අලුත් ආහාර හඳුනා ගන්නෙ මෙහෙමයි | දිනමිණ

අලුත් ආහාර හඳුනා ගන්නෙ මෙහෙමයි

ආර්ථික ලාභය අරමුණු කරගත් වෙළඳ පොළ තුළ, වර්තමානය වනවිට පාරිභෝගිකයා මං මුලාවීම වළකනු නොහැකිය.

කෙසේ නමුදු, ඔබ සතු දැනුම, අප රවටන පාරිභෝගික ලොව තුළ නොරැවටී සිටින්නට උපකාරී වනු ඇත. නැවුම් ආහාර පරිභෝජනය වෙනුවෙන්, අලුත් සහ පරණ බව වෙන්කර හඳුනා ගැනීමට මේ කරුණු ඔබට අත්වැලක් වේවි.

* නැවුම් බිත්තර

අලුත් බිත්තරය අතට බර ගතියක් ඇත. බිත්තරය සොලවන විට, එය ඇතුළත සෙලවෙන සුළු නම්, එය නැවුම් බිත්තරයක් නොවේ. බිත්තරය කැඩූ පසු, එහි සුදු මද, කහ මද හොඳින් වෙන් කළ හැකි නම්, එය අලුත් බිත්තරයකි. අමිහිරි ගන්ධයක් දැනේ ද, එසේ නම් එය පරණ වු එකකි. නැවුම් බිත්තරයක් තැම්බුණු පසු ද එහි කටුව ඉවත් කිරීම පහසු නැත. එහෙත්, බිත්තරය පරණ නම්, එහි කටුව ඉවත් කිරීම පහසු ය. එම නිසා, බිත්තර කටුව ඉවත් කර ගැනීම පහසු කර ගැනීමට නම්, බිත්තර තැම්බීම සඳහා ගන්නා වතුරට ලුණු ස්වල්පයක් එක්කර තම්බා ගැනීමට පුළුවන.

බිත්තර වැඩි ප්‍රමාණයක් නිවෙසට ගෙන ආ විට, එහි එක් බිත්තරයක් බිඳී ගොස් අනෙක් බිත්තරවල ද එහි ගෑවී තිබේනම්, එවැනි අවස්ථාවල බිත්තරය සෝදා, රෙදි කැබැල්ලකින් පිසදා ශීතකරණයේ ඇසිරීම හෝ වෙනම තැබීම කළ යුතු ය. නැත්නම් බිත්තර ඉක්මනින් නරක් වේ.

පරණ වුණු හෝ නරක් වුණු බිත්තර අනුභවය, ආහාර අජීර්ණය , ආහාර විස වීම වැනි තත්ත්වවලට හේතු වන නිසා, සැම විටම නැවුම් බිත්තර ආහාරයට එක්කර ගන්න. ඒ සඳහා වෙළෙඳ පොළෙන් බිත්තර රැගෙන ඒමේදී, සතියකට පමණ සෑහෙන්න පමණක් බිත්තර ගෙන ඒම සුදුසු ය.

* අලුත් මාළු

මාළුවාගේ ඇස් දීප්තිමත්ව හා කරමලය රතු පැහැති නම්, ඒවා අලුත් මාළු ය.

මාළුවාගේ නැවුම් බව පරීක්ෂා කිරීමේදී, කරමලේ පටන් වලිගයේ කෙළවර දක්වා පිරිමැදීමේදී අතට තද බවක් දැනේ නම්, එය අලුත් මාළුවෙක් බව හඳුනාගත හැකි ය. සැම විටම මාළුවාගේ වරල්, වලිගය සහ මාංශමය කොටස් තද ස්වභාවයෙන් යුක්ත වීමත්, අමිහිරි ගන්ධයෙන් තොර වීම සහ දීප්තිමත් වර්ණයෙන් යුක්ත වීම අත්‍යවශ්‍ය ය.

උදා:- බලයා, ඊට ආවේණික නිල් හා සුදු පැහැ වර්ණයෙන් දිස්වීම.

අලුත් මාළු මිල වැඩි නමුත්, පරණ මාළු ඊට සාපේක්ෂව අඩු මිලෙන් යුක්ත ය. පරණ මාළු ද ලුණු වතුරේ වැඩි වේලාවක් තබා, මාංශමය කොටස් තද බවට පත් වීමට සලස්වා, නැවුම් මාළු ලෙස විකුණන අවස්ථා තිබේ.

එවැනි අවස්ථාවලදී, කරමලවල රතු පැහැය හොඳින් පරීක්ෂා කිරීමට වග බලාගත යුතු ය. ඇතැම් අය කරමලේ ආශ්‍රිත ප්‍රදේශවල ලේ තවරා ඔබේ ඇස් රවටා මාළු අලෙවි කිරීමට උත්සාහ දරයි. එවැනි විටෙක කරමලය ඔසවා බැලීමෙන්, මාළුවාගේ නැවුම් බව හඳුනාගත හැකි ය.

* කරවල

අලුත් කරවලවල මතුපිට දීප්තිමත් ස්වභාවයකින් යුක්ත ය. අමිහිරි ගන්ධයකින් තොර ය. වියළි ස්වභාවයක් ගනී. ඇතැම් වෙළෙන්දන් කරවලවලට වතුර ඉස, බරින් වැඩි කරවල ලෙස අලෙවි කිරීමට කටයුතු කරන අවස්ථා ඇත. මේ නිසා, සැමවිටම වියළි ස්වභාවයෙන් යුතු කරවල මිලදී ගැනීමට වගබලා ගත යුතු ය. කරවලවල උඩට ලුණු මතු වී ඇත්නම්, ඒවා ද නැවුම් බවින් අඩු ය.

කරවල තද රෝස පැහැය හෝ රතු පැහැයෙන් යුක්ත නම්, නැවුම් බවින් අඩු ය. එහෙත්, බල කරවල, කුම්බලාවෝ ආදියෙහි ආවේණික පැහැය රෝස පැහැයයි. කරවල වැඩි ප්‍රමාණයක් නිවෙසට ගෙන ආ විට, එය දුමක තැබීමෙන් බොහෝ කාලයක් කල් තබාගත හැකි ය. දුමක් නොමැති නම්, අව්වේ දමා හොඳින් වියළා අසුරා තැබිය හැකි ය.

* දැල්ලෝ

දැල්ලාට ආවේණික සුදු, දීප්තිමත් පැහැයෙන් යුක්ත නම්, මාංශමය තද ස්වභාවය සහ අමිහිරි ගන්ධයෙන් තොර නම්, ඒ අලුත් දැල්ලන් ය.

* කුකුළු මස්

රෝස පැහැයෙන් යුතු කුකුළු මස්, නැවුම් ඒවා ය. නරක් වු කුකුළු මස් තද රතු හා නිල්පැහැ ස්වභාවයක් ගනී. අමිහිරි ගන්ධයකින් හා මෙලෙක් ස්වභාවයෙන් ද යුක්ත ය.

* කකුළුවා

කකුළුවා බර විය යුතු ය. කට්ට සහිත කොටසේ ඇතුළු පැත්ත මැදින් එබෙනවා නම්, එය පරණ ය. තද ගතියෙන් හා දීප්තිමත් පැහැයෙන් යුතු කකුළුවෝ අලුත් ය. කකුළුවා දිය සීරාවෙන් තොර නම්, ඒ අලුත් කකුළුවෙකි.

* ඉස්සා

දීප්තිමත් වර්ණයෙන් යුතු,දිය සීරාවෙන් තොර, කටුව සහ පිට පොත්ත හොඳින් මසට සවිමත්ව ඇති ඉස්සා නැවුම් ය.

උපදෙස් - ප්‍රවීණ සුපවේදිනී සහ හිටපු ගෘහවිද්‍යා ආචාරිනී නිර්මලා විජේරත්න

දිස්නා කුමාරි අල්විස්

අදහස් 1ක් ඇත

thank

නව අදහස දක්වන්න