ඩෙංගු මරණ 195යි රෝගීන් 63,987යි | දිනමිණ

ඩෙංගු මරණ 195යි රෝගීන් 63,987යි

සන්ධ්‍යා කරුණාරත්න

ගෙවී ගිය මාස හය තුළ ඩෙංගු රෝගී තත්ත්වය නිසා පුද්ගලයින් 195ක් මියගොස් ඇති අතර, ඩෙංගු රෝගීන් 63,987ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි. ඩෙංගු රෝගයේ දෙවන අදියරක් ලෙස නව වෛරස් තත්ත්වය මේ වන විට හඳුනාගෙන ඇති බවත් බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් 27,000ක් මේ වන විට සොයා ගෙන ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 14,189ක්ද, ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන් 9370ක්ද මේවන විට වාර්තාවක් ඇති බව සෞඛ්‍ය අංශ හෙළි කරයි.

ඩෙංගු රෝගීන් ඇතුළත් කර ගැනීම පෙරේදා (18) රාත්‍රියේ සිට ඊයේ (19) සවස් කාලය දක්වා තාවකාලිකව නතර කළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා 'දිනමිණ' කළ විමසීමක දී ප්‍රකාශ කළේය.

ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලබාගෙන රෝහලෙන් රෝගීන් පිට වෙන සංඛ්‍යාවට අනුව රෝගීන් ඇතුළත් කර ගැනීම මේ වන විට සිදු කරන බවත් රෝගීන්ට අවශ්‍ය සියලු ප්‍රතිකාර නොඅඩුව රෝහලෙන් ලබාදීම සිදු කරන බවත් ඒ මහතා පැවැසුවේය.

රෝහලේ ඇඳන් රෝගීන්ගෙන් මේ වන විට පිරී ඇති බවත් රෝගීන් 240ක් රෝහලට ඇතුළත් කිරීම සාමාන්‍යයෙන් සිදු කළ ද මේ වන විට රෝගීන් 460ක් ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ මහතා අවධාරණය කළේය.

උණ රෝගීන්ගෙන් පිරී යාම නිසා රජයේ රෝහල් පමණක් නොව පෞද්ගලික රෝහල්වල පවා ඇඳක් වෙන් කර ගැනීම අපහසු වී ඇති බවට තොරතුරු පවතින බවත් රෝහල් කාර්ය මණ්ඩලයට ද ඩෙංගු උණ රෝගය බෝ වීම නිසා ප්‍රතිකාර කටයුතු කිරීම සම්බන්ධයෙන් අවදානමක් ඉදිරි කාලයේ දී ඇති විය හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

කොළඹ ජාතික රෝහලේ ඩෙංගු ප්‍රතිකාර සේවාවන් ඉහළ නංවමින් රෝගීන් ඇතුළත් කර ගැනීම වැඩි කර ඇති බව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දිනකට රෝගීන් 60ක් ජාතික රෝහලට නේවාසිකව ඇතුළත් වන බවත් එම රෝගීන් සියලුදෙනාට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු සාර්ථකව ලබාදීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කරන බවත් ඒ මහතා පැවැසුවේය.

ඩෙංගු රෝගීන් 225ක් දැනට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ යැයි ද ඉන් 40ක්ම අවදානම් රෝගීන් වන්නේ යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

රෝහලේ කායික වෛද්‍ය වාට්ටු 15 ක් පවතින අතර එම සෑම වාට්ටුවකටම ඇඳන් අටකින් යුක්ත වෙන් කළ ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් එම වාට්ටුවල දැනට පවතින අධි සත්කාර ඇඳන් 30 ඉදිරි සති දෙක ඇතුළතදී 60 ක් දක්වා ඉහළ නංවන බවත් ඔහු පැවැසීය.

ඩෙංගු ප්‍රතිකාර ලබාදීම සඳහාම අලුතින් පත් වූ හෙදියන් 32 ක් පුහුණුවක් ලබාදී ප්‍රතිකාර කටයුතු සඳහා යොදවා ඇත්තේ යැයි ද නවක වෛද්‍යවරුන් ද ඒ සඳහා යොදවා ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

හෙද හෙදියන් පැය 24 පුරාම ඩෙංගු ඇඳන් අසල සිට ප්‍රතිකාර සේවාවන් නිසි අයුරින් ලබාදීම සිදු කරන බවත් ඩෙංගු ප්‍රතිකාර සඳහා පවතින ධාරිතාව ඉහළ නැංවීමෙන් වැඩිපුර රෝගීන් රෝහලට ඇතුළත් කර ගෙන ප්‍රතිකාර ලබාදීමට හැකි බවත් ඔහු කීය. 

 

නව අදහස දක්වන්න