ඒ මේනි­යා­වයි මේ මේනි­යා­වයි

බණ්ඩි රාල

ශ්‍රී ලංකාවට සෙල්ෆිමේනියාවයි, සියදිවි නසාගැනීමේ මේනියාවයි ව්‍යාප්තව වෙමින් තියෙනවා. සෙල්ෆිමේනියාව කියන්නෙම ඉඳ හිටලා සෙල්ෆියක් ගහලා සිඟිති සතුටක් හොයන අය ගැන නෙවෙයි. කෝච්චියේ එල්ලිලා යන ගමන් ජීවිතය අනතුරේ තියාගෙන සෙල්ෆි ගහන, කඳු නැඟලා ලිස්සන සුළු තැන්වල සෙල්ෆි ගහන වගේ මෙලෝ සංසාරයක් නැතිව ‘සෙල්ෆි ගැහිල්ලම‘ ජීවිතය කියලා බාරගත්තු අය. ඉතාම මෑත කාලයේ සියදිවි නසා ගැනීම්වල වර්ධනයක් පෙන්නුම් කරන අතරම සෙල්ෆි ගහන්න ගිහින් අනපේක්ෂිත ලෙස ජීවිතය අනතුරේ වැටුණු අයගේ සංඛ්‍යාවත් ඉහළ යමින් තියෙනවා. මේකට විවිධ අය විවිධ හේතු කියනවා. ඒ අතරේ දැන් දැන් මාධ්‍ය භූමිකාව ගැනත් කතා බහක් මතුවෙලා තියෙනවා.

“සියදිවි නසා ගැනීම් ගැන නිතර නිතර මාධ්‍ය මගින් වාර්තා කරන කොට ඒක සාමාන්‍ය සිදුවීමක් බවට පත්වෙනවා. එතනදී “පුංචි සිත් තැවුලක් ඇතිවුණත් විසඳුම සියදිවි නසා ගැනීමයි“ කියන තැනටම වැඩේ සාමාන්‍ය මිනිස්සු බාරගන්නවා“ නාලිකාවක කාලීන වැඩසටහනකට එක්වුණු විද්වතෙක් එහෙම කියනවා.

වැඩ ඇරිලා ගෙදර ඇවිත් හවස කෝපි කෝප්පයක් බොන ගමන් මමයි මායියයි දෙන්නත් මේ වැඩසටහන බල බලා උන්නා.

කොහෙද රස්තියාදුවක ගිහින් පොඩි එකා ගෙදරට ගොඩවුණෙත් ඒ වෙලාවෙමයි.

“පත්තරවලින් මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කරනවා කියලා ෆේස් බුක් එකේ ශෙයාර් වෙනවා. ඇත්තම කියනවානම් ඒක බොහොම බරපතළ තත්ත්වයක්” අර විද්වතා වැඩසටහනේ එහෙම කියද්දි පොඩි එකා යන ගමන බාල කරලා අපි ළඟින්ම ඉඳගත්තා.

“එතකොට ෆේස් බුක් එකේ බෙල්ල කැඩිච්චි ඒවයි, ලේ වැටිච්චි ශරීර කොටසුයි දාලා ශෙයාර් කරන එක?” මායියා එහෙම ඇහුවා.

ඒත් එහෙම ඇහුවේ මගෙන්ද, පොඩි එකාගෙන්ද, එහෙමත් නැත්නම් ටෙලිවිෂන් වැඩසටහනේ විද්වතාගෙන්ද කියන එක හරියටම තෝරා බේරාගන්න බැරිවුණා.

“නෑ ඉතිං වැරදියි නම් පත්තරෙන් කරත්, ෆේස් බුක් එකෙත් කරත් වැරදි නොවැ. එක්කෙනෙක් වැරැද්දක් කරන එක තව කෙනකුට වැරැද්දක් කරන්න හේතුවක් වෙන්නෙ නෑ නොවැ” මං කීවා. පොඩි එකා මොකුත් කීවේ නෑ.

“ඒක එහෙමැයි කියමුකෝ. ඒත් ඉතිං ඇයි එහෙම වෙන්නේ? බලාගෙන ගියාම දැන් හැමෝම එකම දේ කරනවනේ?”

“ඔව්. මට හිතෙන්නෙ නම් ප්‍රශ්නෙ තියෙන්නෙ ෆේස්බුක්, ට්විටර් වගේ සමාජ ජාල වෙබ් ගොඩනැඟුණට පස්සෙ සම්ප්‍රදායික පත්තරවලට ඒවත් එක්ක තරග කරන්න සිද්ධවීම. මොකද පත්තරවල යන දේවල් පරණයි වගේ දැනෙන්න ගත්තම වැඩි වැඩියෙන් සමාජ ජාල වෙබ් අඩවි කෙරෙහි විශ්වාසය තියන්න මිනිස්සු පෙළඹෙනවා”

“එතකොට අප්පච්චි කියන සියදිවි නසා ගැනීම් ගැන අමු පිංතූර දාන ආචාර ධර්ම කතාව ඔතෙන්ට ඈදෙන්නෙ කොහොමද?“ පොඩි එකාගෙන් හරස් ප්‍රශ්නයක්.

“මෙතනදී පිංතූර දාන එකත් ඒකට අදාළයි තමයි. පත්තරවල, ටී.වී වල කොටු කොටු දාලා, කළු කරලා, බොඳ කරලා පෙන්නුවට වැඩක් නෑ. මොකද එහෙම නොකරපු ඒවා අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ වෙනවා. එතකොට ඒ අයත් අඩුම ගානේ ඒ මට්ටමට හරි තරගයක් දෙන්න ඒ දේම කරන්න පෙළඹෙනවා.“ මං දැනෙන විදිහට කීවා.

“අන්තර්ජාලය, ෆේස් බුක් මොක වුණත් පත්තර, ටී.වී, රේඩියො වගේ ඒවට ආචාර ධර්ම ඕන.“ මායියා යෝජනා කළා.

“ඔව්. ඕන කියමු. කොහෙන්ද පටන් ගන්නෙ. අන්තර්ජාලය හරි ෆේස් බුක් හරි විතරක් නෙවෙයි තමන්ගෙම සහෝදර පත්තර කන්තෝරු, ටී.වී චැනල් ඒ දේ කරද්දි ඒ දේ නොකර පැවතීමේ අවදානම බාරගන්න කවුද කැමති? හරියට මුලින්ම බෙල්ල දෙන්න කවුරුත් අකමැතියි වගේමයි”

මේ කතා බහ මෙහෙම යද්දී වැඩසටහන ටිකකට නතර කරලා ප්‍රවෘත්ති විකාශය පටන් ගත්තා. ඒ විදිහටම සියදිවි නසා ගැනීම්, රිය අනතුරු ආදී ප්‍රවෘත්ති ගණනාවකට පස්සේ රේල් පාරේ ඇවිද යන්න බැරි විදිහට නීති ක්‍රියාත්මක කරන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන බවටත් ප්‍රවෘත්තියක් විකාශය කෙරුණා. මායියයි, පොඩි එකයි මූණෙන් මූණ බැලුවා. ඒ ඇයි කියන එකට මාත් ඒ දෙන්නගෙම මූණ බැලුවා.

“කොහොමත් රේල් ස්ටේෂන් එකකවත් අනවසරෙන් ඉන්න බෑනේ. ඒකට ටිකට් එකක් ගන්න ඕනනේ. අනික පාරෙත් එහෙම ඇවිදින්න බෑ කියලා නීතියක් තියෙනවා” මායියා කීවා.

“ තියෙනව වුණාට ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියලා ආයෙම සැරයත් ටිකක් තදට බලනවා කියන අදහස වෙන්ට ඇති ඔය කියන්නේ? පොඩි එකා කියනවා.

වෙලාවකට ඔය වගේ විහිළුත් අතරින් පතර එනවා. ළිඳට පැනලා මැරෙන්න ගිය එකෙක් සෙම්ප්‍රෙතිශ්‍යාව නිසා ආපහු හැරිලා ඒමත්, එල්ලිලා මැරෙන්න ගිය එකෙක් යටට ඇඳුමක් ඇඳලා නැති නිසා ආපසු හැරී ඒමත් වගේ කතා ඒ සම්බන්ධයෙන් හරි ජනප්‍රියයි. ඒත් බලධාරීනුත් ඒ වගේම විහිළු කරන එකයි, ඒ විහිළු සීරියස් ලෙස බාර අරන් අපට කියන එකයි ඇත්තටම මාරයි.

“එතකොට සියදිවි නසා ගැනීම් වැඩි වැඩියෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිල්ලයි, ඒවා වැඩිවීමයි අතර සම්බන්ධයක් නැද්ද? මායියා අවසාන වශයෙන් අහනවා.

“තියෙනවා. මොකද ඕනම දෙයක් නිතර නිතර කරද්දී, ඇහෙද්දී, බලද්දී ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. දැන් බලන්න මේ ගොල්ල පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධව උද්ඝෝෂණ කරන එක. දැන් ඒක සාමාන්‍ය දෙයක් . කවුරුවත් ගණන් ගන්නෙ නෑ. පාරවල් වැහුවොත් කඳුළු ගෑස් ගහලා එළවනවා. සාමාන්‍ය දෙයක්. කාටවත් ගාණක් නෑ. ගුටිකන අයටත් ගාණක් නෑ. ගුටි දෙන අයටත් ගාණක් නෑ.”

පොඩි එකා නැඟිටලා කාමරයට ගියා.

“දැන් බලන්න හැම තිස්සෙම ගෙදර සීනි නෑ, මිරිස් නෑ, හාල් නෑ, පොල් නෑ. අරක නෑ. මේක නෑ කියලා ගෙදර බිරිය කියනවා. ඕක හැම තිස්සෙම ඇහිලා ඇහිලා එපා වෙනවා. ඊට පස්සෙ ඉතිං ඇත්තටම ගෙදර අත්‍යවශ්‍ය දෙයක් නෑ කීවත් එච්චර ගණන් ගන්න හිතෙන්නෙ නෑ”

මායියත් නැඟිටලා කුස්සියට ගියා. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...