අද ඇත්තේ හොඳ හෙටක් වෙනුවෙනි | දිනමිණ

අද ඇත්තේ හොඳ හෙටක් වෙනුවෙනි

ජීවත් වන විට අප හැම කෙනකුටම ඉතාම සරලම ගැටලූවේ සිට අමාරුම ගැටලූ දක්වා මුහුණ දීමට සිදු වේ. මුදල් පිළිබඳ ඇතිවන ගැටලු කෙටි කාලීන ය.ජීවිතය පිළිබඳ ඇතිවන ගැටලූ ඊට වඩා බැරෑරුම් ය. කෙටිකාලීන ගැටලූ පමණක් විසැඳීම අප නොකළ යුතු ය. එසේ නොවුණහොත්, මුළු ජීවිතයම නීරස වේ. හෙට දවස සතුටින් ගත කිරීමට අවශ්‍ය නම්, අද දවස සතුටින් අවසන් කළ යුතු ය.

ජපානයේ අති සුප්‍රසිද්ධ ටොයෝටා සමාගමේ ප්‍රචාරක පුවරුවක මෙසේ සඳහන් වේ. “අද ඇත්තේ වඩාත් හොඳ, එමෙන් ම දීප්තිමත් හෙටක් සඳහා ය.” මේ මඟින් පහදා දෙන්නේ, අනාගතය ගැන සිතා, වර්තමාන ගැටලූව අත් නොහැරිය යුතු බව ය. අද ගැටලූව අද විසැඳිය යුතු බව ය. ඒ නිසා, අප පුරුදු විය යුත්තේ සෑම දෙයක්ම එකවිට විසැඳීමට නොවේ. ටිකෙන් ටික විසැඳීමට ය. ඒ සඳහා මනා ශක්තියක් ගොඩනගා ගත යුතු ය. ගැටලූව ඇතිවන්නේ කවදාදැයි අපට අද පැවසීමට නොහැකි ය. එම නිසා, ඔබ කළ යුත්තේ හොඳසිහි බුද්ධියෙන් යුතුව, ගැටලූවක් ඇතිවේගෙන එන විට ඒ දෙස බැලීම ය. රාත්‍රියේ යමක් නැති වූ විට, එය සොයා ගැනීමට එළියක් අවශ්‍ය වේ.

තවද, රාත්‍රියෙහි පොතක් කියැවීමට අපට විදුලි පන්දමක් හෝ ලාම්පුවක් භාවිත කළ හැකි ය. ඒ වාගේම, අපට මානසික ගැටලූ ඇති වූ විට, ඒ දෙස බැලීමටත් කිසියම් එළියක් අවශ්‍ය ය. මේ එළිය ලෙසින් මා හඳුන්වන්නේ සිතීම ය. හොඳට හිතුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙන බව ජපනුන් පවසන්නේ ඒ නිසා ය. මෙලෙස සිතීම දිනෙන් දින දියුණු කරන විට, අපේ ජීවිතය ද අඛණ්ඩව දියුණු වේ. මෙහි පහත දැකිවෙන කෙටි ලැයිස්තුවට අවධානය යොමු කරන්න. මේවා ඔබේ ජීවිතයට ද බොහෝ විට අදාළ වීමට ඉඩ ඇත.

මම මහත වැඩියි. බර හොඳටම වැඩියි. පෙනුම අශෝභනයි. මම ගණිතයට දක්‍ෂ නෑ. මගේ වචන මාලාව සීමිතයි. ප්‍රසිද්ධියේ කතා කිරිමට මම බයයි. මගේ ස්වාමියා හැමවිටම මම උයන පිහන දේ රස නැති බවට චෝදනා කරනවා, යන මෙකී සියලූ ම ගැටලූ විසඳා ගත හැකි ඒවා වේ. එහෙත්, බොහෝ දෙනා මෙකී ගැටලූවලට යට වී ජීවත් වෙති. මේ සඳහා ඔබ භාවිත කළ යුතු ගැටලූ විසැඳීමේ ක්‍රියාවලිය පහතින් දක්වමු.

* ගැටලූව හඳුනා ගන්න.

* ගැටලූවට දායක විය හැකි මූලකාරක සොයා ගන්න.

* විකල්ප විසැඳුම් සොයා ගන්න.

* හොඳ ම විකල්ප ක්‍රියාවට නංවන්න.

* එය අසාර්ථක නම්, අනෙකුත් විකල්ප, විසැඳුම් ක්‍රියාවට නංවන්න.

* ප්‍රතිඵල නිරීක්‍ෂණය කරන්න. නිවැරැදි කිරීමේ පියවර ක්‍රියාවට නංවන්න.

‘DO IT NOW’ ඉන් අදහස් වන්නේ, “මේ දැන් ඉටු කරනු!” යන්නයි. කළ යුතු කාර්යය එම මෙහොතේම ඉටු කළ විට රාත්‍රියෙහි සැප නින්දක් ළඟා කරගත හැකි ය. එසේ නොවුණහොත්, නොයෙකුත් විකාර සිහින මතු වී, ඔබේ නින්දට බාධා මතු වේ. එම නිසා, ඔබ විසින් කළ යුතු කාර්යයන්, ඒවායේ ඇති වැදගත්කම සහ හදිසිය ගැන සැලකිල්ලට ගෙන, එම මොහොතේම ඉටු කිරීමට වග බලා ගත යුතු ය. එමඟින් ඔබ බලාපොරොත්තු වන බොහෝ දෑ ළඟා කරගත හැකි ය.

 

දිනුක මදුෂාන් වන්නිනායක
මනෝවිද්‍යා උපදේශක

නව අදහස දක්වන්න