ගංව­තුර බැස ගියා-ජීවි­තය නැව­තුණා ද?

බුද්ධදාස ගලප්පත්ති

වෙසක් පුර හඳ මැකී යනකොට ආකාසෙ අඳුරු වුණා. ඉඳහිට තරු කැටයක් දෙකක් අඳුරු ආකාසෙ දැල්වෙනව දැක්කත් අහස වසාගත් මහා අඳුර මකන්නට පුංචි තරු කැටයකට නැත්නම් තරු කැට දෙක තුනකට බැරි බව මම දන්නවා. වෙසක් හඳ එළිය මැකී ගිය ආකාසෙ වසාගත්ත මහා කළුවර, එකපාරටම අහසින් පොළොවට ගලා ආවෙ, වෙසක් මාසෙ අග සතියෙ, කවුරුවත් නොහිතපු වෙලාවක, නොහිතපු විදියට අදහගන්න බැරි තරමෙ පුදුමයක් එක්ක. විසිහතරවෙනිදා විතර හෙමින් සැරේ ගලාගෙන ආ අඳුර ගඟක් වෙලා වියරු වැටෙමින් ගම්බිම්, කෙත්වතු, ගේදොර, ගම රට විනාශ කරන්න පටන් ගන්නකොට මට මතක් වුණේ අවුරුදු දො‍ළහකට විතර ඉස්සර නත්තල් දවසට කලින් දවසෙ අපේ රටේ, මුහුදු තීරය අයිනෙ ගම්බිම්වලට සිද්ධවුණු සන්තෑසිය. අපි කතාබහ කරන වචනවලට එකතුවුණු අලුත්ම වචනය කරපු විනාශය ගැන මතක් වෙනකොට අදත් අපේ ඇඟ කිලිපොලා යනවා.

පැරෑලියෙ දුම්රියෙ හිටපු සිය ගණනක් දෙනාට සිද්ධවුණු විපත සුනාමි විපතෙ නොමැකෙන ශෝකජනක කතා අතර එක් කතාවක් පමණක් වුණත්, ඒ වගේ කතා රාශියක් සුනාමිය සිදුකළ මහා විපතට ගොදුරු වුණු මුහුදු තීරයේ ජීවත්වුණු දහසක් දෙනා ළඟ තවමත් ඉතිරි වී තිබෙන වග දන්නවා. ඒ මතක, කාලය විසින් යටපත් කරන්නට කෙතරම් වෙහෙසක් ගත්තත්, ඒක නිෂ්ඵල ව්‍යායාමයක් වෙන්නෙ, ඒ වගේ දුක්බර, අමිහිරි, වේදනාබර අත්දැකීමකට මුහුණ දුන්නු පවුලක කිසිම සාමාජිකයකුට ඒ බිහිසුණු වේදනාකාරී අත්දැකීමේ සුන්බුන් අතරින් ගොඩඑන්නට නොහැකි නිසා. සුනාමිය නැවත වතාවක්, අවුරුදු දහතුනකට විතර පස්සෙ වෙනත් වේශයකින් පැමිණුනාවත්ද කියල මට කල්පනා වුණේ වෙසක් සඳ බැස ගිය ආකාසෙ කළුවර මහා ජලකඳක් බවට පත්වෙලා පොළොවේ ගලාගෙන යන්නට පටන් ගත්තට පස්සෙ. උතුරු නැ‍ඟෙනහිර, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව වගේ පළාත් යටකරගෙන ගලා යන්නට කල්පනා නොකළ මහා ජලකඳ සබරගමුව, බස්නාහිර, දකුණට අකෘතඥ විදියට, අකාරුණික වන්නට කල්පනා කළේ ඇයිද කියල තවමත් හිතාගන්න බැහැ. කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ එක්ක නිල්වලාවත් එකතුවෙලා හිතක් පපුවක් නැති විදියට ඇයි එහෙම හැසිරුණේ කියල අහන්න පුළුවන්ද අපට?

කඳු මුදුන්වලින් කඩාවැටිලා නිසංසලේ ගම්බිම් සරු කරමින් ගලා යන්නට පුරුදුවෙලා හිටපු මේ කොමලියන් ගැන මොන තරම් සින්දු සිව්පද ලියැවිලා තියෙනවද කියලා කල්පනාවට එනවා. කළු, කැලණි නදී ගලා යාවී වගේම පීනමුකෝ කළු ගඟේ, කිරි බැබළෙන හඳපානේ වගේ සින්දුවලින් අපි දැකපු එහෙමත් නැත්නම්, කොළඹ යුගයේ කවීන්ගෙ ඉඳලා අද දක්වාම අලුත් පරපුරේ කවියොත් කවි ලියපු, ගිං ග‍ඟේ ‍විලාපය වගේ කවිපොත් මතක්වෙන ගංඟා කොමලියන් වියරු වැටුණා වගේ හැසිරුණේ ඔවුන්ගේ ආදරවන්තයන්ගෙන් ඔවුන්ට සිද්ධවුණු අතවරයකට, දුෂ්ටකමකට පළිගන්නට ද කියලත් හිතෙන වාර අනන්තයි.

ඒත් ඒ හැමෝම කිසිම දෙයක් සිද්ධවුණේ නැති ගානට, පුරුදු නිසංසල ගමන් ලතාවටම ආපහු ගලාගෙන යනව දකිනකොට ජීවිතයේ ස්වභාවය මේකද කියල අ‍පගෙන්ම ප්‍රශ්නයක් අහන තැනකට අපව පත්කරනව නේද? සතියක නැත්නම් දවස් දහයක තරමෙ කෙටි කාලයක දී වුණත්, ගංවතුර, වැහි වතුර කළ විනාශය එසේ මෙසේ එකක් නොවන වගයි ගණන් හිලව් කියන්නෙ. ගංවතුර විතරක් ද? ගංවතුරත් එක්ක කරට අතදාගෙන එන නායයෑම් කළ විනාශයෙ ගණන් හිලව් ටිකත් එහෙමයි. ජූනි 05 දා වෙනකොට දිස්ත්‍රික්ක පහළොවක 684,000ක් ගංවතුර උවදුරින් බැට කාලා. ඒ අතර දෙසීය හැත්තෑ හතර දෙනෙක් (274) මෙලොවින් සදහටම සමු අරගෙන. හැත්තෑ නව (79) දෙනෙක් තවමත් ආගිය අතක් නෑ. සම්පූර්ණයෙන්ම 2500ක් ගෙවල් විනාශ වෙනකොට භාගෙට විනාශවුණු ගෙවල් සංඛ්‍යාව 15,890ක් කියලයි වාර්තා වෙන්නෙ. ගංවතුර ආවා, විශාල සද්දයක් කළා. දැන් බැහැගෙන ගිහින් හමාරයි. ඒත් ගංවතුර විපතට ගොදුරුවුණු දහස් ගණනක් ජීවිත යථා තත්ත්වයට පත්වෙලාද? ඔවුන් තමන්ගේ සුපුරුදු ජන ජීවිතයට ඇවිත් ද කියලා කවුද දන්නේ?

ගංවතුර හෙමින් සැරේ තමන්ගෙ කුරිරු රංගනය ඉවර කරලා කර්ටන් කෝල් එකට එනකොට ගංවතුරින්, නායයාම්වලින් දුකට පත්වුණු, උන්හිටිතැන් අහිමිවුණු අපේම සහෝදර ජනතාව ගැන, එහෙම දුකට පත් නොවුණු ප්‍රදේශවල ජීවත්වුණු ලක්ෂ සංඛ්‍යාත දෙනා ජාති, ආගම්, කුල, පක්ෂ භේදයෙන් තොරව පිහිටට ආපු විදිය බලාගෙන හිටියෙ හිතේ පුරවාගත් ආදරයකින්. භක්තියකින්. ගංවතුර අතරතුරේ අන්තර්ජාලයේ වෙබ් අඩවි, මුහුණු පොත (බුකිය) පහුගිය අවුරුද්දෙ වගේම එකා වගේ එක්වෙලා සමාජ සත්කාරයට ඉදිරියට ආවෙ හදවතේම උපන් මානව දයාව ලෝකයටම පෙන්වමින්. ආහාරපාන, ඇඳුම් පැලඳුම්, යාන වාහන, බේත් හේත්, පොතපත, ගේදොර අලුත්වැඩියාවට ඕන කරන බඩු භාණ්ඩ විතරක් නෙවී මිල මුදලින් ද අවතැන්වුණු සහෝදර ජනතාවට දීලා ඒ අයගෙ ජීවිත ආපහු ගොඩනඟා ගන්න අත දුන්නෙ, අපේ ඇතැම් මාධ්‍ය ආයතන වගේ තමන්ගෙ ආයතනයෙ නම ලේබල් එකක් විදියට පාවිච්චි කරල මාර්කටින් ලාබයක් ලබාගන්න නොවෙයි කියන ඇත්ත මම හොඳින්ම දන්නවා. අසරණයන් වෙනුවෙන්, ජනතාවගෙන්ම ලබාගන්නා ආධාර එක්රැස් කරලා, ඒවා තමන්ගේ මාධ්‍ය ආයතන බැනර්වලින්, පෝස්ටර්වලින් වටවුණු වාහනවලින් රට පුරා බෙදා දෙන්නට ඉදිරිපත් වුණේ දුකට පත් මිනිස්සු පිළිබඳ කරුණාවෙන් ද, දයාවෙන් ද, ආදරයෙන් ද කියන එක නම් ප්‍රශ්නකාරියි.

මුහුණු පොත හෝ වෙනත් සමාජ මාධ්‍ය ජාලා බොහොමයක් ම, තමන්ගෙ යුතුකම, මෙහෙවරක් විදියට කරන්නට ඉදිරිපත් වෙලා හිටියෙ, කිසිදු ලාබ ප්‍රයෝජනයක් හෝ ප්‍රචාරයක්, ජනප්‍රිය වීමේ ලේබලයක් අලවා ගැනීමේ වුවමනාවෙන් නොවන බව සක්සුදක් සේ පැහැදිලි වුණා. ඇතැම් දවසක සුපුරුදු පරිදි කොටුව දුම්රිය ස්ථානයේ බත් පාර්සල්, වතුර බෝතල් එක්කරන්නට එහි ගිය බුකීවාසීන්ට දුම්රිය ස්ථානයේ ලොක්කන් යයි කියාගන්නා ටයි පොලුවලින් ගෙල හිරකර ගත්තු අධිපතීන් තම අධිකාරීත්වය ප්‍රදර්ශනය කිරීමට ගත් නිර්ලජ්ජී උත්සාහය ද, ඊට බුකීවාසී සහෝදර සහෝදරියන් දුන් ප්‍රතිචාර ද මුහුණු පොත බිත්තිවල ලියැවී තිබෙනු දැක්කම ඔවුනගේ නිර්භීත ප්‍රතිචාර වෙනුවෙන් මගේ ආචාරය හිස නමා පිරිනමමින්, ජන යහපත සඳහා කෙරෙන සද් ව්‍යාපාරයකට එරෙහි වන කුමන අධිපතිවාදී බලවේගයකට හෝ තර්ජනයකට ප්‍රතිප්‍රහාර දීමේ නියම ක්‍රමවේදය එය ම බව අනුමත කිරීමට කැමැතියි.

ගංවතුර තර්ජනය කෙමෙන් පහවී යද්දී හා ඒ අතරතුර කාලයේ ඇතැම් ජනමාධ්‍යවේදීන් රූපවාහිනී කැමරාවක් ඉදිරියට පැමිණි පසු සජීවීව ප්‍රේක්ෂකයන් අමතන වැඩසටහනකදී තමන්ට රිසි ‍ඕනෑම දෙයක් පැවසීමේ වල්බූරු නිදහසක් ඇතැයි සිතමින් සජීවීව ප්‍රශ්නයක් ඇසූ ප්‍රේක්ෂිකාවකට තර්ජනය කළ, අමනෝඥ විලාසය මා දුටුවේ, මුහුණු පොත සගයන් විසින් එවා තිබූ පෝස්ටුවකින්. තමන් ගායකයෙක්ය, රූපවාහිනී කැමරාවක් ඉදිරියට පැමිණ ප්‍රේක්ෂකයන් අමතන්නට ලැබීමේ වාසනාව හිමි වූ පමණින් මාධ්‍යවේදියෙක්ය යන මිථ්‍යාවේ ගිලී සිටිනා බොහෝ පිරිස අතරින් එක් මොඩලයක් බඳු වූ, පෙර කී ඊනියා ගායකයා හෝ මාධ්‍යවේදියා ප්‍රේක්ෂකයන්ගේ අවඥාවට හා නින්දා අපහාස, පරිභවවලට ‍ගොදුරු වූයේ ඔහු නිරත කලා මාධ්‍ය ද්වයම ‍පිළිබඳ කිසිදු දැනුමක්, සුදුසුකමක් හෝ ප්‍රතිභාවක් නොමැති පුස්සකු බව ලොව ඉදිරියේ ප්‍රදර්ශනය කරමින්.

එවැන්නන් පිළිබඳ අනුකම්පා වනු විනා අප අන් කුමක් කළ යුතු ද? අමනෝඥ මාධ්‍ය හැසිරීම් විද්‍යුත් මාධ්‍යයට පමණක් සීමා වී යයි නොසිතමි. ඇතැම් මුද්‍රිත මාධ්‍ය පවා ගංවතුර විපතේ කතාන්දර ආලවට්ටම් දමා, ඔපවත් කරමින් ඉදිරිපත් කළ බව මතකයට එයි. ජන ජීවිතය ටිකින් ටික යථා තත්ත්වයට පත් වූයේ නමුත්, ඒ දිනවල පවත්වන්නට නියමිතව තිබූ මහා පරිමාණයේ සම්මාන රාත්‍රියක් සංවිධායකවරුන් විසින් කල්දමන්නට යෙදුණේ ඔවුන් මානව හිතවාදී ව්‍යාපාරිකයන්ය බව ලොවටම ප්‍රදර්ශනය කරමිනි. වාර්ෂිකව පැවැත්වෙන රයිගම් ටෙලීස් රූපවාහිනී හා මාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල ජූනි 03 වැනි දිනට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණේදී පැවැත්වීමට නියමිතව තිබුණද එය දින නියමයක් නොමැතිව කල්දමන ලද්දේ රටෙහි බහුතර මහජනතාව දුකට, විපතට පත්ව සිටින මොහොතක, එවැනි උළෙල, සාද සම්භාෂණ පවත්වා ප්‍රීති වීමට ‍තරම් අකාරුණික හදවත් ඔවුන් සතු නොවන බව අන් ව්‍යාපාරිකයන්ට ද, කලාකරුවන්ට ද ආදර්ශයක් වන පරිද්දෙනි. එවැනි විශාල කලා මංගල්‍යයක් කල්දැමීම යනු විශාල මුදලක අලාබයක් දරාගැනීමක් පමණක් නොව, යටිතල පහසුකම් හා අනෙකුත් සංවිධාන කටයුතු සියල්ල යළි මුල සිට පටන් ගැනීමක් වැනි වුවත්, රයිගම් ටෙලීස් හා රයිගම් සමූහ ව්‍යාපාරය දේශීය ව්‍යාපාරික සමූහයක් ලෙස තම සහෝදර ජනතාව ප්‍රමුඛ ස්ථානයකලා සලකන්නට ගත් උදාර තීරණයක් ලෙසයි මා දකින්නේ. ඉදිරි දිනෙක 24 ශනිදා තෙක් ඉවසා සිටිමු. 2016 රූපවාහිනී රඟමඬලෙහි දස්කම් පා ඇත්තේ කවුරුන් ද කියා දැනගැනීමට, ඔවුනට සුබ පැතීමට.

ගංවතුර ගලා ගොස් හමාර වෙමින් යද්දී ජන ජීවිතය සුපුරුදු ගමන් ලතාවට පත්වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලානය සඳහා තරග වැදුණු තරගාවලියේ තරග නැරඹීමෙනි. දකුණු අප්‍රිකාවට පරාජය වී දුකට පත්වී සිටියත් බලගතු ඉන්දියාවට දුන් ප්‍රහාරය ගැන මුළු රටම උද්දාමයට පත්වුණේ ජය පැන් බොමින් පොසොන් පෝය දා.

ඉන්දියාවට මතක හිටින පාඩම ඉගැන්වූ දා මුහුණු පොතේ අපූරු ක්‍රිකට් පෝස්ටු තිබෙනු දුටුවා. චතුර ජයනාත් කියන ක්‍රිකට් ලෝලියාගේ පෝස්ටුව තමයි මගේ හිත් ගත්තෙ. ඔහු කියල තිබ්බෙ මෙහෙම. “ගහන්න ඕනි තමා, ඒත් යකෝ අද වගේ දවසක පොසොන් පෝ දිනයක ජම්බුද්වීපයට නෙළපු එක නම් අනුමත කරන්න බෑ මචං” උපහාසය පිරිච්ච අපූරු කියමනක් විදියටයි මම ඒ පෝස්ටුව දැක්කෙ. ක්‍රිකට්වලින් පොතපතට. ජනජීවිතය ටිකින් ටික ගලා යන්න පටන් අරන්. රජත පුස්තක කවි කෙටිකතා සම්මාන උළෙල දහවැනිදා නියමිත විදියට පැවැත්වුණා. විපත් කෙළවර, විපත ගැනම තැවී නොසිට අලුතින් ජීවිතය පටන් ගන්න ඕන කියන තැනයි මා නම් ඉන්නෙ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...