කුණු ප්‍රශ්නය!

 කොළඹ කුණු ප්‍රශ්නය යළිත් කරළියට පැමිණ තිබේ. එය කොළඹ පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොව; ජාතික ප්‍රශ්නයක් බවට පරිවර්තනය වී තිබේ. කොළඹ වීථි පුරා කැළි - කසළ ගොඩ ගැසී ඇත. ඒවා විශාල කඳු බවට පත්වීමට වැඩි කාලයක් ගතනොවන බවද පෙනී ගොස් ඇත. අගමැතිවරයා කොළඹ කුණු ප්‍රශ්නය ගැන බැලීමට ගියේ ය. ඉන් හැ‍ඟෙන්නේ ගැටලුවෙහි ඇති තීව්‍රතාවය යි. මේ නගරය ගඳ ගසන්නට පටන් ගතහොත් අපේ ආර්ථිකය එහෙම පිටින් ම හාන්සි වන බව කිව යුතුය. මක්නිසාදයත් ආර්ථික ගනුදෙනු දේශීය හා විදේශීය වශයෙන් සියල්ල සිදුවන්නේ කොළඹ නගරය තුළ බැවිනි.

ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයට මැදිහත් වී ඇත්තේ ඍජු තීන්දුවක් ලබාදීමට ලක ලෑස්තියෙන් බව පෙනී යයි. එතුමා බස්නාහිර පළාත් සභා මහ ඇමැතිවරයාට කියා ඇත්තේ ප්‍රශ්නය විසැඳීමට දින තුනක් දෙන බව පමණි. එය සාධාරණය. මහ ඇමැතිවරයා මේ ගැටලුව විසඳිය යුතුය. එසේ නැතහොත් තමන්ගේ තනතුර, පදවිය හා මහජන සේවය එයින් නිමාවට පත්වන බවද කල්පනාවට ගැනීම වැදගත් ය. මහ ඇමැතිවරයා ගේ බලතල ඇත්තේ මහ නගර සභාවටත් ඉහළින් ය. එම බලතල පාවිච්චිකොට මීට විසැඳුමක් ලබා දිය යුතුය.

කොළඹ නගරයේ පමණක් නොව; ශ්‍රී ලංකාවේ සියලු ප්‍රධාන නගරවල මේ ගැටලුව පවතී. එලෙස පවතින්නේ අඩු-වැඩි වශයෙන් ය. මහනුවර, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, ගාල්ල , මාතර , හම්බන්තොට, කෑගල්ල, රත්නපුරය, කළුතර යන සියලු දිස්ත්‍රික්කවල මේ ගැටලුව පවතින බව අප කළ නිරීක්ෂණවලින් පැහැදිලි වී තිබේ. එයින් අදහස් වන්නේ කිසිදු ප්‍රධාන නගරයක කුණු - කසළ බැහැර කිරීම විධිමත් ක්‍රමයකට සිදු නොවන බවය. පළාත් සභා, ප්‍රාදේශීය සභා ආදී ලෙසින් ආයතන පිහිටුවා ඇත්තේ පළාත් වශයෙන් ද, ප්‍රාදේශීය වශයෙන්ද පැන නඟින මෙබඳු ගැටලු විසැඳීමට ය. එහෙත් එම කාර්යය සාර්ථක ලෙස ඉටු නොවන බව ඉතා හොඳින් පැහැදිලි වේ.

මේ අතර කොළඹ නගරයේ කුණු ප්‍රශ්නය විශේෂ එකක් බව කිව යුතු ය. කොළඹ නගරයේ එකතුවන කුණුවලින් 60% කට වැඩි ප්‍රමාණයක් එකතු කරන්නේ කොළඹට එන බාහිර පුද්ගලයන් බව සිහි තබාගත යුතුය. කාර්යාල සේවකයෝ ලක්ෂ ගණනක් වෙනත් ප්‍රදේශවල සිට කොළඹට එති. විදේශිකයෝ විශාල ප්‍රමාණයක් ද කොළඹට එති. සංචාරකයෝ ද කොළඹට එති. මේ සියලු දෙනාගේ කුණු ඒකරාශි වන්නේ කොළඹ බක්කිවලට ය. ඒ හැරෙන්නට නොහික්මුණු මිනිස්සු කොළඹ වීථි පුරා කැළි - කසළ විසිරුවති. මේ සියල්ල කිසිවකුට කරදරයක් නොවන ලෙස බැහැර කිරීම පහසු කටයුත්තක් නොවේ.

කොළඹ කුණු හා කසළ කොළඹ ප්‍රදේශවලම ගොඩගැසිය නොහැකි බව විවිධ සාධක ඔස්සේ විග්‍රහ කර පෙන්විය හැකි ය. මීතොටමුල්ල, බ්ලූමැන්ඩල් හා තවත් ප්‍රදේශවලට කුණු බැහැර කිරීමට ගත් පියවරෙහි භයානක ප්‍රතිඵල අපි දැන් අත්විඳිමින් සිටිමු. කුණු බැහැර කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයක් තිබිය යුතුය. ඇතැම්විට එම විද්‍යාත්මක ක්‍රමවේදය භාවිත කිරීමේදී ඊට එරෙහි වන්නේ ද පොදු ජනතාව වීම එක අතෙකින් පුදුමයකි.

කොළඹ වතු ජනාවාසවල හෝ මුඩුක්කුවල හෝ වාසය කරන කිසිවකුට කුණු - කසළ බැහැර කිරීම පිළිබඳ විද්‍යාත්මක චින්තනයක් නැත. එදිනෙදා වේල සරිකරගන්නා ඔවුනට එවැනි අවබෝධයකින් ඇති වැඩක් ද නැත. එහෙත් ඔවුන් නඟන විරෝධතා හා උද්ඝෝෂණ නිසා කුණු ප්‍රශ්නය තවදුරටත් සංකීර්ණ වී තිබේ. සියලු පුද්ගලයන්ගේ උත්සාහය තමාට ආසන්න පරිසරයෙන් ඔබ්බට කුණු කසළ ගෙන යෑමය. එහි වරදක් නැත. එහෙත් විද්‍යානුකූල ලෙස සොයාගත් ස්ථානවලට කුණු බැහැර කිරීමට ඉඩ නොදීම බලවත් වරදකි. කොළඹ කුණු ගොඩගැසෙන්නට හේතුව ද එබඳු විරෝධතාය. ජනතාව කුණු ගැන දන්නේ නැත. කුණු බැහැර කළ යුතු විද්‍යාත්මක ක්‍රමවේදය ගැන දන්නේ ද නැත. එසේ නම්; කළ යුත්තේ ජනතාව දැනුම්වත් කිරීම ය.

ලෝකයේ බොහෝ රටවලට කුණු කසළ ප්‍රශ්නයක් වී නැත. ඒවා පොහොර බවට පත්කරන ආකාරය ද, ඒවා බලශක්තිය බවට පත්කරන ආකාරය ද ඔව්හු දනිති. ශ්‍රී ලංකාවේද බොහෝ දෙනෙක් මීට අදාළ පුහුණුව ලබා සිටිති. විදේශීය උපදේශනද ලබා සිටිති. එහෙත් කුණු ප්‍රශ්නය සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් දකින්නට නැත. මෙය කාගේ වරදකින් සිදුවන්නේ ද යන්න විමසා බැලීම වටී. වෙනත් රටවල පරිසර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන පමණක් නොව; ගමේ සමිති පවා මැදිහත් වී කුණු ප්‍රශ්නයට විසඳුම් සොයති. එහෙත් අපේ රටේ දකින්නට ලැබෙන්නේ එකිනෙකා විවේචනය කර ගන්නා බවක් පමණි.

කුණු ප්‍රශ්නය විසැඳීමට හමුදාව යොදාගන්නේ නම් එතැන බලවත් වරදක් තිබේ. හමුදාව හදිසි අවස්ථාවකදී එබඳු දෙයක් කරන්නේ නම් එය සාධාරණය. එසේම ඔවුනට එවැනි තැන් ගැන විමර්ශනයන්ද කිරීම භාර වන්නේ නම් අගනේය. එහෙත් නිල වශයෙන් හමුදාවට කුණු ඇදීමට භාරදීම කළ නොහැකිය.

කුණු ප්‍රශ්නය විසඳීමට අපේ ආයතන වගබලා ගත යුතුය. ඊට අදාළ ආයතන රාශියක් තිබේ. ඒවාට මේවා කළ නොහැකි නම්; එම ආයතනවලින් පලක් නැත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...