රට ගිය බිරිය ගෙන්වා ගැනීමට යැයි කියා මුදල් රැස් කරලා | දිනමිණ

රට ගිය බිරිය ගෙන්වා ගැනීමට යැයි කියා මුදල් රැස් කරලා

ස්වර්ණා විජේකෝන්

සිය බිරිඳ විදෙස් රැකියාවක නිරතව සිටියදී හිරිහැර වලට ලක්ව ඇති බවත් ඇය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මුදල් ලබාදිය යුතු බව පවසමින් බස්රථ වලට නැඟ මුදල් එක්රැස් කළ සංවිධානාත්මක කල්ලියක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ සිට බළන්ගොඩ දක්වා දිවෙන මගී ප‍්‍රවාහන බස්රථයකට ගොඩවූ මෙම තැනැත්තා පසුගිය දිනක හංවැල්ල ප‍්‍රදේශයේදී මෙසේ බස් රථයේ මගීන්ගෙන් මුදල් එකතු කිරීම සිදු කරන අතරතුර විදේශ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූයේ ඔහුගේ බිරිය විදේශ ගත වී නොමැති බවත් මෙලෙස ව්‍යාජ තොරතුරු සපයමින් වසර ගණනාවක සිට මුදල් රැස් කරන බවයි. මෙම පුද්ගලයා දිනකට රුපියල් 4000ක පමණ මුදලක් එකතු කර ගන්නා අතර එය මත්ද්‍රව්‍ය භාවිතය සදහා යොදා ගන්නා බවත් මෙලෙස විදේශ ගතවී සිටින කාන්තාවන් ගෙන්වා ගැනීමට මුදල් අවශ්‍ය බව පවසමින් මොහු යටතේ තවත් සිඟමනේ යෙදෙන කණඩායමක් සිටින බවද අනාවරණය වී ඇත.

මෙම සැකකරු 167, තාරකා සෙවන, කිරිවත්තුඩුව ලිපිනයේ පදිංචි, නමින් විතානගේ දොන් චලිත සත්සර වන 32 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. අදාළ සැකකරු හංවැල්ල පොලීසිය භාරයට ගනු ලැබූ අතර වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ රැකියා ඇමතිවරියගෙන් සිදු කළ විමසීමේදි සඳහන් කළේ මෙලෙස ව්‍යාජ තොරතුරු පවසමින් සිඟමනේ යෙදෙමින් ජනතාව මුළාවට පත් කරන පුද්ගලයින්ට නොරැවටෙන ලෙසත්, යම්කිසි පුද්ගලයෙකු රැකියාවක් සදහා විදේශ ගත වී යම් කරදරයකට මුහුණ දී ඇත්නම් එම පුද්ගලයා ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සලසන බවත්ය. එසේම මෙසේ විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිළිබඳව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයින් පිලිබඳව කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය දැනුවත් කරන ලෙසත් අතුකෝරල මහත්මිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම වැටලීම කාර්යාංශයේ නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී කීර්ති මුතුකුමාරණ මහතාගේ සහ, විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු පොලිස් අධිකාරී සී.ජී වෙලගෙදර මහතාගේ උපදෙස් පරිදි, උප පොලිස් පරීක්ෂක ප‍්‍රදීප් කුමාර, පොලිස් සැරයන් එස්.ජේ.පී රවීන්ද්‍ර සහ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරී රසංග පද්මකුමාර, මාධ්‍ය ඒකකයේ නිලධාරී සුනිල් ශාන්ත එක් වූහ. 

නව අදහස දක්වන්න