සුබ-අසුබ කපුටා | දිනමිණ

සුබ-අසුබ කපුටා

සෙනසුරු ග්‍රහයාගේ වාහනය ලෙස හැඳින්වෙන කපුටා, පුරාණයේ සිටම හිමි වන්නේ විශේෂ ස්ථානයකි. පිළිගැනීමකි.කපුටු වේශයෙන් සිදුහත් බෝ සතුන් ජන්ම ලැබූ අවස්ථා කිහිපයක් ගැන පන්සිය පනස් ජාතකයේ සඳහන් වේ. කපුටු ශාස්ත්‍රය මිත්‍යා විශ්වාසයක් බවට බොහෝ දෙනෙක් හංවඩු ගසති. එසේම ඇතැම්හු කපුටු ශාස්ත්‍රය අනාදිමත් කාලයක සිට නැවත එන නිසා, මේ පිළිබඳ තර්ක විතර්ක ගෙන හැර පෑම අනුවණකමකි. මෙම කපුටු ශාස්ත්‍රය ‍මෙ තරම් කලක් ජන වහරේ නොනැසී පැවතුනේ මෙහි යම් සත්‍යතාවයක් ගැබ්ව තිබූ නිසා යැයි අනුමාන කළ හැක. කැමති අයට පිළිගැනීමටත්,‍ අකමැති අයට ඉවත දැමීමටත් හැකිය. මෙම ශාස්ත්‍රය පරීක්ෂණාත්මකව විමසා බැලුවහොත් සත්‍ය අසත්‍යභාවය ඔබට පසක් කරගත හැක.

කපුටාගේ හඬට හොඳින් සවන් දීමත් කපුටාගේ ඉරියව් පරීක්ෂාවත් තුළින් කපුටු භාෂාව යම් තාක්දුරට අවබෝධ කර ගත හැක. පැරණි පොත්පත්වලටත් ජනප්‍රවාදවලටත් අනුව කාල වර්ණ පැහැයකට හිමිකම් කියූ කාවන්තිස්ස රජතුමා කපුටු භාෂාව දැන සිටි බව සඳහන්ය. කෙසේ වෙතත් කපුටා ඇඟට පැහැරීමත් කපුටු හඬත් එය නැඟෙන දිශාවත් අනුව පලාපල ඇතැම් පොත්පත්වල සඳහන් ය. කපුටා ඉතාම විමිසිලිමත්, කෑදර, ඥාණවන්ත පක්ෂි‍යෙකි. අන් පක්ෂීන් අභිබවා කපුටා යම් අනතුරක් කල්තියා දැන ගැනීමේ දක්ෂතාවයෙන් යුතුය . සාමාන්‍යයෙන් කපුටා නොකන දෙයක් නැති තරම්ය.එහෙත් එම පක්ෂියා දැඩි කුසඟින්නෙන් පෙළෙන නිසා ඇතැම්විට සතුන්ට, මිනිසුන්ට පවා ‍කොටනු දැකිය හැක. ඇතමුන් කපුටා විහිළු කිරීමට දක්ෂයකු සේද හඳුන්ව යි. ඒ කපුටා ඇතැම් සතුන්ගේ වලිගය ‍හොටෙන් අදින නිසාත් සතුන්ගේ පිට උඩ නැඟ යන නිසාත් බල්ලන් බළලුන් වැනි සතුන්ගේ කනින් ඇද පියාඹා යන නිසාත් ය. කපුටාගේ සාමාන්‍ය ව්‍යවහාරයේ ‘කොළඹ කාක්කෝ‘ සහ ‘ගං කාක්කෝ‘ ලෙස දෙවර්ගයකි. විශාල හොටක් ඇති තද කළු පැහැති දිළිසෙන කපුටන් ගං කාක්කන්ය. කෙට්ටු කෘෂ වූ ලා කළු හෝ අළු පැහැයට හුරු කුඩා හොටක් සහිත දීප්තිමත් නැති කපුටන් කොළඹ කපුටන්ය. මීට පරිබාහිරව ඇතැම් පොත් පත් ලිපි ලේඛන වලට ශරීර ස්වභාවය හා නඟන හඬ අනුව කපුටන් ගෝත්‍ර ලෙස වර්ග කර තිබෙනු දැකිය හැක.

සාමාන්‍යයෙන් කපුටු හඬ නිසා ගෙනදෙන ශුභ හෝ අශුභ පල එම ‍මොහොතේමත් එසේ නොමැතිනම් දින 7න් හෝ 10න් ගෙනදේ. පොත්පත් මෙන්ම ව්‍යවහාරයේ සඳහන් වන ලෙසට සෞම්‍ය කපුටු හඬ ශුභ බවත්, රළු ගොරහැඬි කපුටු හඬ ශුභ බවත් රළු ගොරහැඩි කපුටු හඬ අශුභ බවත් කියැවේ. කාක්කෝ විවිධ හඬ නඟයි. ඒ බව උගේ හඬට හොඳින් සවන් දෙන විට ඔබටම වටහා ගත හැක. කපුටා දැඩි කුසගින්නෙන් පෙළෙන සතෙකි. සාමාන්‍යයෙන් සෙනසුරු අපලය යෙදී ඇතිවිට එය සටහන් කර ගනු වස් සෙනසුරු ග්‍රහයා සතුටු කිරීමට කපුටන්ට දන්දීම සිදු කෙරේ. මේ සඳහා යොදගන්නේ සතියේ සෙනසුරාදා දවසයි. එදිනට එළඟිතෙල් මිශ්‍රව කපුටන්ට දෙන ආහාර සකසයි. එහෙත් බොහෝවිට එළඟි තෙල් පහන් තිරවල පොඟවා කපුටාට කෑමට දෙයි. මෙහිදී එම පහන්තිර අනිවාර්යයෙන්ම පරණ කපු රෙදි කැබලි වලින් ඇබරූ ඒවා විය යුතුය. එවිට කපුටාට එය දිරවීම පහසුය. සාමාන්‍යයෙන් කපුටන්ට දෙන ආහාර දිය යුත්තේ, කෙසෙල් කොළයක තබා බස්නාහිර දිශාවට වෙන්න උස ස්ථානයකය.

උදය ව‍රුවේ දකුණු දිශාවෙන් සෞම්‍ය ලෙස කපුටෙකු හැඩීම යම් බලාපොරොත්තුවක් ඉටුවීම පිණිස නිවසට වැදගත් අයෙකුගේ පැමිණීම ඇඟවීමකි. මිතුරකු විය හැක. උදය වරුවේ දකුණු දිශාවෙන් රළු ලෙස කපුටකු හැඬීම සතුරු කරදරයක ඉඟියකි. මරණ දුකක් ද ගෙනදිය හැක.ඕනෑම දිශාවක සිට සවස් වරුවේ මෘදු හෝ රළු හඬින් කපුටෙකු හැඬූ කල ‍බොහෝ විටම දුක ගෙනදේ. මෙහිදී සෞම්‍ය හඬට වඩා රළු හඬ දුක වැඩිකරයි.නැ‍ඟෙනහිරින් කපුටෙක් සෞම්‍ය හඬින් හැඬීම අදහස් සඵල වන නැතිවූ දේ නැවත ලැබෙන ලාභ ගෙන දෙන සතුරු බල නැසෙන තම මිතුරකුගේ පැමිණීමද සිදු විය හැකි බවට ඉඟියකි.ගිනිකොන දිශාවෙන් සෞම්‍ය හඬින් කපුටෙකු නාද කල විට නීරෝගී භාවය සතුරන් නැසීම ලාභ අත්වීම ජය ගෙනදීම හා සැප සම්පත් ලැබීම සිදුවන බව ඉඟි කරයි. ගිනිකොන දෙසින් රළු හඬින් කපුටකු හැඬීම ලෙඩ දුක් කරදර ගෙන දේ. ගිනිබිය ඇතිවේ. දුක් මුසු පුවත් අසන්නට ලැබේ. උතුරු දෙසින් සෞම්‍ය හඬින් හැඬීම යන ගමන් වල නොදෙන දන්නා හඳුනන රෝගියෙකු මිය යන බවට ලකුණකි.

කපුටෙකු හිසට උඩින් ආසන්නව පියාඹා යෑම හදිසි මරණයක ලකුණකි. කපුටෙකු නිරිතදිශාවේ සිට රළු හඬින් හැඬීම අශුභ සිදුවීමක් හඟවයි.මෘදු ස්වරයෙන් හැඬීම සතුටක ඉඟියකි. කපුටෙකු, බස්නාහිර දිශාවේ සිට මෘදු හඬින් හැඬීම වැසි හෝ ලාභ ගෙනදේ. ඇතැම් පොතපතේ සඳහන් වන්නේ කපුටෙකු උතුරු දිගින් රළු හඬින් වැසි හෝ ලාභ ගෙනදේ. ඇතැම් පොතපතේ සඳහන් වන්නේ කපුටෙකු උතුරු දිගින් රළු හඩින් හැඬීම ‍හේතුවෙන් දිළිඳු බව, සර්ප භය හා දුක් ගෙන දෙන බවයි. ඊසාන දිශාවේ සිට සෞම්‍ය හඬින් හැඬීම ලාභ ගෙන දෙන බවට ඉඟියක් වේ. කපුටකු ඊසාන දිශාවේ සිට රළු හඬින් හැඬීම රෝගයක පෙරනිමිත්තකි. අලුතින් දළු දැමූ ගසක, සුවඳවත් මල් සහිත ගසක මිහිරි පල සහිත ගසක බෙන වැනි සිදුරු රහිත ගසක සිට කපුටෙකු කරව් කිරීම යහපත් සේ සලකයි. කටු සහිත ගසක, හෙන ගැසූ ගසක මැරුණු ගසක සිට කපුටා හඬයි නම් යහපත් නොවේ. කරදරයක, රෝගයක ඉඟියකි. තිත්ත රස පල සහිත හෝ තිත්ත රසැති කොහොඹ වැනි ගසක සිට හඬයි නම් කාර්ය හානි වන බව කියා පායි. තණ කොළ කඩමින් හැඬීම ගිනි අනතුරක හෝ නිවැසියන් දුකට පත්වීමේ ඉඟියක් හඟවයි.

දහවල නිවසක වහලය මත සිට රලු හඬින් හැඬීම සොර සතුරු කරදරයකි. එහෙත් මෘදු හඬින් හැඩීම යහපත්ය.

මැරුණු ගසක හෝ මල අත්තක සිට නිවස දෙස බලා රළු හඬින් හැඬීම විපතක ලකුණක් වේ.

කපුටෙකු හිස මතට කළු පැහැයෙන් පැහැරීම නරක අපල කාලයක ආරම්භය හඟවයි. කපුටෙකු හිස මතට සුදු පැහැයෙන් පැහැරීම නරක අපල කාලය අවසන් බවට ඉඟියකි. එසේම යන එන ගමන සාර්ථක වන බවට ලකුණකි. සුදු පැහැයෙන් පිටෙහි පැහැරීම සැප සම්පත් සහිච අනාගතයක් හිමිවන බවට ඉඟියක්වේ. ළයෙහි පැහැරූ කල සියලු දේ විනාශ වේ. තනයෙහි පැහැරූ කල මංගල කටයුතු සඵල වේ. නළලෙහි පැහැරීමද, ටික දිනකින් යහපත සැලසෙන බව කියයි. කණ මත, නහය මත පැහැරීම අශුභය. බෙල්ල මත පැහැරීම රෝග පිළිබඳ ඉඟියකි. හස්තයෙහි පැහැරීම ඥාති හිත මිතුරන්ට අශුභ බව කියැවේ. පාදයෙහි පැහැරීම සතුරු බිය සිත් තැවුල් ගෙනදේ. කට තුළ පැහැරීම ධන ලාභ ගෙන දේ.

කපුටන් කොතැනක හො රැදී ඇති ජලය නානවා දුටුව හොත් වර්ෂාවක පෙරනිමිත්තක් බව සිතාගත යුතුය. නිවස ඉදිරිපිට කපුටු කූඩු තැනීමද, අශුභ ය . කරදර, අසමඟිය, අගහිඟ ගෙනදේ. තවද, කපුටා පැහැරීම පුරුෂ පක්ෂයට දකුණු පසටද ස්ත්‍රී පක්ෂයට වම් පසටද ශුභසේ කපුටු ශාස්ත්යේ සඳහන්ය.

ජ්‍යෝතිෂවේදී
මහේන්ද්‍ර පල්ලේබැද්ද 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න