සම­හර කම­ට­හන් හද ඔසු­වකි වදන්

තිඹි­රි­යා­ගම බණ්ඩාර

මීට වසර එකොළහකට පමණ පෙර තරුණ කවියකුගේ කුලුඳුල් කවි එකතුව ජාතික මට්ටමේ ඇගයීමකට ලක්විය. ඒ සිදුවීම බොහෝ විවාදවලට තුඩු දුන්නේ ය. කවිපොත නිර්දේශ කළ විනිසුරු මඬුල්ල මෙන් ම කවියා ද ගර්හාවට ලක්විය. පැසසුම් සහ අවලාද පනහට පනහ බෙදී ගියේය. විනිසුරු මඬුල්ල මෙන්ම කවියාද මේවාට වගඋත්තර බඳින්නට ගියේ නැත.

සාහිත්‍ය පිටු පැල් බැඳගනිමින් මේ කවියා අතිශය දුර්වල රචකයකු ලෙස කෲර විචාරයක් ලියූ එක් ලේඛකයකු වත්මනෙහි පාතාල සන්නිවේදකයකු බවට පත් වී සාහිත්‍ය චරිත ඝාතනය කරමින් සිටී. සාහිත්‍ය විචාරය සහ කුලියට මිනී මැරීම සමානකොට සලකන මෙබඳු පුද්ගලයන් හමුවන්නේ ඉතාමත් කලාතුරකිනි. බො‍හෝ දේවල් සිදු වෙද්දී කවියා නිදහස් ගමනක් ගියේ ය. හොඳ අභ්‍යාසලාභී සමයක් පසු කළේය. හේ තවමත් තමන් අභ්‍යාසලාභී කවියකු බව සිතයි. ඒ නිසා ඔහුට තම කවිය වර්ධනය කර ගනිමින් බොහෝ ඉදිරියට යා හැකි ය.

මේ කවියා ප්‍රථම රජත සම්මාන උළෙලේ හොඳම කවියා සම්මානය හිමිකරගත් ලක්ශාන්ත අතුකෝරළයි. ලක්ශාන්ත කවියකු නොවේ යැයි ප්‍රසිද්ධියේ ලියූ කියූ විචාරකයන්ට ද ඔහු කවියකු හැටියට පිළිගැනීමට සිදුව තිබේ.

ප්‍රකට සම්මානයක් දිනූ පමණින් කවියා මුරුංගා අත්තේ තැබීම වරදක් යැයි කෙනකු කියන්නට පුළුවන. ඔවුන්ට කීමට ඇත්තේ ලක්ශාන්ත යනු මුරුංගා අත්තේ තැබීමට තරම් කවි බබෙකු නොවන බවයි.

හද තුළ දුක් උල් නැඟිට සිටිද්දී

බස් රිය තුළ මොට දිරි හිඳුවා ගෙන

කඳුළු එපා වූ නෙත නිසි පිසිමින්

බිරියට මල්ගෙන යන එක් මිනිසෙකි

2006 දී ලක්ශාන්ත පළ කළ ‘ අමාවකේ සඳක් සිඹිමි’ කෘතියෙහි පළමු නිර්මාණය වන කඳුළු වැටුණු මල් ආරම්භ වන්නේ මෙසේය. අප එදිනෙදා දකින සුලබ වස්තූන් සහ සිදුවීම් සියුම් අයුරින් නිරීක්ෂණය කිරීමේ ගුණය මේ කවියා සතුය. එය කවියාගේ සූක්ෂ්මාත්මතාව ලෙස හැඳින්වීමේ වරදක් නැත. මේ කවියාගේ විශිෂ්ටත්වයට බලපෑ මූලික ගුණය එය යැයි සිතමි.

නොලැබ සිහලඹ නීල ගිනි සිළ

ඔහේ ඇවිළෙන බව නොදත්

සොයා මිස හමු නොවී අත් හළ

අඳුරු පතළකි විල අදත්

2014දී ඔහු පළ කළ ‘ඊ’ කවි පොතෙහි ‘අනුරා’ කව එසේ ඇරඹෙයි.

කවියාගේ සියුම් නිරීක්ෂණ මහිමය මෙහි වැදගත් ම ගුණයයි.

මෙවර සම්මානයට පාත්‍ර වූ සමහර කමටහන් ඔහුගේ කවියෙහි වර්ධනීය අවස්ථාවක් ලෙස දකිමි. මුල් කෘතිවල දොසක් ලෙස ඇතැම් තැන්හි දී කැපී පෙනුණු වාර්තාමය ගතිය ඔහු හොඳින් වටහාගෙන කවිය වඩාත් බුහුටි කරගෙන ඇති සෙයකි.

වැසි පොදක් සේ

නොසිතූ මොහොතක දැල්වුණා

තවරා දෑසේ සිනාවක සීතල

කියා යන්නයි එදා ආවේ

නුඹ දුරක යන බව

(සුමිතුරේ ඔබ දහවලේ වැහි පොදක් සේ)

සිතුවිල්ලක්

පුංචි මාළුවෙකු වී

පීනායයි ඈතට සයුරේ

අපැහැදිලි අඳුරේ

(යාළුවන් උපදින තුරු පසු බසින් පුංචි මාළුවෝ)

අඳුරු දැල්ල පෙරා දමා

සිඳ ගත් සඳ කිරණ සෙයින්

දෙතොල් සිලෙන් මුහුණ පුරා

ඉහිරෙනු තුටු සිනාවන්ය

නමුදු දියලු සෝ පටකින්

යම්තම් දලිසි පියවෙන

දැස කවුළු හද අඳුරේ

දුක්ගැඹුරට විවරයන්ය

(අඳුරු පෙදෙස් විමසන භාවනාවන්ට කමටහන්)

මෙසේ උපුටා දැක්විය හැකි වෙසෙස් තැන් සමහර කමටහන් කෘතිය පුරා විසිරී පවතී.

සූක්ෂ්මාත්මතා ගුණයට අමතරව කවියෙහි අර්ථ ව්‍යක්තියට බාධා නොවන තරමට බස හික්මවා ගැනීමේ ගුණය කවියාට ඇත. මේ දැලි පිහියෙන් කිරිකෑමකි. කවියෙහි අන්තර්ගත සංවේදනා රිද්මය, ජීවන දෘෂ්ටිය හා අර්ථ සෞන්දර්යයෙහි දිශානතියට සීමා පැනවෙන අයුරින් බස අත්අඩංගුවට ගැනීම ඇතැම් විට හානිකර ප්‍රතිඵල අත්කරදෙනු ඇති බව මේ කවියා ප්‍රත්‍යක්ෂයෙන් දනී.

කවියෙහි අන්තර්ගතය උද්දීපනය වන පරිදි බස ගඟුලක් සේ ගලන්නට හැරෙන තැන්වලදී කවියා වුවමනාවට වඩා බාධා කළ යුතු නැත. කවිය යනු ගඩොල් අච්චුවකින් ගඩොල් බෑම්මක් නොවේ.

පුද්ගලානුභූතිය කව්‍යානුභූතිය බවට පත්කිරීමේදී කවියෙහි රමණියත්වයට බාධා කරන එකදු වචනයක් හෝ එහි තිබිය යුතු නැති බව සැබෑ ය. එසේ වුව ද කවියෝ විවිධ වෙත්. කවියෙහි හැඩය විවිධ වෙත්. කවින් ජීවත් වන සංස්කෘතින් විවිධ වෙති. භාෂාව විවිධ වෙති. ආරියවංශ රණවීරයන් පරිවර්තනය කළ ‘කවිය සහ කවියෝ’ කෘතිය මේ විවිධත්වය හොඳින් අධ්‍යයනය කළ හැකි අගනා නිබන්ධ සරණියකි. විවිධ රටවල විශිෂ්ට කවීන් කවිය පිළිබඳව නිදර්ශනාත්මකව දැක් වූ අදහස් ඊට ඇතුළත් ය.

මේ අනුව ලක්ශාන්ත යනු ලක්ශාන්ත ය. ඔහුගේ කවිය ඔහුගේ ම ය. ඔහුගේ කවියෙන් අනෙකාගේ කවිය නොදැකිය යුතුය. ඒ කවිය මගේ කවිය නොවේ යැයි කිසිවකු කලබල විය යුතු ද නැත.

පසුගිය දශකයෙහි නව කවිය බැබළ වූ මහින්ද ප්‍රසාද්, රුවන් බන්දුජීව යනාදී කවීන්ගේ නාමාවලියේහි ලක්ශාන්ත නිශ්චිත තැනක සිටිනුයේ කවිය පිළිබඳ විශ්විය අර්ථ සමුදායෙහි හැසිරෙමින්ම තමනගේ කවි ලකුණ මතු කරන්නට දැක් වූ සමත්කම අනුව ය.

ලක්ශාන්තගේ කවිත්වය මනාව කැටපත් කරන කවියකින් මේ සටහන අවසන් කරමි. කවියාගේ පුද්ගලික විඳීම ඉක්මවා පොදු විඳීමක් බවට පත්ව ඇති මේ කව ඔහුගේ කවියෙහි අනන්‍යතාව අපට කියයි.

 

පබළු පොටක ඇට ඉහිරෙයි යට ගිය හීනෙක

දම් ගවුමක් වැටී තිබෙයි මල් ඕවිල්ලක

සිනා නගනු බැරි විහිදා ළා පෙති එකිනෙක

ඇත් දත් පැහැ ඕළු මලකි මිහි ගැබ කුහරෙක

 

ජපන් ජබර දලු දඟලයි වෑරුණු වැව මත

ඉරට යටින් සුදු දේදුනු සේසත් පෙළ ඇත

දමට දමේ දම් පෑ ගති ඉදිමුණු හදවත

ඉඳිකටු තණ පලා මලක් සූරයි මුළු සිත

 

ලුහු බැඳ එයි ඇගෙ අවසන් සීත සුසුම් පොද

ඒ සුසුමේ කෙලෙස පෙම් රළ ගැට ගසමිද

රැය කැළතෙයි වීදුරු පිට ළසෝ බුබුළු ඇඳ

දෑසම මධු විතට වැටෙයි දිය වී බිඳ බිඳ

 

වේදනාව දම් පාටයි හිත ඇවිළෙන කොට

හීන දුමේවත් පෙනියන් රත්තරනේ මට

රෝස ඇඟිලි තුඩු උණුසුම් මායාවෙන් පිට

මගෙ අත්තටු කටු කොයින් ද ඉගිලෙන්නේ හෙට

(දම් පැහැ ආලෝක පිරුණු

අවන්හලකදී)

 

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...