කැමරා කතා එදා සහ අද | දිනමිණ

කැමරා කතා එදා සහ අද

 මහානාම දුනුමාල

‘කැමරාව’ බිහිවූ දා පටන් කුතුහලය දනවන මැජික් භාණ්ඩයක් ව තිබිණි. අප ඉතා කුඩා සන්දියේ කැමරා ලෙස තිබුණේ පෙට්ටි කැමරා ය. මෙම කැමරාවලින් ඡායාරූප ගැනීමට 120 වර්ගයේ දළ සේයා පට උපයෝගි කර ගැනිණි. මේ වර්ගයේ දළ සේයා පටය ප්‍රමාණයෙන් විශාල ය. වැඩිකල් නොගොසින් ම වඩා නවීන පන්නයේ කැමරා භාවිතයට ආවේ ය. මි. මී. 135 දළ සේයාපටය ද වෙළඳපොළ ආක්‍රමණය කළේ ය. එහෙත් ස්ටුඩියෝවල විධිමත් ඡායාරූප හා මංගල ඡායාරූප ආදිය ගැනීමේ දී පෙට්ටි කැමරාව සහ 120 පටල පටය බොහෝ කලක් භාවිත විය. කළු සුදු ජායාරූප කලාව පැවති යුගයේ ද බොහෝ පාසල්වල ඡායාරූප සංගම් තිබිණි. අප පාසල් ගිය කෑගලු විද්‍යාලයේ ද විෂය බාහිර ක්‍රියාකාරකමක් සේ ඡායාරූප සංගමයක් තිබිණි. අඳුරු කාමරයක් ද (dark room) පාසලේ විය. ‘එච්. එස්. කේ. විජේතිලක’ නම් ගුරුවරයෙක් ලංකා ඡායාරූප කලා සංගමය හා සම්බන්ධ වෙමින් ශිෂ්‍යයන්ට සේයා රූ කරණය ඉගැන්වීය. පාසලේ පටල පට සෝදන හා විස්තාරණ උපයෝගී කර ගනිමින් පාසලේ දී කලාත්මක කළු සුදු ඡායාරූප සකසා ගන්නට හුරු වූහ.

විවෘත ආර්ථිකය ලාංකීය ඡායාරූප ශිල්පයේ වර්ධනයට බෙහෙවින් උපස්ථම්භක විය. කළු සුදු ඡායාරූපය වෙනුවට ආදේශ වූ වර්ණ ඡායාරූපය ඡායාරූපකරණය වඩා ජනප්‍රිය කළේ ය. ෆෝකසින් කැමරාවට ආදේශක ලෙස ඔටෝෆෝකස් කැමරාවේ සහ වන්ටෙන් කැමරාවේ ආගමනය හේතුවෙන් ඡායාරූප ශිල්පය පිළිබඳ දැනුමක් නැති අයට වුව ඡායාරූප ගැනීම පහසු විය. මෑතකාලීනව ජනප්‍රිය වූ ඩිජිටල් කැමරාව හේතුවෙන් දළ සේයාපටයට ද ඡායාරූපාගාරයෙන් සමුගෙන යන්නට සිදු විය.

අපේ රටේ කැමරා ශිල්පය අතිශයින් ජනප්‍රිය වූයේ ජංගම දුරකථනය වැඩි දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ ‘ස්මාට් ජංගම දුරකථනයත්’ සමඟින් යයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නො වේ. දුරකථනයක් අතැති කෙනකුට පහසුවෙන් ඡායාරූපයක් ගැනීමේ හා ඉක්මනින් අවශ්‍ය කෙනකුට හෝ තැනකට යැවීමේ හැකියාව ලැබිණි. එයින් ඇති වූ සාරඵල මෙන් ම අනිටුඵල ද බොහෝ ය.

දැන් අප හැමදෙන ම කැමරා ශිල්පීන් සහ කැමරාවට මුහුණ දෙන්නන් බවට පත්ව සිටිමු. වැඩ කරන ආයතනයේ සීසීටීවී කැමරා සවි කොට තිබේ. ආයතනයේ අකටයුතු ඉන් පාලනය වන බව සැබෑ ය. එහෙත් ඕනෑම කෙනකුගේ නිදහස් හැසිරීම් කැමරාවට හසුවිය හැක. පාරේ තොටේ මෙන් ම වෙළෙඳ ආයතනවල ද කැමරා ය. යන එන හැම දෙන නොදැනුවත්ව ම එහි දර්ශනවලට පෙනී සිටින්නෝ බවට පත්වෙති. තරුණ තරුණියන් පෙම් කරන්නට යන උද්‍යාන ආදියේ ද කැමරා ය. නොදැනුවත්ව ම කෙනකුගේ පෞද්ගලික හැසිරීම් අන්‍යයන්ට විනෝදය සපයන රූප රාමු බවට පත්විය හැක.

බොහෝ දෙන ස්කයිෆ්, වයිබර් ආදී උපාංගවල පිහිටෙන් අන්‍යයන් හා පිළිසඳරේ යෙදෙති. පෙම්වත්තු ඒ පිළිසඳර අතරතුර පෙම්වතියන්ගේ නිරුවත් ඡායාරූප ලබා ගන්නට ද පෙළඹෙති. සමහර අවස්ථාවල මෙම සේයා රූ පෙම්වතියට පාරා වළල්ලක් වෙයි. තමන් සතු නිරුවත් හෝ අඩ නිරුවත් සේයාරුව ආයුධයක් කරගෙන සිය පෙම්වතියට බලපෑම් කරන පෙම්වත්තු බොහෝ ය. දෙදෙන අතර අමනාපයක් ඇති වුවහොත් සිය පෙම්වතියගේ නිරුවත් සේයා රූ සමාජ වෙබ් ජාල තුළට මුදා හැර වාඩුව ගන්නට තරම් පෙම්වත්තු සාහසික වෙත්. මෑතක දී 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් දැරියක වන සිය පෙම්වතිය සමඟ අමනාප වී ඇගේ නිරුවත් ඉරියව් සහිත ඡායාරූප මුද්‍රණය කොට පාරේ එල්ලා ප්‍රදර්ශනය කළ තරුණයකු අත්අඩංගුවට ගත් පුවතක් පුවත්පත්වල වාර්තා වී තිබිණි.

අපේ අයගේ පමණ ඉක්මවූ කැමරා ලෝලත්වය ඒ අයට විශාල සමාජ ගැටලු ඇති කරයි. සමහරු සිය පෙම්වතියන් සමඟ හෝ අනියම් බිරියන් සමඟ හෝටල් කාමර තුළට වැද, සිය අතිශය පෞද්ගලික හැසිරීම් ස්මාට් ජංගම දුරකථනයෙන් රූපගත කරති. ජංගම දුරකථනයේ සටහන්ව ඇති මෙම වීඩියෝවල රහසිතගත බව රැකෙන්නේ වෙනත් කෙනෙක් අහම්බෙන් මෙම රූපරාමු දැක තමන්ගේ දුරකථනයට කොපි කර ගන්නා තෙක් පමණි. ඉන්පසු ඒවා අතිනත ගොස් කවුරුත් නරඹන රූපරාමු බවට පත්වේ. කලකට පෙර එක්තරා පාසලක විවාහක ගුරුවරයෙක් වෙනත් පුද්ගලයකු හා විවාහ වී සිටි ගුරුවරියක සමඟ මෙවන් ගමනක් ගොස් රූ ගත කරගත් රූපරාමු සිය ජංගම දුරකථනයේ ගබඩා කරගෙන තිබිණි. දුරකථනයේ අලුත්වැඩියාවක දී මෙ‍ම රූපරාමු ලබාගත් කෙනෙක් පාසලේ නම අගට අබිමන් යන්න යොදා සංගත තැටි සේ අලෙවි කළේ ය. මෙසේ අනුන්ගේ පෞද්ගලික හැසිරීම් සමාජ ජාල ඔස්සේ සංසරණය වීම අද සුලභ සිද්ධියක් බවට පත්ව ඇත. විටෙක සමාජයේ විශාල ප්‍රසිද්ධියක් ලබා සිටින අයගේ රහසිගත දර්ශන සමාජ ජාල තුළට පිවිස විශාල ආන්දෝලන ඇති කරයි.

ඇතැම් අවස්ථාවල ඛේදජනක සිද්ධි දැකිය හැක. මවක් සිය දරුවා ද රැගෙන ගඟට පනින්නට යයි ; පාරේ ගමන් කරන දැරියක් ගැඹුරු කානුවකට වැටෙයි; පාරේ යන කෙනෙක් මෝටර් රියක හැපෙයි; අද දවසේ මෙවන් අවස්ථාවල සිදුවන ‍ඛේදනීය සිදුවීම නම් පාරේ යනෙන බොහෝ අය විපතට මුහුණ පාන තැනැත්තා බේරා ගැනීමට හෝ රෝහල්ගත කිරීමට ඉදිරිපත් නොවී සිය ජංගම දුරකථනයෙන් සිද්ධිය ඡායාරූප ගත කිරීමට උනන්දු වීමයි. බොහෝ තැන්වල සිදුවන අකටයුතුකම් දකින අය විසින් රූ ගත කරනු ලැබ මාධ්‍ය වෙත මුදා හරිනු දැකිය හැක. මේ තත්ත්වය නම් සමාජයට උදා කරන්නේ යහපතකි.

කෙසේ වෙතත් එක් දෙයක් මතක තබා ගැනීම යහපත් ය. අප හැම දෙනෙ ම කාගේ හෝ කැමරාවකට නිරාවරණය වී සිටිමු. එබැවින් අපට යයි කිව හැකි පෞද්ගලිකත්වයක් නම් නැත. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...