සදා­චා­ර­යට මරණ දඬු­වම නියම කළ බෝනික්කි

‘බෝනි­කි ගෙදර’ නාට්‍යයේ අවස්ථාවක්

කපිල කුමාර කාලිංග

නාට්‍ය වේදිකාව යනු සමුගැනීම්, වෙන්ව යාම්, අකල් මරණ පමණක් නොව දිවි නසාගැනීම් ආදී ශෝකජනක සිද්ධීන්ගෙන් අඩුවක් නැති තැනකි. ඒ අතුරින් ‘සුප්‍රසිද්ධ නික්ම යාම’ (Famous exit) ලෙස හැඳින්වෙන්නේ හෙන්රික් ඉබ්සන්ගේ ‍‘බෝනිකි ගෙදර’ (A Doll's House) නාට්‍යයෙහි, නෝරා හෙල්මර් තම නිවසින් සදහටම පිටව යන අවස්ථාවයි. එක් විචාරකයකු සඳහන් කර ඇති අන්දමට, ‘එදා නෝරා නිවසින් පිට වී දොර වැසූ හඬ ලෝකයේ පියැස්සටම ඇසුණි.’

සැබැවින්ම, ලොව පුරා පිහිටි නාට්‍ය ශාලා තුළ තවමත් වරින් වර නෝරා දොර වසන හඬ ඇසෙයි.

පැහැදිලිවම නෝරා යනු 19 වෙනි සියවසේ මුල් භාගයේ ස්කැන්ඩිනේඩියානු රටක ජීවත්වූ රැඩිකල් ගැහැනියකි. පසු කාලීනව නෝරාගේ චරිතය පිළිබඳව නොයෙකුත් වාද විවාද පැන නැඟුණි. ස්ත්‍රීවාදීහු ඉතා පහසුවෙන් හා කැමැත්තෙන් ඇය තමන්ගේ පිලට එක්කර ගත්හ. එහෙත් මෙහි උත්ප්‍රාසය වන්නේ, ඉබ්සන් තමාට ස්ත්‍රීවාදය ගැන පැහැදිලි අදහසක් නැතැයි කියා තිබීමය. 1898 දී නෝර්වීජියානු කාන්තා අයිතිවාසිකම් සංගමයේ භෝජන සංග්‍රහයකට සහභාගිව කළ කතාවේදී ඔහු මෙසේද පවසයි.

“මා ප්‍රචාරාත්මක අරමුණු සපුරා ගැනීමට ලේඛනයෙහි යෙදෙන කෙනෙක් නෙවෙයි. සමහරු මා සමාජ චින්තකයකු ලෙස දුටුවත්, වඩා නිවැරදි වන්නේ මා කවියකු ලෙස දැකීමයි. ස්ත්‍රීන්ගේ ප්‍රශ්නය මා දකින්නේත් පොදු මනුෂ්‍යත්වය පිළිබඳ කාරණයක් ලෙසටයි.”

ඉබ්සන් මැවූ චරිත ගමන් කළේ පංතිය හා ලිංගිකත්වය යන සමාජ භූමින් හරහා බව පැහැදිලිය. ඒ අතරින් නෝරා හෙල්මර් නමැති සුකුමාර ගැහැනිය වේදිකාවට පිවිසෙන්නේ, සමකාලීන සමාජ සදාචාරයට මරණ දඬුවම නියම කරනු පිණිසය.

නෝරාගේ විපර්යාසය, එදා ප්‍රේක්ෂාගාරයට දරාගත නොහැකි විය. බර්නාඩ් ෂෝ පැවසූ ආකාරයට ඉබ්සන්ගේ නාට්‍යයක් නැරැඹීමට යාම, දත් දොස්තර හමුවීමට යනවා වැනි වැඩකි. එය ඒ තරමට වේදනාකාරීය.

‘බෝනිකි ගෙදර’ නාට්‍ය ඇරඹෙන්නේ නත්තල ආසන්නයේ දිනෙක නෝරා මහත්මිය සාප්පු සවාරියේ යෙදී තෑගි බෝග මිලදී ගෙන පෙරළා තම නිවසට එන අවස්ථාවකිනි. ඒ මොහොතේ තම කාර්යාල කාමරය තුළ වැඩක යෙදී සිටින ඇයගේ සැමියා තම බිරිය පැමිණි වග දැන ඈ අමතන්නේ මෙසේය.

“ඔය ඔතන නාද කරන්නේ මගේ පුංචි ගී කිරිල්ලිද? ලේන් පැටියෙක් වගේ එහෙ මෙහෙ පැන පැන.... මගේ ලේනිච්චි කීයටද ගෙදර ආවෙ?”

නාට්‍යයේ මුල් කොටසේදී ටෝවල්ඩ් හා නෝරා අතර පවතින්නේ මෙබඳු ආදරයෙන් පිරි සාමකාමී, ප්‍රීතිමත් සබඳතාවකි.

සියල්ල උඩු යටිකුරු වන්නේ හිටි හැටියේ එම නිවසට පිවිසෙන අමුත්තෙකුගෙනි. නීල්ස් ක්‍රොග්ස්ටඩ් නම් ඔහු, නෝරාගේ සැමියා සේවය කරන බැංකුවෙහිම සේවකයෙකි. ඔහු රැකියාවෙන් ඉවත් කිරීමේ අවදානමට ලක්ව සිටී. එම තීරණය ක්‍රියාත්මක කිරීමේ හෝ නතර කිරීමේ බලය ඇත්තේ ටෝවල්ඩ් (නෝරාගේ සැමියා) අතය. ක්‍රොග්ස්ටඩ් මෙහි එන්නේ ද ඒ පිළිබඳව ආයාචනය කිරීමටය. එහෙත් ටෝවල්ඩ් ඊට එකඟ නොවෙයි.

කලකට ඉහත ටෝවල්ඩ් අසනීප වූ අවස්ථාවක නෝරා ඔහුට සොරෙන් ක්‍රොග්ස්ටඩ්ගෙන් ණය මුදලක් ලබාගෙන තිබුණි. එම ගිවිසුම් පත්‍රයේ ඇපකරුවකු වශයෙන් අත්සන් කර තිබුණේ නෝරාගේ පියාය. එහෙත්, ඒ අත්සන යොදා ඇත්තේ පියාගේ මරණයෙන් දින කීපයකට පසුව බව ක්‍රොග්ස්ටඩ් දැන ගනී. නෝරා මෙබඳු වංචනික ක්‍රියාවක් සිදුකර ඇති බව දැනගතහොත්, ටෝවල්ඩ් මහත් සේ කිපෙන බව නෝරා දනී. ක්‍රොග්ස්ටඩ් මෙය තුරුම්පුවක් කර ගනිමින් තම රැකියාව බේරාගැනීමට ‍නෝරා ලවා ටෝවල්ඩ්ට බලපෑම් කිරීමට උත්සාහ කරයි. සැමියාගේ අභිමානය හා තම ආත්ම ගරුත්වය රැකගැනීමේ උභතෝකෝටික ගැටලුවකට ඇය මැදි වෙයි. අවසානයේ ටෝවල්ඩ්ට රහස අනාවරණය වෙයි. තම ජීවිතය ගළවා ගැනීම සඳහා හෝ සිය බිරිය කළ වංචනික ණය ගනුදෙනුවට ඔහු කිසිසේත් සමාව නොදෙයි. දෙදෙන අතර ගැටුම උත්සන්න වන්නේත්, නෝරා තම සැමියා නාඳුනන, පිටස්තරයකු ලෙස වටහා ගන්නේත් මේ තුළිනි.

දෙදෙනා අතර ඇතිවන තීරණාත්මක කතාබහකදී ටෝවල්ඩ් මෙසේ කියයි.

“මං ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්නං. ඒත් කිසිම මිනිහෙක්, ආදරය වෙනුවෙන්වත් තමන්ගේ ගෞරවය කැප කරන්න සූදානම් නැහැ.”

එවිට නෝරා මෙසේ පිළිතුරු දෙයි.

“ඒ වුණාට, දහස් ගණන් ගෑනු ඒක කරනවා” එවිට ටෝවල්ඩ්, නෝරාට පවසන්නේ ඇය බොළඳ දරුවකු ලෙස කතා කරන බවකි. මෙම නාට්‍ය පුරාම නෝරාට ළමයකු, දරුවකු, බෝනික්කකු ලෙස ආමන්ත්‍රණය කෙරෙයි. ඇයගේ මිතුරියක පවා නෝරා දකින්නේ ළමයකුගේ ගති පැවතුම් ඇත්තියක ලෙසිනි. මේ නාට්‍යයේ නම ද ‘බෝනිකි ගෙදර’ යනුවෙන් යෙදීම සංකේතාත්මකය.

අවසානයේදී නෝරා නමැති ළමයා නැතහොත් බෝනික්කිය තම සැමියා අසරණ කරවන ‘මිනිස් බෝම්බයක්’ බවට පත්වෙයි. ඇය තම ස්වාධීනත්වය උදෙසා නිවසින් පිටව යාමට සූදානම් වෙයි. තම මඟුල් මුදුව පවා ආපසු සැමියාට දී, හඩ නැඟෙන සේ දොර වසාගෙන නික්ම යයි.

නෝරාගේ තීරණයට එදා පමණක් නොව අද පවා දැඩි විරෝධතා එල්ල වෙයි. ඇයට ගල් ගසා මරන්නට ඉදිරිපත් වන පිරිමින්ගෙන් පමණක් නොව ගැහැනුන්ගෙන් ද අඩුවක් නැත. නෝරා යනු මාතෘත්වයට නොගැළපෙන, ආත්මාර්ථකාමී, දුෂ්ට ගැහැනියකැයි ඔවුහු චෝදනා නඟති. ඇගේ ‘ගෘහස්ථ කැරැල්ල’ අරාජික යැයි කියති. එහෙත් අර්ථාන්විත හා ස්වාධීන මිනිස් ජීවිතයක් ගතකිරීම සඳහා ඇයට ඇති අයිතිය පිළිගන්නා ‘විශාල ජූරියක් ද’ සිටිනා බව සැබෑය. නෝරා අදටත් ජීවත්වන්නේ ඒ බුද්ධිමත් මිනිසුන් අතරය.

‘බෝනිකි ගෙදර’ නාට්‍යයේ අවසානය ඉතා හැඟීම්බරය. ශෝකාන්විතය. ටෝවල්ඩ් කෙරෙහි ද අනුකම්පාවක් ඇතිවෙයි. මෙහි අවසානය ‘ප්‍රීතිමත්’ කරමින්, නෝරාගේ තීරණය වෙනස්කොට, දරුවන් වෙනුවෙන් ඇය යළි නිවසේ රැ‍ඳෙන අයුරින් සකස් කළ නිෂ්පාදනයක් ද වේදිකාගත කෙරුණි. එහෙත් පුදුමයකට මෙන් ඊට පෙර තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොලැබුණි. නෝරා ස්වාධීනත්වය උදෙසා පිරිමියාගේ ආධිපත්‍යයෙන් නික්ම යා යුතුම යැයි ඔවුහු පිළිගත්හ.

ගැරහුමට ද ලක්වන නමුදු, නෝරා යනු ප්‍රේක්ෂාගාරය තුළ ඉතා ජනප්‍රිය චරිතයකි.

ලෝකය පුරාම දණ ගස්වා ඇති ගැහැනිය ඉබ්සන්ගේ වේදිකාව මත අභිමානයෙන් නැඟී සිටී. තමා කිරිල්ලියක, ලේන් පැටවකු හෝ බෝනික්කකු නොව, සම අයිතිවාසිකම් ඇති මනුෂ්‍යයකු බව හඬ නඟා කියා සිටී. ඒ අනුව බලන කල නෝරා ‍සිදුකොට ඇත්තේ දොර වසා දැමීමක් නොව, වසා දමා ඇති දහසක් දොරටු විවෘත කිරීමකි.

 

 

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...