ප්ලාස්ටික් සහල්වල ඇත්ත නැත්ත | දිනමිණ

ප්ලාස්ටික් සහල්වල ඇත්ත නැත්ත

සෑම දෙයක්ම පාහේ ප්ලාස්ටික් වුණු ලෝකයක් ගැන කතා කිරීමට වත්මනෙහි අපට සිදුව තිබේ. එසේ නම් සහල් ප්ලාස්ටික් වී තිබිය නොහැකිද? මොන දේ ප්ලාස්ටික් වුණත් තුන්වේල බත්කන ජාතියක් හැටියට ප්ලාස්ටික් සහල් ගැන කල්පනා කිරීම පවා අපට කළ නොහැක්කකි. එසේ තිබියදී මේ දිනවල සමාජ ජාල ඔස්සේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ආරංචියක් බවට පත්ව අැත්තේ ශ්‍රී ලංකාවට ද ප්ලාස්ටික් සහල් පැමිණ ඇති බවයි.

එලෙස සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වූ එක් වීඩියෝවක දැක්වුණේ 'ආනයනික බාස්මතී සහල්' යනුවෙන් ලේබල් කර තිබූ සහලින් බත් පිසූ එක් ගෘහණියක බත්ගුලි කිහිපයක් ගෙබිමට අතහරින අයුරු ය. සාමාන්‍ය බත්ගුලි කිහිපයක් එලෙස කළේ නම් ඒවා විසිරී යනු ඇත. එහෙත් මේ බත්ගුලි හැඩයේ වෙනසක් පවා සිදුනොවී එලෙසම තිබිණි. මේ සහල් මිලදී ගෙන ඇතැයි කියැවුණේ පිටකෝට්ටේ ප්‍රදේශයේ සතොස වෙළෙඳ සැලකිනි. අදාළ දර්ශන දැකීමත් සමඟ මේ නම් ප්ලාස්ටික් සහල් බවට මතයක් පැතිරෙන්නට විය.

‘සහල් බෝල’ ගැන ආරංචි තැන තැනින් ඇසෙන්නට පටන් ගත්තේය. මීට පෙරද නියං ආධාර වශයෙන් විදේශ රටකින් ලැබුණු සහල් පරිත්‍යාගයක ප්ලාස්ටික් සහල් තිබූ බවටද මෙලෙසම කතාවත් පැතිර ගියේ ය. මෙවර ඊට වඩා බරපතළ ප්‍රශ්නයක් බවට එය පත්වූ සෙයක් පෙනිණි. සමාජ ජාල තුළ පවා මේ ගැන මත දෙකක් ඇතිවිය. එක් පිරිසක් කියා සිටින්නට වූයේ මේ නම් ප්ලාස්ටික් සහල් බව ය. තවත් පිරිසක් එය ප්‍රතික්ෂේප කළ අතර ප්ලාස්ටික් සහල් වර්ගයක් නොව මෙය එක් එක් සහල් ප්‍රභේදවල ඇති වෙනස්කම් නිසා සිදුවන තත්ත්වයක් බව කියා සිටියහ. මේ සහල් බෝලයකින් පොළවට ගැසූවිට එය රබර් බෝලයක් මෙන් බම්ප් වන බවද මේවා ඇලෙන සුළු බවින් වැඩි බවද කතා පැතිරෙන්නට විය.

විධිමත් පරීක්ෂණයක්

පාකිස්තානයෙන් ආනයනය කළ බාස්මතී සහල් වර්ගය සතොස මඟින් අළෙවි කිරීමේ චෝදනාව නිසා රාජ්‍ය ආයතනයක් වශයෙන් එහි කීර්තිනාමයට බලපෑමක් ඇතිවන බවත් කියා සිටි සතොස සභාපති ටී.එම්. කේ.බී. තෙන්නකෝන් මහතා මේ ගැන පරීක්ෂණ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව පැවැසීය.

ඉකුත් මැයි මස 15 වැනිදා පාකිස්තානයේ සිට මෙරටට ආනයනය කළ සහල් මෙට්‍රික්ටොන් 20ක ප්‍රමාණයද නියමිත ක්‍රමවේද අනුගමනය කරමින් ආනයනය සිදුකළ බවද කී සතොස සභාපතිවරයා එම සහල් ජන පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් කරන්නේ ආහාර තාක්ෂණවේදීන්ගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු බවද පැහැදිලි කළේ ය. කෙසේ වුවද ප්‍රශ්නයක් මතුවී ඇති බැවින් මෙම සහල් සාම්පල බොරැල්ල වෛද්‍ය පරීක්ෂණායතනය (MRI) වෙත යොමු කිරීමටද සතොස කටයුතු කර තිබේ. එම වාර්තාව දෙසතියකින් පමණ ලැබෙන තෙක් වෙළෙඳපොළේ ඉතිරිව ඇති සහල් මෙට්‍රික්ටොන් 4ක පමණ ප්‍රමාණය අලෙවිය අත්හිටුවීමටද සතොස පියවර ගත්තේ ය. වෙළෙඳ අමාත්‍යාංශය මඟින් මේ පිළිබඳ නිකුත් කළ නිවේදනයෙන් කියැවුණේ සතොස මඟින් නියමිත ක්‍රමවේදවලට අනුකූලව මෙම සහල් තොග ආනයනය කර ඇති බව සහ විධිමත් ලෙස ඒවා වෙළෙඳපොළට නිකුත් වීමද සිදුව ඇති බව ය. එබැවින් මෙම සහල් පරිභෝජනය කිරීමේ ගැටලුවක් නැති බවද එමඟින් පෙන්වා දී තිබිණි.

ඇතැම් පාර්ශ්වවලින් කියැවුණේ මෙය ජාතිවාදිය පැතිරවීමට කරන ලද්දක් විය හැකි බවය. කවර හේතුවක් නිසා සිදුවුවද රජය මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර ජනතාව තුළ ඇතිවී තිබෙන සැකය නිරාකරණය කළ යුතු බවට හඬ නැ‍ඟෙන්නට විය. මේ අතර පාරිභෝගික සේවා අධිකාරිය මඟින්ද මේ ගැන පරීක්ෂණයක් අරඹා තිබිණි. තමන් වෙත ලද පැමිණිලිවලට අනුව මෙම සහල් සාම්පල පරීක්ෂාවට ලක්කිරීම සඳහා අදාළ ආයතනවලට යොමුකර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ඩබ්.හසිත තිලකරත්න මහතා පවසා සිටියේ ය. එම පරීක්ෂණ වාර්තා සති අන්තයේදී ලැබීමට නියමිත විය. එතෙක් ගැටළුසහගත සහල් වර්ගය වෙළෙඳපොළේ අලෙවි කිරීම අත්හිටුවීමට පියවර ගත් බවද සභාපතිවරයා පවසා තිබිණි.

සමාජ ජාලා වීඩියෝව

සමාජ ජාල ඔස්සේ ප්ලාස්ටික් සහල් ගැන ආරංචි පැතිර ගියද තමන් වෙත කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ය. මෙම වීඩියෝව නිර්මාණය කළ අය සම්බන්ධ කර ගැනීමට ප්‍රයත්න දැරූ නමුත් ඔවුන් පවා මේ ගැන පැමිණිලි කිරීමට ඉදිරිපත් ව නැති බව ඔහු පැවැසී ය. ඒ අනුව මෙය අසත්‍ය වාර්තාවක් විය හැකි බව වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගේ අදහස විය.

 ප්ලාස්ටික් සහල් ගැන ආරංචි පළවීමත් සමඟ සෑම ආනයනික සහල් වර්ගයකින්ම සාම්පල ලබාගත් බව කියා සිටි සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒවායේ ගුණාත්මක තත්ත්වය පරික්ෂාවට ලක්කළ බවද පවසා තිබිණි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරු ආනයනික සහල් නිකුත් කරන්නේ රේගුවෙන් නිදහස් කරන්නේ පරීක්ෂණ 3ක් සිදුකර බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී. කොළඹ ජාතික රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානී වෛද්‍ය වරුණ ගුණතිලක මාධ්‍යට පවසා සිටියේ, ප්ලාස්ටික් සහල් පිළිබඳ මෙතෙක් තමන්ටද වාර්තා වී නැති බවය.

 අදාළ සහල් වර්ගයේ රසායනික සංයුතිය පිළිබඳ විධිමත් පරීක්ෂාවකින් තොරව මේ ගැන යමක් කිව නොහැකි බවද ඔහු පවසා තිබිණි. කෙසේ වුවද, ආහාර ආරක්ෂණය සම්බන්ධයෙන් මෙය බරපතළ ප්‍රශ්නයක් වන නිසා මේ ගැන අවධානයෙන් පසුවියයුතු බවද වෛද්‍ය ගුණතිලක අවධාරණය කර සිටී. යම් හෙයකින් පාරිභෝගිකයන්ට තමන් පරිභෝජනය කරන සහල්වල ප්ලාස්ටික් සහල් ඇතැයි සැකයක් තිබේ නම් ඒ බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයටද දැන්විය හැකි බව කියා සිටි. ඔහු එම සහල් සාම්පලවල විද්‍යාත්මක කාරණා හඳුනා ගැනීමට සහාය විය හැකි බවද පවසයි.

ප්ලාස්ටික් සහල් යැයි කියන මෙම සහල් පරිභෝජනය කිරීමෙන් රෝගී වූ කිසිවකුත් මෙතෙක් රෝහල්ගතව ඇතිබවක් දැනගැනීමට නැත.

ප්ලාස්ටික් සහල් පිළිබඳ මෙම ප්‍රවෘත්තිය මඟින් ආනයනික සහල්වලට ඇති වෙළෙඳපොළ බිඳදැමීම අරමුණු කරන්නට ඇතැයිද මතයකි. එසේ නම් එය දේශීය සහල් නිෂ්පාදන ව්‍යාපාරයේ නියුතු දැවැන්තයන්ගේ සම්බන්ධයක් ඇතිව සිදුවන දෙයක් යැයි විය හැකි බවද ඒ මතය දරන්නන්ගේ අදහස ය. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන පරිදි ද මෙය ආනයනික සහල්වලට එරෙහිව මතයක් ඇති කිරීමට මෙන්ම සහල් පරිභෝජනය අඩාළ කිරීම සඳහා තිරිඟුපිටි නිෂ්පාදකයන් විසින් දරන ලද ප්‍රයත්නයක් ද විය හැකිය. එබැවින් පාරිභෝගික සේවා අධිකාරිය මඟින් ඉල්ලා අැති පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් අවධානයෙන් සිටීමට සිදුව තිබේ.

යම් හෙයකින් එම පරීක්ෂණ ප්‍රතිඵල ගැන සෑහීමකට පත්විය නොහැකි නම් විකල්ප පර්යේෂණ ගැන අවධානය යොමු කිරීමට සිදුවන බවද ඔහු කියා සිටී. මේ පිළිබඳ ඇත්ත නැත්ත දැනගන්නා තුරු ඉතිරි සහල් තොග අලෙවිය අත්හිටුවිය යුතු බවද ඔහු අවධාරණය කරයි.

ආහාර ආරක්ෂණය පිළිබඳ කටයුතු කරන බලධාරීන් මෙහිදී නිහඬව සිටිනු දක්නට ලැබීම සදාචාරාත්මක නොවන බවද මේ ගැන අදහස් දක්වා තිබුණේ සතොස සභාපතිවරයා පමණක් බවද පවසා ඇති පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපතිවරයා පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමට ක්‍රියාකරන බව පවසා සිටී.

පාරිභෝගික ඔබට ඔබ භාවිතයට ගෙන ආ සහල් පිළිබඳ යම් සාධාරණ සැකයක් පවතීනම් ඒ බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියකුට හෝ ආහාර පරීක්ෂක නිලධාරියකුට වුවද දැන්විය හැකි බව කොළඹ මහ නගරසභාවේ නාගරික විශ්ලේෂක ආර්.එම්. ජී.බී. රාජනායක මහතා මාධ්‍යයට පවසා තිබිණි. ඔබ කොළඹ නගර වැසියකු නම් කොළඹ නගරසභාවේ ආහාර පාලන ඒකකයටද ඔබේ පැමිණිලි යොමුකළ හැකිය.

සහල් ආනයනය

මෙහි තවත් පැත්තක්ද ඇතිබව ජාතික ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේ අදහස් දැක්වීම්වලින් පැහැදිළි වේ. එහිදී මතුවන ප්‍රධාන කාරණය ඉකුත් මහ කන්නයේ සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 26ක් මෙරට තිබියදී සහල් ආනයනය කරන්නේ කුමකටද යන්නය. කරුණාරත්න මහතා සඳහන් කරන පරිදි සාමාන්‍යයෙන් සහල් වර්ගයක් කල් තබා ගැනීමට හැකිඋපරිම කාලසීමාව මාස 3කි. ඉන් පසු සහල් ඇටය දිරාපත් වීම ස්වභාවයයි. එහෙත්, වෙළෙඳපොළේ දක්නට ඇති ඇතැම් සහල් වර්ගවල නිෂ්පාදන දිනයේ සිට කල් ඉකුත්වීමේ දිනය දක්වා කාල පරාසය වසර 2කි. එසේ නම් මෙය සිදුවිය හැක්කේ කෙසේද යන්න ප්‍රශ්නයකි. එය ප්ලාස්ටික් සහලක් නොවුණද එපමණ කාලයක් තබා ගැනීමට විෂ සහිත රසායන ද්‍රව්‍ය ඒවාට එකතු කරන බව පැහැදිළි වේ. පිසූ පසුවද දිනකට වඩා බත් නරක් නොවී පවතින්නේ මේ නිසා බව කරුණාරත්න මහතා පවසයි.

කල් තබා ගැනීම

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති විතානගේ මහතාද කියා සිටින්නේ එලෙස සහල් කල්තබා ගැනීමට විෂද්‍රව්‍ය කලවම් කර ඇති බවට නම් සැකයක් නැති බවය. ප්‍රශ්නගත සහල් ප්ලාස්ටික් සහල්මද යන්න තවමත් පරීක්ෂණ මඟින් සනාථ වී නැතත් දැනටමත් අප විෂ සහිත රසායන ද්‍රව්‍ය කලවම් කළ සහල් පරිභෝජනය කරමින් සිටින බව නම් මේ කාරණා මඟින් සනාථ වේ. එය නොපමාව අවධානයට ලක්විය යුතු තත්ත්වයකි. ඔවුන් පෙන්වා දෙන මේ කතාවේම තවත් පැත්තක් නම් මහා පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළේ සහල් හිඟයක් මවා පෑමේ ප්‍රයත්නයක යෙදී සිටින්නේද යන බව ය. එයද අවධානයට ලක්විය යුතුය.

‘ප්ලාස්ටික් සහල්’ කතාව අපට අලුත් එකකි. එහෙත් ලෝකයට නම් එය අලුත් නැත. මුලින්ම ප්ලාස්ටික් සහල් ගැන ලෝකය කතා කරන්නට පටන්ගත්තේ 2010 වසරේදී චීනයෙන් මතුවූ එම සහල් හේතුවෙනි. ඒවා නිපදවන්නේ කෙසේදැයි හෙළිදරව් නොවුණද ඒවා නිපදවා බෙදා හැර ඇතැයි අනාවරණ විය. එම සහල් කෘත්‍රීමව ප්ලාස්ටික් ද භාවිත කරමින් නිපදවන අතර පෙනුමෙන් ස්වභාවික සහල්වලට සමානය . රසය ද සමානබව පැවසේ. එහෙත් පිසූ පසුව ඒවා සාමාන්‍ය සහල් නොවන බව හඳුනාගත හැක්කේ එහි ඇති ඇලෙන සුළු බව සහ අසාමාන්‍ය ගන්ධය හේතුවෙනි. මෙරටින් හමුවී ඇති සහල්වලද මේ ඇලෙන සුළු ස්වභාවය ඇතැයි කියති. එහෙත් එසේ වූ පමණින් ඒවා ප්ලාස්ටික් සහල් යැයි නිගමනය කළ නොහැකිය. විවිධ රටවල විවිධ දේශගුණ තත්ත්ව යටතේ ලබාගන්නා සහල්වල කාබෝහයිඩ්‍රේට සංයුතිය අනුව යම් යම් වෙනස්කම් ඇතිවේ. එකී වෙනස්කම් චීනය වැනි රටවල ‘සහල් බෝල’ ඇතුළු නොයෙක් කෑම වර්ග තැනීමට පහසුවකි.

‘ප්ලාස්ටික් සහල්’ ගැන ඉන්දියාව, වියට්නාමය, නයිජීරියාව, සිංගප්පූරුව, ආදී රටවල් කිහිපයකින්ම පසුගිය කාලයේ අසන්නට ලැබිණි. එහෙත් බොහෝවිට දැන ගැනීමට ලැබුණේ ඒවා ප්ලාස්ටික් සහල් නොවන බවයි. කෙසේ වෙතත් ප්ලාස්ටික් සහල් නිපදවන අයුරු දැක්වෙන වීඩියෝ අන්තර්ජාලයේ පවතී. එමෙන්ම එවැනි සහලක් ඇති බවද ප්‍රසිද්ධියට පත්වී පවතී. තත්ත්වය එය නම් ඒ ගැන අවධානයෙන් පසුවීමේ වරදක්ද නැත.

එවැනි සහල් ගැන විද්‍යාත්මකව සිදුකරන පර්යේෂණවලට අමතරව ඔබට නිවසේදීම ඒ ගැන පරීක්ෂා කර බැලිය හැකි සරල පරීක්ෂා කිහිපයක් විශේෂඥ වෛද්‍ය උත්පලා අමරසිංහ සමාජ ජාල ඔස්සේම ප්‍රසිද්ධියට පත්කර තිබූ අයුරු අපට දක්නට ලැබිණි. ඒවා සැකෙවින් ඉහත සඳහන් කරන්නේ ඔබටද ප්‍රයෝජනවත් විය හැකි නිසාය.

අපේ රටට ද ප්ලාස්ටික් සහල් පැමිණ ඇතැයි හෝ නැතැයි කියා තවමත් අපට නිසැකව කිව නොහැකිය. අවශ්‍ය යැයි හැ‍ඟේ නම් සාධාරණ සැකයක් තිබේ නම් අදාළ ආයතනවලට පැමිණිලි කිරීමට සහ ඒවායේ පිහිට පැතීමට ඔබට හැකියාව ඇත. වගකිවයුතු පාරිභෝගිකයන් ලෙස ඔබ එසේ කිරීම සමාජ මෙහෙවරක්ද වේ. එහෙත් නිකරුණේ කලබල වීමට අවශ්‍ය නැත. අපි බත්රස දන්නා ජාතියක් බව අමතක නොකළ යුතු වෙමු.

 

සටහන
ධම්මික සෙනෙවිරත්න

නව අදහස දක්වන්න