පටි­සෝ­ත­ගාමී හිමි­නම‍ට මල්මි­ටක් | දිනමිණ

පටි­සෝ­ත­ගාමී හිමි­නම‍ට මල්මි­ටක්

කමල් පෙරේරා

ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ ගැන සටහනක් ලියන්න ඕනා කියලා හිතුණේ සැහෙන කාලයකට කලින්. හරියටම කියනවා නම් ග්‍රැෆිකෙයා ප්‍රකාශකයන්ගේ පොත් මංගල්ලය දවසේ. මට මතක හැටියට 2016 අවුරුද්දේ අගොස්තු මාසෙදි ඒ පොත් මංගල්ලේ පැවැත්වුණේ. එදා ප්‍රධාන දෙසුම පැවැත්තුවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ. වෙනස් වෙමු කියන තේමාව යටතේ පැවැත්වුණු ඒ උත්සවයෙදි ධම්මානන්ද ස්වාමින් වහන්සේගේ දෙසුම‍ට මාතෘකා වී තිබුණේ වෙනස් විය යුත්තේ ඇයි ? නමැති පැනයයි.

ඉතා විධිමත් විදිහට කරුණු ගෙනහැර පාමින් මනා ලෙස සුදානම් වී ඇවිත් උන්වහන්සේ කළ ඒ දෙසුම මහවැලි ශ්‍රවණාගාරයෙ එදා රැස්ව සිටි සියලු දෙනාගේ ම සිත් පැහැරගත්තා. 1948දි නිදහස ලැබිමේ සිට විටින් විට සිදු වු මහා පරිමාණ මිනිස් ඝාතන එක්තරා සූත්‍රයකට අනුව විග්‍රහ කිරීමට උන්වහන්සේ උත්සාහ කළා. ධම්මානන්ද ස්වාමින් වහන්සේ එම විග්‍රහය සම්පින්ඩනය කළෙත් අපුරු ආකාරයටයි. එම දෙසුම ඇතුළත් කර ග්‍රැෆිකෙයා ආයතනය නිකුත් කළ පොත් පිංචෙන් මම ඉහත කී සම්පින්ඩනය උපුටා දක්වන්න කැමැතියි.

“මෙම දත්ත සලකා බලන විට පෙනීයන්නේ 1948 නිදහස ලැබු තැන් සිට අද දක්වා ගැටුමක් නොමැතිව අප පසුකර ඇති උපරිම කාලය වසර 12ක් පමණ බවයි. ගැටුම් දෙකක් අතර කාලයේ සාමාන්‍ය අගය වසර 07ක් පමණ වේ. වෙනත් ලෙසකට පැවසුවහොත් අප ජිවත්වන්නේ සෑම වසර 07කට වරක්ම ලේ වැගිරීම් සිදුවන රටකය. ”

වාර්ගික ගැටුම් හා දේශපාලන කැරලි හේතුවෙන් යම් රටක වසර හතෙන් හතට මිනිසුන් සිය දහස් ගණන් මිය යනවා නම් එය ඉතා බරපතළ කාරණයක් බවයි උන්වහන්සේ අවධාරණය කළේ. ඇස් කන් සහිත මිනිසුන් වෙසෙන ආගම් දහම් අදහන සමාජයක මෙබඳු ව්‍යසනයන් සිදුවන්නේ මන්ද?මෙවැනි ප්‍රශ්න රැසක් ශ්‍රාවකයන් හමුවේ මතුකළ ධම්මානන්ද ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ මාතෘකාව වන “වෙනස් විය යුත්තේ ඇයි?” යන ප්‍රශ්නයට පිළිතුරු එම විග්‍රහය තුළම පවතින බවත් පවසා සිටියා.

මට ගල්කන්දේ ධම්මානන්ද හිමියන් යළිත් මතකයට නැඟුණේ පසුගිය දවසක මුහුණුපොත පිරික්සද්දි දුටු සටහනක් නිසයි. පල්ලියේ සිට බණක් කීමි” යනුවෙන් සිරස් ගන්වා තිබු ඒ සටහන කියවාගෙන යන විට දැනගන්නට ලැබුණේ පොසොන් පෝ දින උන්වහන්සේ පැවැත් වු බණ දේශනාවක් පිළිබඳවයි. මේ බණ දෙසුම සාමාන්‍යයෙන් පෝය දවසක කෙරෙන තවත් එක් ධර්ම දේශනයක් නොවේ. ඇත්තටම කියනවානම් පටිසෝතගාමී දහම් දෙසුමක්. මගේ මතකයේ හැටියට මුහුණුපොතට ධම්මානන්ද හිමි ලියා තිබුණු සටහන ලියන්න අවසර

“පොසොන් පෝය දවසේ බණකට ඇරයුම් ලැබුණා. ඇරයුම කළේ සිස්ටර් ග්‍රේටා. සිස්ටර් ග්‍රේටා විසින් ශ්‍රවණ ඌන දරුවන් සඳහා කථන පුහුණු පාසලක් පවත්වාගෙන යනවා. එහි පුහුණුව ලබන දරුවන් වැඩි දෙනා බෞද්ධයෝ. පොසොන් පෝය දවසේ ඒ දරුවන්ගේ දෙමව්පියන් සිල් සමාදන් වන බැවින් එදිනට පැමිණ ඔවුන් වෙනුවෙන් බණක් කියන ලෙස සිස්ටර් ග්‍රේටා ඉල්ලා සිටියා. මම ඒ ආරාධනය සතුටින් බාර ගත්තා. ”

ධම්මානන්ද ස්වාමින්වහන්සේගේ මේ සටහනත් සමඟ ඡායාරූප කිහිපයකුත් පළවෙලා තිබුණා. ඒ වගේම ස්වාමින් වහන්සේගේ මේ උතුම් මෙහෙවර අගය කරමින් ඇගයිම් රාශියකුත් ලැබී තිබෙනු පෙනුණා. ඇතැම් ලද බොලඳ උදවිය මුහුණුපොත සෙල්ෆි දමන්නයි ඕපාදූප දොඩවන්නයි භාවිත කරන මේ වගේ කාලෙක හරවත් සමාජ මෙහෙවරක් වෙනුවෙන් එය යොදාගැනීම පිළිබඳව ධම්මානන්ද ස්වාමින් වහන්සේට මුහුණුපොත වටා එක්වී සිටින ප්‍රබුද්ධ සාමාජිකයන්ගේ උත්තමාචාරය හිමිවිය යුතුයි. මොකද සමහර ප්‍රබුද්ධ වියතුන් මුහුණුපොත යනු කිසිම වැදගත්කමක් නැති හිස් මිනිසුන්ගේ ගුබ්බෑයමක් විදිහට සලකන්න පුරුදු වී සිටින නිසයි.

පල්ලියේ බණක් කියන්න ආරාධනය කරපු ‍ග්‍රේටා කන්‍යා සොයුරියට අපගේ ප්‍රණාමය පුදන්නත් මෙය අවස්ථාවක් කර ගත යුතුයි. එතුමියගේ මේ එඩිතර පියවරත් එක්ක අපේ මතකයට නැ‍ඟෙන්නේ පන්සලේ පියතුමා නමින් ප්‍රකටව සිටි ගරු මර්සලින් ජයකොඩි පියතුමාවයි. ඉදිරියට තැබූ පියවර ආපස්සට නොගන්නා ලෙසත් සිස්ටර් ග්‍රේටාගෙන් ඉල්ලා සිටිනවා.

ගින්දර යනු නරක ස්වාමියකු වගේම හොඳ වහ‍ලකුය යන කියමන මට මෙතනදි සිහිපත් වෙනවා. මුහුණුපොතත් ඒ වගේමයි. භාවිතා කරන කෙනා එය බුද්ධිමත් විදිහට පරිහරණය කළොත් හොඳ වහලකුගෙන් වගේ බර වැඩ ගන්න පුළුවන්. ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ වගේම මුහුණුපොත උතුම් පරමාර්ථ සාධනය කරගැනීම පිණිස භාවිත කරන ගිහි පැවිදි සාමාජිකයන් රැසක් අපට දකින්න ලැබෙනවා. පසුගිය ගංවතුර හා නායයාම්වලින් මුළු සමාජයම අසරණ වුණු වේලාවේ මුහුණුපොත හරහා ක්‍රියාත්මක වූ සද්ජනයන් වීම හොඳම සාක්ෂියක්.

සමාජ යහපත නූතන සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීමට සමාජය පුරුදු පුහුණු නොවීම තමා හුඟක් ගැටලුවලට මුල් වී තිබෙන්නේ. ලොව පහළ වූ විශිෂ්ටතම සන්නිවේදකයා බුදුහාමුදුරුවන් බව ප්‍රකාශ කරන ඇතැම් ගිහි පැවිදි උගතුන් මුහුණුපොත වැනි සමාජ මාධ්‍යයන් කෙරෙහි දක්වන හුඹස් බියට සැබෑම හේතුව නම් පූර්ව නිගමන මත තීන්දු තීරණ ගැනීමය කියා මට හිතෙනවා.

ගල්කන්දේ ධම්මානන්ද ස්වාමින් වහන්සේ බඳු ප්‍රගතිශීලී භික්ෂුන් වහන්සේලා සමාජ හා ආගමික නායකයන් තුළ පවතින මෙවැනි පසුගාමී අදහස් වෙනස් කිරීමට පෙරමුණගත යුතු සමය එළඹී තිබෙනවා. මුහුණුපොත සමඟ ගනුදෙනු කරන සියලු ම ප්‍රබුද්ධ තරුණ තරුණියන්ගෙන් වගේම වැඩිහිටියන්ගෙනුත් මා ඉල්ලා සිටින්න කැමතියි. ගල්කන්දේ ධම්මනන්ද ස්වාමින් වහන්සේ වැනි පටිසෝතගාමී බුද්ධ පුතුන් ද මුහුණුපොතේ ඔබේ මිතුරන් අතරට එක්කරගන්නා ලෙසය. 

නව අදහස දක්වන්න