඩාවිඳින මාගේ බිරිය සමග නිතර අපේක්ෂා රෝහලට යනෙන ගමන්වලදී මේ වැඩපිළිවෙළ මාගේ නිරීක්ෂණයට ලක්විය. පොත්වලට පෙම් බැඳි අ‍යකු හැටියට මා හට මෙය නැවුම් අත්දැකීමක් වූයේ පතපොතින් ඈත්වෙමින් පවතින සමාජයක ජීවත්වන්නට සිදු වී ඇති හෙයිනි.

ඒ අනුව තමන්ට අදාළ වෛද්‍යවරයා හමුවීමේ ‍අවස්ථාව ලැබෙනතුරු මගේ බිරිය රෝගීන් රැසක් අතර බලාපොරොත්තු දෑසින් පසුවන අතර මගේ දෑස පොත් මේසය වෙතට ම යොමු විය. ඇතැම්හු පොත් දෙස කුතුහලයෙන් එබී බලා ඉවත් වෙති. සමහරු පොත් රැගෙන විවිධ ස්ථානවලට ගොස් පෙරළා බලති; ඇතැමෙක් කියවති. ගවුමකින් සැරසුණු මැදිවියේ කතක් පොත් මේසය අසල රැඳී පොතක පිටු පෙරළමින් වරින්වර වටපිට බලනු දුටුවෙමි. මගේ නිරීක්ෂණ දෑස ටික වෙලාවක් වත් ඇය මඟහැර නොගියේ ය. මඳ වේලාවක දී ඇය ඊට මඳක් දුරින් සිටි සැමියා වෙත ගොස් නැවත වටපිට බලා පොත අත්බෑගයෙහි දමාගෙන කඩිනමින් යන්නට පටන් ගත්තා ය. වහා මඟ අවහිර කළ මම ඇයගෙන් ප්‍රශ්න කළෙමි.

“කැත වැඩක් නේද? ගහල තියෙන බෝඩ් දැක්කද? කරුණාකරලා පොත ආපහු තියන්න. නැත්නම් පැමිණිලි කරනවා”

මදෙස රවා බැලූ ඇය ඉක්මනින් මේසය මත පොත තබා යන්නට ගියා ය. ඉන් පසු මම ඇය නොදුටුවෙමි. සමහර විට වෛද්‍ය සායනය ද වරදින්නට ඇත. බිම වාඩි වී සරමේ ඔඩොක්කුවෙහි පොතක් තබාගෙන පෙරළමින් සිටි පුද්ගලයකු තම පම්මල්ලට පොත දමා ගන්නා අයුරු දුටු සැණින් මම ඔහු ඉදිරියට ගියෙමි. ඔහු ද පොත තබා යන්නට ගියේ ය. මේ සිදුවීම් දෙකෙන් පසු ව එම ගොඩනැගිල්ලෙහි මනෝ උපදේශන අංශයට ගියෙමි. එහි උපදේශන චිකිත්සක හැටියට කටයුතු කරන වෛද්‍ය නිහාල් රංජන් විදානගේ හමුවීමි. ඔහු මගේ මිතුරෙකි. පොත් කියවීමේ වැඩපිළිවෙළ ඔහුගේ මඟපෙන්වීමේ ප්‍රතිඵලයක් බව ඒ වන විට මම දැන සිටියෙමි.

“අපි හැමදාම උදේට පොත් ගණන් කරලා මේසවලට දමන්නේ. හවස් වෙනකොට සමහර පොත් අතුරුදන්. ඒ වුණත් මේක නවත්වලා බැහැ. ඒ අයගේ ස්වයං විනයක් ඔස්සේ තමයි මේක සකස් විය යුත්තේ”

වෛද්‍යවරයා බොහෝ වේලාවක් මේ පිළිබඳ මා සමඟ සාකච්ඡා කළේ ය. පිළිකා රෝගීන්ගේ මානසික සෞඛ්‍යය නැංවීම රෝගය පාලනය කිරීමෙහිදී වැදගත් වන බව ඔහුගේ මතය යි. මනෝ උපදේශන අංශය එහි එක් පියවරකි. නිලබල ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක නො වන පුස්තකාල වැඩසටහන තවත් පියවරකි. රෝගීන් සදහා භාවනා වැඩසටහන් හා කලා රසවින්දන වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරේ. මෑතකදී මෙබඳු වැඩසටහනක් සඳහා විශාරද නන්දා මාලිනී, නවරත්න ගමගේ හා ධර්මසිරි බණ්ඩාරනායක යන කලාකරුවන් සහභාගි වූ බව බිරියගෙන් දැන ගතිමි. වෛද්‍ය නිහාල් රංජන් මහතා තම වෘත්තීය වගකීම අදාළ පැය ගණනට සීමා නොකර ඉමහත් කැපවීමෙන් හා ආත්ම පරිත්‍යාගයෙන් රෝගීන්ගේ කායික මානසික සුවය අපේක්ෂාවෙන් සේවය කරයි. එසේ වුව ද නියම රටවැසියකු නොහොත් පුරවැසියකු නිර්මාණය නොවී තිබීමේ අඩුව අනුව අපේක්ෂිත ප්‍රතිඵල කල් යයි.

දිනක් මම බිරියගේ රුධිර සාම්පලයක් රැගෙන අපේක්ෂා රෝහල් පරිශ්‍රයේ අඹගහපුර රසායනාගාරය වෙත ගියෙමි. සාම්පල බාරගන්නා කවුළුව අසල ද පොත් පෙට්ටියක් තබා ඇත. සාහිත්‍ය පරිවර්තන ඇතුළුව වටිනා පොත් රැසක් එහි විය. පරීක්ෂණ වාර්තා ලැබෙනතුරු අසුන්ගෙන සිටි ඇතැම්හු එහි ඇති රූපවාහිනියෙන් නැවත විකාශය කෙරෙන ඉන්දියන් ටෙලිනාට්‍ය නරඹති. ඇතැම්හු පොත් කියවති. දෙදිනකට පසු මධ්‍යහ්නයෙහි රුධිර පරීක්ෂණ වාර්තාව ගැනීම සඳහා අඹගහපුර රසායනාගාරයට ගිය මා හට දැකගන්නට ලැබුණේ හිස්වුණු පොත් පෙට්ටියෙහි එක පොතක් පමණක් ඇති බව ය. පොත් කියවන කිසිවකු ද දක්නට නොලැබිණ. පොත් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති බව රසායනාගාරයේ ප්‍රධානියකු වන සරත් මහතාගෙන් දැනගන්නට ලැබිණ.

මේ බව වෛද්‍ය නිහාල් රංජන් හට පැවසූ කල ඔහු පිළිතුරු දුන්නේ කළකිරීමෙනි. ඒ කළකිරීම ඉක්මනින් දුරු විය. පොත් බැහැර දෙන පුස්තකාල පරිශ්‍රයට ඔහු මා කැඳවාගෙන ගියේ ය. වෛද්‍යවරයාගේ ඇරියුම අනුව විශ්‍රාමික පුස්තකාලයාධිපතිනියක් එහි පැමිණ පොත් වර්ගීකරණයෙහි යෙදී සිටී. රෝහල් සේවක සේවිකාවන් කිහිපදෙනෙකු ඉඩ ලැබෙන පරිදි පැමිණ ස්වේච්ඡාවෙන් කටයුතු කරති. ලව දෙව නැතුව වර්ජනයට පෙළඹී සිටින වෛද්‍යවරුන් සිටින රටක නිහාල් රංජන් යනු පරමාදර්ශී චරිතයකි. නීතියෙන් හා කෙවිටේ බලයෙන් මිනිසුන් හැසිරවීමට වඩා හදවත සහ බුද්ධිය විකසිත කරවීම ඔස්සේ පුද්ගලයා ගොඩනැඟීම කෙරෙහි ඔහු විශ්වාසය තබා සිටී. අධි සුඛෝපභෝගී ජීවිතයකට වඩා අපිස් දිවියට බර වූ මේ වෛද්‍යවරයා සම්බන්ධ අතීත සිදුවීමක් සටහන් කරමි.

2003 වසරේ කොළඹ නව නගර ශාලාවේ පැවති දෙමළ - සිංහල කලා උළෙලෙහි අදහස් දැක්වීමක් සඳහා මේ ලියුම්කරු ද සහභාගි විය. එය ඊනියා දේශප්‍රේමීන්ගේ මැර ප්‍රහාරයට ලක්විය. උත්සවය බාධක මධ්‍යයේ පැවැත්විණ. ගිහි පැවිදි මැරයන්ට මුහුණ දුන් වෛද්‍ය නිහාල් රංජන් තුවාල ලබා රෝහල් ගතකෙරිණ.

පසුගියදා පැවති මහාචාර්ය සුචරිත ගම්ලත් සමරු උළෙලෙහිදී එදා නොබියව දෙමළ - සිංහල කලා උළෙල ඇමතූ මහැදුරුතුමාගේ වැදගත්කම සාකච්ඡා කෙරිණ. එදා ප්‍රහාරය මෙහෙයවූ කණ්ඩායමේ නායකයෙක් එය සාධාරණීකරණය කරමින් සැමරුම් උළෙල කිළිටි ‍කළේය. ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. යහපාලන ආණ්ඩුවේ හවුල්කාරක කුඩා පක්ෂයක් ද නියෝජනය කරයි. නිහාල් රංජන්ලාගේ අගය වඩාත් දැනෙන්නේ මෙවැනි පසුබිමක ය.

තිඹිරියාගම බණ්ඩාර
[email protected]

නව අදහස දක්වන්න