බොදුබල සේනා සංවිධානය අයි එස් සංවිධානයට සමානයි | දිනමිණ

බොදුබල සේනා සංවිධානය අයි එස් සංවිධානයට සමානයි

උපාලි කරුණාරත්න

බොදුබල සේනා සංවිධානය අයි එස් අයි එස් සංවිධානයට සමාන බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමියෝ ප්‍රකාශ කළහ.

උන් වහන්සේ එසේ ප්‍රකාශ කෙළේ(15)දා මරදාන ඩීන්ස් පාර සමාජ සාමියක කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිණි.ජාතිවාදය හා ආගම්වාදය එපා එපා එපා යනුවෙන් පැවැත්වූ මෙම මාධ්‍ය සාකච්ඡාව පුරවැසි බලය හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මගින් මෙය සංවිධානය කර තිබිණ.

ජාතිවෘදි සහ ආගම්වාදී ගැටලුව පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැඩි අවධානය යොමු කළ යුතු බවද මේ අවස්ථාවට සහභාගි වෙමින් පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණි වියන්ගෙඩ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමි-

මුස්ලිම් ජාතිකයින්ගේ ව්‍යපාරික ස්ථානයන්ට පහර දීම පිළිබඳ දැඩි අවධාණය යොමු කළ යුතුයි. මෙවැනි සිද්ධීන් හේතුවෙන් අපේ රට පසුගාමී රාජ්‍යයක් බවට පත්විය හැකියි. ඩි.එස් සේනානායක, ටී.බී ජයා මහත්වරුන් එදා ක්‍රියා කළේ කොහොමද?. මේ නායකයින් ගිය මාවතේ යන්න කියා වර්තමාන සිංහල හා මුස්ලිම් නායකයින්ගෙන් අප ඉල්ලා සිටිනවා. ශ්‍රී ලාංකිකත්වයක් නිර්මාණය කර ගැනීමට අපට තවම හැකිවෙලා නැහැ. බොහෝ පිරිස් කටයුතු කරන්නෙ පටු අරමුණු ඉෂ්ඨ කර ගැනීමටයි.

2015 වසරේ වත්මන් රජය බිහි කිරීමට මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විශාල කැප කිරිමක් කළා. තමන්ගේ දේශපාලන පක්ෂය දෙවනුවට දමා රට වෙනුවෙන් ක්‍රියා කළා. ජාතික සමගිය තිබෙන රටක් නිර්මාණය කිරීමටයි ඔවුන් පෙරට ආවෙ. නැවත වතාවක් 2015 ජනවාරි 08 ස්ථාවරය දක්වා ගමන් කරන ලෙස අප ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. පළමුව රට, දෙවනුව පක්ෂය ස්ථාවරයට ගොස් ජාතික සමගිය ඇති කළ යුතුයි.

අන්‍ය ආගම්වලට පහරදීමෙන් බුද්ධාගම බබලවන්න බැහැ. ඥානසාර හිමි විවිධ පුද්ගලයන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වනවා. බොදුබල සේනාව පිටුපස විවිධ දේශපාලන හස්තයනද ක්‍රියාත්මක වන බව පෙනෙනවා. බුදුන් වහන්සෙ ප්‍රකාශ කළේ සියලු දෙනා මනුෂ්‍යයෝ කියායි. උන් වහන්සේගේ ධර්මයේ ජාතිවාදය නැහැ.

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පුද්ගලයින් අත්අඩංගුවට ගත යුතුයි. සියලු ජාතීන්ට සාධාරණය ඉෂ්ඨ වන නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතුයි. නැතිනම් වත්මන් පාලනයටද සිදුවන්නෙ 2015 ජනවාරි 08 දින මහින්ද රාජපක්ෂ මහත්මයාට සිදුවූ දෙයයි. ජාතිවාදීව කටයුතු කරන, කලහකාරී ලෙස හැසිරෙන භික්ෂූන් වහන්සේලා පිළිබඳව සොයා බලා යම් පියවරක් ගැනීමට මහා නායක හිමිවරුන්ටද යම් වගකීමක් තිබෙනවා. අප උත්සාහ කරන්නෙ නිදහස් රටක් නිර්මාණය කිරීමටයි. එතනයි නිවන තිබෙන්නෙ.

පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා-

අවුරුදු 30 ක කාලයක් අප බේද වුණා. ඇන කොටා ගත්තා. මේ පිටුපස තිබෙන්නෙ විවිධ ආගමික කණ්ඩායම් සහ විවිධ ජනකොටස් අතර තිබූ අසමගියයි. ජාතීන් අතර සමගිය සහෝදරත්වය ඇති කිරීමේ ක්‍රියාවලිය පසුගිය කාලයේ බලයේ සිටි රාජපක්ෂ පාලනය අයෝජනයට ලක් කළා. නැවත යුද්ධයක් ඇති නොවීමට ක්‍රියාකිරීමේ වගකීමෙන් බැහැර වූවා. එම කාල වකවානුවේ රාජ්‍ය අනුග්‍රහයෙන් මුස්ලිම් ජනතාවට ප්‍රහාර මාලාවක් එල්ල වු ආකාරය අපට මතකයි. එවැනි තත්ත්වයන් නැතිකර ගැනීමටයි ජනතාව යහපාලන ආණ්ඩුව ඇති කර ගත්තෙ.

මේ රජය දමිළ ජනතාවගේ යහපත වෙනුවෙන් පියවර ගණනාවක් ගෙන තිබෙනවා.දමිළ භාෂාවෙන් ජාතික ගීය ගැයීම හොඳ දෙයක්. උතුරේ ජනතාවට නිවාස ඉඩම් ලබාදීල තිබෙනවා.අත් අඩංගුවේ සිටින රැඳවියන් යම් ප්‍රමාණයක් නිදහස් කර තිබෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය යටතේ ජාතික සහජීවනය සඳහා වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා වෙනමම අමාත්‍යාංශයක්ද පිහිටුවා තිබෙනවා. රජය රටතුළ සාමය ස්ථාපිත කිරීමට ‍ඒ ආකාරයෙන් ක්‍රියා කරද්දී ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇතුලු කණ්ඩායමක් ජාතීන් අතර සමගිය විනාශවන අන්දමේ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා.

පසුගිය දිනවල මුස්ලිම් පල්ලි හා කඩසාප්පු 25කට ප්‍රහාර එල්ලවි තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුනත් අත් අඩංගුවට ගැනීම් සිදුවන්නෙ නැහැ. කරුණු ගණනාවක් සම්බන්දයෙන්ඥාණසාර හාමුදුරුවන් අත්අඩංගුවට ගැනිමට උත්සාහ කලත් පොලිසිය මග හරිමින් සිටිනවා. නීතිය මේ ආකාරයෙන් ක්‍රියාත්මක විම අවාසනාවන්ත තත්ත්වයක්.

මුස්ලිම් ජනතාවට යම් ප්‍රහාරයන් එල්ල වනවිට ඔවුන් වත්මන් රජය කෙරෙහි තබා තිබෙන විශ්වාසය නැතිකර ගන්නවා. මීට දින කීපයකට පෙර කොළඹ ප්‍රදේශයේදී බුද්ධ ප්‍රතිමාවකට පහර දුන් තරුණයෙකු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී හෙළි වුයේ ඔහු මුස්ලිම් තරුණයෙකු නොවන බවයි. පොලීසියේ උසස් නිලධාරීන් පවසන අන්දමට දැනට අත් අඩංගුවේ සිටින මහරගම ව්‍යාපාරික ස්ථානයනක්ට පහර දුන් තරුණයා නිදහස් වු පසු විහාරස්ථාන දෙකකටත් පහර දෙන බව පවසා තිබෙනවා.

ගලගොඩ අත්තේ හිමියන්ගේ ක්‍රියාකලාපය දෙස බැලිමේදී උන්වහන්සේට තනිවම ඒ ආකාරයට කටයුතු කරන්න බැහැ. යමි කණ්ඩායමක සහයෝගය ලැබෙන්න ඕනෙ. ගලගොඩඅත්තේ හිමියන් සැඟවිලා සිටින්නෙ වත්මන් ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන්ගේ සහයෝගයෙන්. ඥාණසාර හිමියන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව බෞද්ධයන්ද කටයුතු කළ යුතුයි.

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න-

රටතුල ක්‍රියාත්මක වන ජාතිවාදි ආගම්වාදී ගැටලු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා අප ජනාධිපතිවරයා , පොලිස්පතිවරයා හමුවුණා. චන්ද්‍රිකා මැතිනියත් හමුවුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එහිදී අපත් සමඟ ප්‍රකාශ කෙළේ, රටතුල ක්‍රියාත්මක වන ආගම්වාදය, ජාතිවාදය පසුපස තිබෙනුයේ දේශපාලන අවශ්‍යතාවක් බවයි.

රාජපක්ෂ කණ්ඩායම තම පුරුදු තවම අත්හැර නැහැ. රාජපක්ෂ පාලනය එදා ජාතිවාදි සංවිධාන නිර්මාණය කරන විට එම සංවිධාන වලට මුදල් ලැබුණේ කෙසේද. ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අමෙරිකාවෙන් , නොර්වේ වලින් මුදල් එන බව බොහෝ දෙනා පවසනවා. ඒකයි අප කියන්නෙ ඥාණසාර හිමියන්ගේ කුමන්ත්‍රණය ජාත්‍යන්තරය දක්වා දිව යන බව. පොලිස් පතිවරයා අපත් සමග වරක් ප්‍රකාශ කළේ, නිවැරදි දේශපාලන තීන්දු සමහර අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බවයි. ජාතිවාදය නැති කිරීමට ජනතා සහයද අවශ්‍ය බව කිවා. පසුගියදා දමිළ ජනතාවට, මුස්ලිම් ජනතාවට සහය දෙන බව ප්‍රකාශ කරමින් එක්තරා පුද්ගලයෙකු මට පහර දුන්නා. මෙවැනි සිද්ධීන් වලට දැඩිව ක්‍රියාත්මක විමට නීති තිබෙන්න ඕනෙ.නිතිය ශක්තිමත් කල යුතු බවට අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. එය ඉතා හොඳ දෙයක්. ඒ වගේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතේ සාධාරණ යෝජනා තිබෙනවා.ඒවාට එරෙහි වීමටයි ජාතිවාදී පිරිස් කටයුතු කරන්නෙ. පසුගියදා බොදුබල සේනා සංවිධානයට සම්බන්ධයැයි අත්අඩංගුවට ගත් තැනැත්තා කුලියටද සේවය කර තිබෙන්නෙ.

ජාතික සූරා සභාවේ සාමාජික ජාවින් යූෂුෆ් මහතා-

මේ රටට ජාතික සමගිය අවශ්‍යයි. මෑත කාලයේ උතුරු නැගෙනහිර ක්‍රියාත්මක වූ යුද්ධය නිසා ජනතාවගේ සිත්වල තුවාල ඇතිවුණා. ජාතින් අතර සංහිඳියාව ඇති කිරිමටයි වත්මන් ආණ්ඩුව පිහිටෙව්වෙ.

ජාතිවාදි කොටස් නැවත මතුවෙමින් තිබෙන බව පෙනෙනවා. ඔවුන් රට තුල අස්ථාවර භාවයක් ඇති කරමින් තිබෙනවා. අල්ලා දෙවියන්ට, මුස්ලිම් ජනතාවට අපහාස කිරීමෙන් ජාතිවාදී කොටස් උත්සාහ කරන්නෙ මුස්ලිම් ජනතාව ප්‍රකෝප කර දේශපාලන වාසි ලබා ගැනිමටයි. ආණ්ඩුව මෙවැනි කාරණා පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න ඕනෙ.

ප්‍රවින කලාකරු සුනිල් පෙරේරා මහතා-

මාධ්‍යයන්ට ජාතික සමගිය වෙනුවෙන් විශාල සේවයක් කළ හැකියි. ගිනි නිවෙනවා නම් බොරු හරි ලිවිය යුතුයි. බුදුන් වහන්සේ ප්දේහනා කළේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියා. නැතිව සිංහල ජාතිය නිදුක් වෙත්වා කියා කීවේ නැහැ. බෞද්ධ ජාතිවාදින් බුදුන් වැඳල වැඩක් නැහැ. බුදුන් වහන්සේ වර්තමානයේ වැඩ වාසය කලා නම් අනෙකුත් ජාතීන් පහළ දමන්න කියා කියයිද. සියලු ජාතීන්ට සම අයිතිවාසිකම් ලැබිය යුතුයි කියන ස්ථාවරයේයි මම සිටින්නෙ.

වෛරය ඇතිකරගෙන ඉදිරියට යාමට නොහැකියි. සැම සිංහල, දමිළ, මුස්ලිම් මනුෂ්‍යාම ජාතිවාදී නැහැ. ජාතිවාදීව කටයුතු කරන්නෙ එක්තරා කොටසක්.

ප්‍රවීන කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක මහතා-

ඊයේ රාත්‍රීයේත් පරුෂ වදන් වලින් ආමන්ත්‍රණය කර පණිවුඩයක් මගේ ජංගම දුරකතනයේ දිස්වුණා. පුරවැසි බලයෙන් කුමක්ද කළේ කියන ප්‍රශ්නයයි එහි තිබුණෙ. වැඩකට නැති කණ්ඩායම් වල ක්‍රියා කලාපයක් වශයෙන් මම එය දකිනවා.

අප හැදුනෙ කලාවෙන්. කලාවක් නොමැති වුවහොත් රටක් සහ මනුෂ්‍ය ප්‍රජාව ‍විනාශ වෙනවා. බෞද්ධ භික්ෂුන් ඇතැම් පුද්ගලයන්ට පහර දුන් අවස්ථා තිබෙනවා. මෙවැනි දේ අනුමත කරන් බැහැ. දේශපාලන මංකොල්ල කෑම වලට අපට ඉඩ දෙන් බැහැ.කොටි හිතවාදින් ලෙසත් අතීතයේ එක්තා පිරිසක් අපව හැදින්විමට උත්සාහ කළා. ජාතිවාදයට, ආගම්වාදයට රට ගෙනයන පුද්ගලයින්ට එරෙහිව දැඩි දඩුවම් ලබා දිය යුතුයි. මේ පිළිබඳව නව ව්‍යවස්ථා මණ්ඩලයද සිතිය යුතුයි. බුදුන්ගේ ධර්මය අනුවයි අප ක්‍රියා කරන්නෙ.

ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්ද්‍ර ගුප්ත තේනුවර මහතා-

සියලු දෙනාට කැමැති ආගමක් ඇදහීමේ නිදහස තිබෙන්න ඕනෙ.ජාතිවාදය, ආගම්වාදය පිටුපස සිටින කුමන්ත්‍රණ කරුවන් වහා අත්අඩංගුවට ගත යුතුයි.

සුදර්ශණ ගුණවර්ධන මහතා(නිදහසේ වේදිකාව)-

පසුගිය පාලන කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වූ විශාල පිරිසක් සිටිනවා. නීතියේ ආදිපත්‍ය රකින ලෙස වත්මන් ආණ්ඩුවෙන් ජනතාව ඉල්ලා සිටිනවා.

ඡායාරූපය- චින්තක කුමාරසිංහ 

නව අදහස දක්වන්න