පාකිස්තානය ලකුණු 180කින් ඉන්දියාව පරදවමින් චැම්පියන්ස් කුසලානය දිනා ගනී | දිනමිණ

පාකිස්තානය ලකුණු 180කින් ඉන්දියාව පරදවමින් චැම්පියන්ස් කුසලානය දිනා ගනී

වර්නන් ගුණසේකර

ඉන්දියාව වෙතින් මුලින්ම බැට කෑ පාකිස්තානය එම පරාජයේ වාඩුව ගනිමින් හා චැම්පියන්ස් කුසලානය ඔවුන්ගෙන් උදුරා ගනිමින් ඊයේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව ලකුණු 180කින් පරාජය කළේය.

ලකුණු 339ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී පසුගිය චැම්පියන්ස් කුසලාන ශූරයන් වූ ඉන්දියාවෙන් ප්‍රබල ප්‍රතික්‍රීඩාවක් අපේක්ෂා කෙරුණද ඕවර 30යි පන්දු 3ක් ඇතුළත ඉන්දියා ඉනිම ලකුණු 158කට සුණුවිසුනු වී ගියේය.

පාකිස්තාන වේග පන්දු බළඇණිය නැවත වතාවක් ශිල්ප දක්වන්නට සමත් වූ අතර වේග පන්දු යවන්නන් වන මොහමඩ් අමිර් ලකුණු 16කට කඩුලු 3ක්ද, හසන් අලි ලකුණු 19කට කඩුලු 3ක්ද ලබා ගත්හ. මේ දෙදෙනා අතරින් වඩාත් ප්‍රබල පන්දු යැවීමක නිරත වු අමිර් පාකිස්තාන මුල් පිතිකරු පෙල ඉරා දමමින් පාකිස්තානයට ජය මාවත විවර කර දුන්නේය. ඔහුගේ පන්දු ප්‍රහාරය හමුවේ රෝහිත් ෂර්මා බින්දුවටත්, නායක විරාට් කෝලි ලකුණු 5කටත්, ෂිකර් ධවාන් ලකුණු 21කටත් දැවී ගියහ. ඉන්පසුව, මෙවර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන හසන් අලි, හිටපු ඉන්දියා නායක මහේන්ද්‍ර සිං දෝනිගේ කඩුල්ල ලබා ගෙන ඉන්දියා අග පිතිකරු පෙල බිඳ දැමුවේය. තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුනේද හසන් අලි ය.

මෙවර තරගාවලියේ ඉතාමත් පහළින් ශ්‍රේණිගතව සිටිමින් තමන් මුහුණ දුන් පළමු තරගයෙන්ම චැම්පියන්ස් කුසලානයේ හිමිකරුවන් වන ඉන්දියාව වෙතින් දැවැන්ත පරාජයක් ලැබ, ඉන්පසුව සෑම තරගයකින්ම ජයග්‍රාහී ලෙසින් දියුණු වී අවසානයේ නැවතත් ඉන්දියාව මුණගැසී අති දැවැන්ත ජයග්‍රහණයකින් ඔවුන්ගෙන් චැම්පියන්ස් කුසලානය උදුරා ගත් පාකිස්තානයේ ක්‍රීඩාව අතිවිශිෂ්ඨ වෙයි.

ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී ඉන්දියා පළමු කඩුල්ල බිඳ වැටුනේ ඔවුන්ගේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙරය. එම කඩුල්ල ලබා ගත්තේ කොන්දේ ආබාධයක් නිසා අවසන් පූර්ව තරගයට සහභාගි නොවී යළි චැම්පියන්ස් කුසලාන තරග බිමට පිවිස සිටි මොහමඩ් අමිර් ය. ඔහුගේ තෙවැනි පන්දුවට කඩුල්ල මුවා කරමින් රෝහිත් ෂර්මා බින්දුවට දැවී ගියේය.

ෂර්මාගේ දැවී යාමෙන් පසුව කඩුල්ලට පිවිසි ඉන්දියා නායක විරාට් කෝලි (5) මුහුණ දුන්නේ පන්දු 9කට පමණි. එම කඩුල්ලේ හිමිකාරයා වූයේද අමිර් ය. දැවී යාමට පෙර මුහුණ දුන් අමිර්ගේ පන්දුවට කෝලි දුන් උඩ පන්දුව අල්ලා ගැනීමට පළමු ‘ස්ලිප්’හි පන්දු රකිමින් සිටි අසාර් අලි අසමත් විය. එහෙත් අමිර්ගේ ඊළඟ පන්දුවට කෝලිගේ පිත්තෙන් නික්ම ගිය උඩ පන්දුව රැක ගැනීමට ‘පොයින්ට්’හි පන්දු රකිමින් සිටි ෂඩාබ් ඛාන් සමත් විය.

මුළු ලකුණු 33දී තෙවැනි කඩුල්ල බිඳ වැටෙමින් ෂිකර් ධවාන් දැවී ගියේය. එම කඩුල්ල ලබා ගත්තේද මොහමඩ් අමිර් ය. කඩුලු රකින සා‍ෆ්රාස් අහමඩ් අතට උඩ පන්දුවක් ලබා දෙමින් ධවාන් දැවී යන විට හතරේ පහර 4ක් සමග පන්දු 22කින් ලකුණු 21ක් රැස්කර ගෙන සිටියේය.

යුව්රාජ් සිං සමග මහේන්ද්‍ර සිං දෝනි ඕවර පහක් ඇතුළත දැවී ගියහ. යුව්රාජ් (22), ෂඩාබ් ඛාන්ගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවු අතර ඊළඟ ඕවරයේ හසන් අලිගේ තෙවැනි පන්දුවට ‘ඩීප් ස්කුවෙයාර් ලෙග්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ඉමාඩ් වසිම් අතට උඩ පන්දුවක් දෙමින් දෝනි ලකුණු 4කට දැවී ගියේය. ලකුණු පුවරුවට තවත් ලකුණු 18ක් පමණක් එක්වෙමින් තිබියදී 6 වැනි කඩුල්ලද බිඳ වැටෙමින් කෙඩාර් ජාධව් ලකුණු 9කට දැවී ගියේය. ෂඩාබ් ඛාන්ගේ පන්දුවට ජාධව්ගේ පිත්ත මුදුනේ වැදී ඉහළ නැගි පන්දුව නායක සාෆ්රාස් අහමඩ් ම දුව ගොස් එම උඩ පන්දව අල්ලා ගත්තේ ‘චැම්පියන්ස් කුසලානය’ අතට ගත්තාක් වැනි සන්තෝෂයකිනි.

අංක 7 පිතිකරු හර්ඩික් පන්ඩ්යා හුදෙකලාව ප්‍රවේගවත් පිතිහරඹයක නියැලෙමින් ඉන්දියා බලාපොරොත්තු යම් ප්‍රමාණයකට ඉහළ නංවමින් සිටියදී දුවද්දී දැවී ගියේය. හතරේ පහර 4ක් හා හයේ පහර 6ක් එල්ල කළ පාන්ඩ්යා ලකුණු 76ක් වාර්තා කළේ පන්දු 43කට පමණක් මුහුණ දෙමිනි. පාන්ඩ්යා සහ රවින්ද්‍ර ජඩේජා 7 වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 9.3ක් ඇතුළත ලකුණු 80ක අගනා සබඳතාවක් පිහිටුවූහ.

පාන්ඩ්යාගේ දුවද්දී දැවී යාමට මුල් වූ ජඩේජා ට ඉන්පසුව වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි විය. විසිඅට වැනි ඕවරයේ ජුනයිඩ් ඛාන්ගේ පන්දුවට ‘වයිඩ් ස්ලිප්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි බබාර් අසාම් අතට උඩ පන්දුවක් ලබා දෙමින් ජඩේජා ලකුණු 15කට දැවී ගියේය. ඔහු පන්දු 26කට මුහුණ දුන්නේය. ඉන්දියාව කඩුලු 8යි.

ඊළඟ ඕවරයේදී 9 වැනි කඩුල්ල බිඳ වැටෙමින් රවිචන්ද්‍රන් අශ්වින් (1), හසන් අලිගේ පන්දුවට සා‍ෆ්රාස් අහමඩ් කඩුලු රකින්නා වෙත උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. එම කඩුල්ල බිඳ වැටුනේද මුළු ලකුණු 156දී ම ය. මේ වන විට පාකිස්තානයේ වීදිවල ක්‍රිකට් ලෝලීන්ගේ නැටුම් ගැයුම් ආරම්භ වී ඇති බව වාර්තා විය.

තිස්එක් වැනි ඕවරයේ හසන් අලි එවූ තෙවැනි පන්දුවට ජස්ප්‍රිට් බුම්රාගේ පිත්තේ ස්පර්ශ වී පැමිණි උඩ පන්දුව කඩුලු රකින සාෆ්රාස් අල්ලා ගැනීමත් සමග ඉන්දියා ඉනිම ලකුණු 158කට අවසන් වී ලකුණු 180ක පාකිස්තාන අමරණීය ජයග්‍රහණයක් ලෝක ක්‍රිකට් ඉතිහාස පොතට එක්විය.

ඉන්දියාව කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඔවුන් අවසන් පූර්ව තරගයේ බංග්ලාදේශයට එරෙහි ජයග්‍රාහී කණ්ඩායම ම මේ තරගය සඳහාද නම් කර තිබූ අතර පාකිස්තාන කණ්ඩායමට වේග පන්දු යවන මොහමඩ් අමිර් නැවත එක්ව සිටියේය.

බුවනෙෂ්වාර් කුමාර් යැවූ තරගයේ පළමු ඕවරය නොඉඳුල් එකක් විය. එවැනි පරීක්ෂාකාරී අයුරින් ඇරැඹුනු පාකිස්තාන ඉනිම ඉන්පසුව නොබියව ඉදිරියටම ගිය අතර ඕවර 20ක් අවසන් වන විට අසාර් අලි හා ෆකාර් සමාන් යන ආරම්භක පිතිකරුවන් අර්ධ ශතක බැගින් වාර්තා කරමින් මුළු ලකුණු ප්‍රමාණය 114 දක්වා ගෙනැවිත් සිටියහ.

එහෙත් අවසානයේ මේ පිතිකරුවන්ගේ සාර්ථක ආරම්භක කඩුලු සබඳතාව බිඳ වැටුනේ දුවද්දී දැවී යාමකිනි. හතරේ පහර 6ක් හා හයේ පහරක් එල්ල කර පන්දු 71කින් ලකුණු 59ක් රැස්කර ගෙන සිටි අසාර් අලි දුවද්දී දැවී ගියේය. අලි හා සමාන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඕවර 23ක් ඇතුළත ලකුණු 128ක් එක් කිරීමට සමත් වූහ.

ඉන්පසුව තමන්ට අවශ්‍යව තිබූ වටිනාම කඩුල්ල ඉන්දියාවට ලැබෙන විට තරගයේ ඕවර 33ක් හා පන්දුවක්ද අවසන්ව පාකිස්තාන මුළු ලකුණු 200ද වාර්තා වී තිබිනි. ඒ, ෆකාර් සමාන්ගේ කඩුල්ලයි. පාකිස්තාන නාවික හමුදාවේ හිටපු නාවික භටයෙකු වූ සමාන් හතරේ පහර 12ක් හා හයේ පහර 3ක් එල්ල කරමින් පන්දු 106ක් හා ලකුණු 114ක විශිෂ්ට ඉනිමක් අවසන් කරමින් හර්ඩික් පාන්ඩ්යාගේ පන්දුවට දැවී ගියේය. ‘පොයින්ට්’ ස්ථානයේ සිට පසුපසට දිව යමින් උඩ පන්දුව රැක ගත්තේ රවීන්ද්‍ර ජඩේජා ය. ෆකාර් සමාන් ඊයේ වාර්තා කළේ ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශතකය ය. පන්දු 92කින් ලබා ගත් එම ශතකයට හතරේ පහර 12ක් හා හයේ පහර 2ක් ඇතුළත්ව තිබිණි.

එම ශතකය චැම්පියන්ස් කුසලාන තරගාවලියක අවසාන මහා තරගයක ප්‍රබල ඉන්දියාවට එරෙහිව ලබා ගැනීම විශේෂත්වයක් විය. සමාන් හා බබාර් අසාම් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 10.1ක් ඇතුළත ලකුණු 72ක සබඳතාවක් ගොඩනැගූහ. සමාන් ලකුණු 3ක් පමණක් රැස්කර ගෙන සිටියදී දැවී යාමෙන් ගැලවුනේ ඔහුගේ පිත්තේ අග ස්පර්ශ වී කඩුල්ල පිටුපසට ගිය ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුව කඩුලු රකින මහේන්ද්‍ර සිං දෝනි අල්ලා ගත්තද එය ‘නීති විරෝධී’ පන්දුවක් වූ නිසාවෙනි.

බබාර් අසාම් හා ෂොයිබ් මලික් මුළු ලකුණු සංඛ්‍යාව 247 දක්වා ඉහළ නංවමින් සිටියදී හතළිස් වැනි ඕවරයේ බුව්නෙෂ්වාර් කුමාර්ගේ පන්දුවට ‘ඩීප් කවර්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි කෙඩාර් ජධාව් අතට පහසු උඩ පන්දුවක් දෙමින් මලික් ලකුණු 12කට දැවී ගියේය. පන්දු 16කට මුහුණ දුන් ඔහු හයේ පහරක් එල්ල කළේය.

මුළු ලකුණු ප්‍රමාණය 267ක් ලෙස සටහන්ව තිබියදී පාකිස්තාන සිවුවැනි කඩුල්ල බිඳ වැටෙමින් බබාර් අසාම් දැවී ගියේය. ජධාව්ගේ පන්දුවට හතරේ සීමාව අසල ‘ලෝන්ග් ඕෆ්’හි පන්දු රකිමින් සිටි යුව්රාජ් සිං අතට උඩ පන්දුවක් දෙමින් අසාම් දැවී යන විට යැවෙමින් තිබුනේ තරගයේ 43 වැනි ඕවරයයි. හතරේ පහර 4ක් එල්ල කළ අසාම් පන්දු 52කින් ලකුණු 46ක් ලබා ගත්තේය. 45 වැනි ඕවරය යැවූ ජධාව් ට, මොහමඩ් හෆීස් හා ඉමාඩ් වසිම් හයේ පහරක් බැගින් එල්ල කිරීමත් සමග එම ඕවරය අවසන් වන විට ලකුණු ලබා ගැනීමේ වේගය ඕවරයකට 6.53ක් වී තිබිණි.

හෆීස් හා වසිම්ගේ අර්ධ ශතක සබඳතාව වාර්තා වන විට ඔවුන් මුහුණ දී සිටියේ පන්දු 31කට පමණි. පාකිස්තාන ඉනිම ලකුණු 338කට අවසන් වන විට මේ දෙදෙන‍ා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 7.3කින් ලකුණු 71ක නොබිඳි සබඳතාවක් ගොඩනගා ගෙන සිටියහ. හෆීස් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 37කින් නොදැවී ලකුණු 57ක් රැස් කළේ හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් එල්ල කරමිණි. නොදැවුනු අනෙක් පිතිකරු වසිම් හතරේ හා හයේ පහරක් බැගින් එල්ල කරමින් පන්දු 21කින් ලකුණු 25ක් ලබා ගත්තේය.

නව අදහස දක්වන්න