අන්ධ ලෝකය

බන්දුල පී දයා­රත්න

“ඔන්න ඔන්න ටොම්සන් මහත්තයා අයින් වෙන්ඩ අයින් වෙන්ඩ... සිග්නල් නැති වාහනයක් එනවා..”කියා උන්නැහේ කෑ ගැසුවේ පාරේ ඇවිද ගෙන යන ගමන්ය.

“උන්නැහේට පිස්සුද මේ පාරේ කෑ ගහන්නේ.. වාහන යන්නේ මහ පාරේ නේ.. අපි යන්නේ මේ පදික වේදිකාවේ නේ...” කියා ටොම්සන් මහත්තයා පුදුමයෙන් ඇසුවේය.

“ඒ ඉස්සර... තව පොඩ්ඩෙන් අපි හැප්පිලා වැටෙනවා.. දැන් දැක්කේ නැද්ද අර කන්වල වයර් එල්ලා ගෙන සිග්නල් නැති බර වාහනයක් ගියා... යන්නේ කොහේද කියලාවත් දන්නේ නෑ...”

“ආ... ඔය කියන්නේ මේ සෙල්ෆ්චූන් එකක්... ඕක මොකක්ද උන්නැහේ... දැන් රටේ පිස්සුවක් නේ... දන්නවද ගිය සතියේ එක දවසක තුන් දෙනෙක්ම මැරුණා සෙල්ෆිචූන් එකෙන්... මේක තනිකරම පිස්සු සමාජයක්. ලොකුද? පොඩිද? ගෑනුද? පිරිමිද? උගත්ද? නූගත්ද? එහෙම එකක් නෑ.. ඔක්කොටම පිස්සු... හරියට සින්දු අහ අහ ගියේ නැතිනම් මැරිලා වැටෙයි වාගේ... කොතන හරි රේල් පාරක හරි.. එහෙම නැතිනම් දිය ඇල්ලක ගලක් උඩ හරි තමයි පින්තූර ගන්න යන්නේ...”

“ටොම්සන් මහත්තයා දන්නවද? ඕකට තමයි කියන්නේ මරුණීය ඡායාරූප කලාව කියලා.. තවම මේ කලාවේ ආරම්භය විතරයි... තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙයි... අනේ රටකට ගිය කලක්..”

ටොම්සන් මහත්තයා උන්නැහේත් සමඟ පාර හරහා යන්නට බලා සිටියහ. පාරේ යන වාහනවලින් එකකට එකක් එලවන්නේ කනේ වයර් ගසා ගත්තු රියැදුරු මහත්තුරුය. එහෙමත් නැතිනම් එක අතකින් ජංගම දුරකථනයෙන් කතා කරමින් අනික් අතින් රෝදය කරකවයි.

“ටොම්සන් මහත්තයා දන්නවද? අපේ රටවල් අසංවර්ධිතයි කියලා කියන්නේ ඇයි කියලා? ” කියා උන්නැහේ ඇසුවේය.

“ඒ කියන්නේ සංවර්ධනය වෙලා නෑ කියන එක නේ...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

“ඔව්.. එහෙමත් වෙන්න පුළුවන්.. ඒ වුණත් ඒකේ මං අහලා තියෙන කතාන්දරය නම් මේකයි. සංවර්ධිත රටවල ජනයා ඈතින් වලක් තියෙනවා දැක්කාම ඒ වලේ වැටෙන්නේ නැතිව යන්න ක්‍රමයක් හොයා ගන්නවා. සංවර්ධනය වෙන රටවල ජනයා ඈතින් වලක් තියෙනවා දකින්නෙත් නෑ.. එක පාරටම වලේ වැටිලා.. ඊට පස්සේ කල්පනා කරනවා මේ මොකද වුණේ කියලා... කොහොම හරි වලෙන් ගොඩ ආවොත් ආයෙත් ඊ ළඟ වලේ වැටෙනකං ඔහේ යනවා...”

“හරි.. ඉතින් දැන් මේ කනේ වයර් මල්ලිලාට නංගිලාට මේක අදාළ වෙන්නේ කොහොමද?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“මේකනේ ටොම්සන් මහත්තයා... රටේ උසස් නිලධාරීන්ට පුළුවන් වෙන්න ඕනෑ.. ඈතින් වලක් තියෙනවා කල් ඇතිව දකින්න... එතකොට එතනින් යන්න ක්‍රම හොයන්න. ඒ වගේ දැන් මේ අලුත් තාක්ෂණය එනවා.. ඒවා සමාජයට කොහොමද බල පාන්නේ කියලා අඩු ගණනේ ඊට කලින් ඒ තාක්ෂණය ආපු රටවල් අධ්‍යයනය කරලා හොයා ගන්න පුළුවන්. එතකොට ඒකට අවශ්‍ය නීති රීති පනවන්න පුළුවන් නේ... ”

“ආන් බලන්න උන්නැහේ.. අර දුම්රිය පාරේ අයිනේ ගහලා තියෙන බෝඩ් එක. මං හිතන්නේ ඕක සුද්දගෙ කාලේ ගහපු බෝඩ් එකක්.. උන්නැහේ කියනවා වාගේ අවශ්‍ය නීති රීති තියෙන එකක්.. දුම්රිය පාරේ ගමන් කරන අයවලුන්ට නීතියෙන් අච්චු කරනු ලැබේ...”

උන්නැහේ හොක් හොක් ගා සිනහසුණේය.

“ඇයි උන්නැහේ එහෙම හිනා වෙන්නේ? මං කිව්වේ බොරුද?”

“නෑ... ඇත්ත තමයි.. ඒ වුණාට ඔය බෝඩ්එක නිකම් නමට විතරක් තියෙන එකක් නේ... අනික ඒ කාලේ ඔය කෝච්චියට විතරයි නේ... ඒක අදාළ වෙන්නේ... අද වෙන කොට තව කොච්චර ඔය වගේ බෝඩ් ඕනැද හරියට ගහනවා නම්... මං අද ගිහිල්ලා අඳිනවා බෝඩ් ටිකක්..”

හැන්දෑවේ ගෙදරට පැමිණි උන්නැහේ බෝඩ් අඳින්න පටන් ගත්තේය.

1. ජංගම දුරකථනයෙන් කතා කරමින් ගමන් කිරීම තහනම්.

2. මහා මාර්ගයේදී හෝ වාහන පදවද්දී හෝ ජංගම දුරකථන සම්බන්ධතා රැහැන් කන්වල සවි කර සිටීම තහනම්.

3. මෙම ස්ථානයේ සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම්.

4. දුම්රිය මාර්ගයේ රැඳී සිටීම හෝ දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කිරීම තහනම්.

5. අවුරුදු දහ අටට අඩු අයට මුහුණු පොත් පවත්වා ගැනීම තහනම්.

6. අනුමැතියක් නැති වීඩියෝ ප්‍රදර්ශනය හෝ ගීත වාදනය හෝ ගුවන් විදුලි නාලිකා ප්‍රචාරය පොදු ප්‍රවාහන සේවා තුළ තහනම්.

7. ජංගම දුරකථන මගින් මහ මඟ යන්නන්ගේ ඡායාරූප ගැනීම තහනම්.

“කොහොමද මගෙ බෝඩ් ටික...” කියා උන්නැහේ මහත් ආඩම්බරයෙන් ඇසුවේය.

“දැන් උන්නැහේ ඕවා කොහෙද ගහන්න යන්නේ...” කියා ඇසුවේ ඇම්බන් මහත්තයාය.

“මං ඒක තවම කල්පනා කළේ නෑ... ඒක වෙනම හිතලා බලන්ඩ ඕනෑ...” කියා උන්නැහේ කීවේය.

“දැන් කවුද ඉතින් ඔය තහනම් නියෝග පනවන්නේ? උන්නැහේද?” කියා ඇසුවේ ටොම්සන් මහත්තයාය.

“ඒකත් කල්පනා කරලා බලන්න ඕනෑ.. මං තහනම් කළාට අනික් අය ඒක බාර ගන්න එකක් නෑනේ...”

“අනික උන්නැහේ ඔය තහනම් ප්‍රායෝගිකද? මේ සමාජයේ ඕවා තහනම් කරන්න පුළුවන්ද?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“අන්න ඒක තමයි මං මුලින් කිව්වේ... සංවර්ධනය වන රටවල ජනයාගේ හැටි...වලේ වැටිලත් තේරෙන්නේ නෑ වලේ වැටිලා කියලා.. ඉතින් කොහොමද ඒකෙන් ගොඩ එන්නේ... ” කියා උන්නැහේ කීවේය.

“එක අතකට උන්නැහේ හිතන ඒවා හරි ටොම්සන් මහත්තයා... අලුත් ගැටලුවලට උචිත වෙන විදිහට සමාජ ශික්ෂණයක් ඇති කරන්න නීති රීති අවශ්‍යයි. මොකද? මේ වෙනකොට තේරිලා තියෙනවා හොඳටම ස්වයං සමාජ විනයක් ඇති වෙන්නේ නෑ කියලා.. ඉතින් පුද්ගල නිදහසට වැඩිය පුද්ගල ආරක්ෂාව හුඟක් වටිනවා.. ඒකට ඕනැ නීති රීති පනවන්න හීන බල බලා ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක..” කියා ඇම්බන් මහත්තයා කීවේය.

“ඉතින් ඕක මටද කියන්නේ ඇම්බන් මහත්තයා..?” කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

“නෑ.. මං කිව්වේ මේ ගැන වගකිවයුත්තන්ට... නැතිනම් තව ටික දවසක් ගියාම ඕවා ප්‍රවෘත්තිවලට ගන්නෙත් නෑ.. මොකද ඒ තරම් නිතර සිදු වෙන නිසා...” කියා ඇම්බන් මහත්තයා කීවේය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...