රතු තරුව | දිනමිණ

රතු තරුව

ශාන්ති දිසානායක

වෙහෙසින් මිලාන වී ගියද ඇය මුව පුරා හිනැහුණාය. දිදුලන දෙනෙත නිහඬව කියාපාන්නේ ඕනෑම අභියෝගයක‍ට නොසැලී මුහුණදෙන වගය. මේ දිරිය යුවතිය දැකීමත් මංගල කාරණයක් නොවේදැයි මට සිතිණ. “හුඟ දවසකින් දැක්කෙ. මම මේ දැනුත් පුංචි අම්මට කීවා ඔයා ගැන....”

මහත් සතු‍ටින් ඇය පිළිගත් මම මැණිකෙ පුංචි අම්මාට ද හඳුන්වා දුන්නෙමි.

“ගාලු අක්කෙ ඊයෙද ආවෙ ....”

විඩාබර හඬින් කී ඇය අසුනක‍ට බර වූවාය.

“මම නම් හිතුවා ඔයා ගංවතුර තියෙන පැත්තක‍ට යන්න ඇති කියලා”

කොස් ගෙඩියක් සමඟ ඔට්ටු වන සංජීවනී නංගිටත් මැණි‍ෙක පුංචි අම්මාටත් අපේ සංවාදය අරුමයක් වූ වග පෙනිණ.

“මේ නංගී ජනතා විමුක්ති පෙරමුණේ උද්යෝගිමත් සාමාජිකාවක්. අඳුනගන්නට වටින කෙනෙක්.”

මම පැහැදිලි කළෙමි.

“හරි ඉතින් ... ඒ වුණාට ගංවතුරයි මේ ගොල්ලන්ගෙයි කරදරේ මට තේරෙන් නෑ..”

සංජීවනී නංගී විමතියෙන් පැවසුවාය.

“ර‍ෙට් විපතක් වුණාම වෙන පක්ෂවල දේශපලනඥයෝ වගේ කැමරාව ඉස්සරහ මාධ්‍ය සංදර්ශන පවත්වන්නෙ නැතුව විපත‍ට පත්වුණු මිනිස්සුන්ට උදව් කරනවා හැබෑම හැඟීමකින්..”

ඔවුන් මට සවන්දුන්නේ සුරංගනා කතාවකට සවන්දෙන දැරියන් මෙන් විමතියෙන් විවර කරගත් ඇසිනි. මුවිනි.

“හැබෑම හැඟීමකින් වැඩ කරන දේශපාලනඥයොත් ඉන්නවද මේ රටේ.”

ඒ ඇස්වල ලියැවී තිබුණේ එවැනි ප්‍රශ්නයකි.

“ඉතිං ඉතිං .... ඔයාම කියන්නකෝ නංගී ගාලු ගිහිල්ලා මොනාද කළේ කියලා...” මම තේ වක් කරන්නට ලක ලෑස්ති වීමි.

“මහ විනාශයක් වෙලා තියෙන්නෙ ඒ පළාත්වලට. ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන සේවා බළකායෙන් තමා නෙළුව රෝහල ශුද්ධ කළේ ... නෙළුව තවලම වෛද්‍ය සායන පැවැත්තුවේ .... ආ.... අපි උඩුගම හිනිදුම එහෙමත් වැඩ කළා ...”

ඇය දිගු විස්තරයක් තියාගෙන ගියාය.

සුසන්ත සහෝදරයාගේ නායකත්වයෙන් ගංවතුරින් විපතට පත් ගාල්ලේ සහන සේවා කටයුතුවල නිතර වන අතරේ මුහුණ දුන් අනුවේදනීය අත්දැකීම් ඇය විස්තර කලේ මහත් හැඟීම්බර අන්දමිනි.

පාසල් දරුවන් දින කීපයක් මුතුමලේ රැකබලාගත් විදුහල්පතිවරයකු පිළිබඳව ඇය පවසන විට මට සිහිපත් වුනේ ගුරු ගීතයේ දුයිෂෙන් ගුරුතුමාය. දුයිෂෙන්ලා තවමත් සිටින වග පසක් කර ගනිමින් මම සැනසුම් සුසුමක් හෙළුවෙමි.

“තමන්ගෙ පවුලෙ උදවිය මරණයට පත්වෙලා ඉද්දිත් අසරණ වුණ අනෙක් අයට පිහිට වුණ අපේම සහෝදරයෙක් ගැන නම් අපි කාටත් හරිම ආඩම්බරයි අක්කේ.”

මම හිස සැලුවෙමි.

“ආඩම්බර වෙන්න ඕනෑ නේන්නං... මනුෂ්‍යත්වය ගැන භක්තියක් ගෞරවයක් ඇතිවෙන්නෙ ඒ වගේ උතුම් මිනිස්සු හින්දානේ ...”

මැණිකෙ පුංචි අම්මා සුසුමක් හෙළුවාය.

“අනේ ඉතින් වතුරෙ ගිලිලා පස් කඳුවලට යටවෙලා මැරෙන්ඩ මොනතරම් පවක් කරලා ඇද්ද ගිය ආත්මෙ. පූරුවේ අකුසල්නෙ ඔය පල දෙන්නේ ..... කරුමේ ... වෙන මොකවත් නෙමේ කරුමේ ....”

ආපදාවන්ට ලක්වී ජීවිතයෙන් වන්දි ගෙවන හා දේපළ අහිමිවන සහෝදර ජනතාව අරඹයා සිංහල බෞද්ධ මතය ප්‍රකාශ කරමින් ඇය අතක් නිකටේ හොවාගත්තාය.

“මං නං හිතන්නේ අවිධිමත් සංවර්ධනය ලොකුම හේතුවක් කියලා ....” යි. මම ඇගේ අදහස නොපිළිගනිමින් කීවෙමි.

“අපේ පක්ෂයේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා අවුරුදු පනහකට කලිනුයි කීවේ. කඳුකරයේ ස්වභාවික වනාන්තර එළිපෙහෙළි කරලා තේ වගා කිරීමේ ආදීනව අවුරුදු තිහක් හතළිහක් යනකොට කඳු නායගිහිං විශාල විනාශයක් සිද්ධවෙන බව පැහැදිලිවම කිව්වා. මේ වතාවේ ගංවතුරිනුත් වැඩිම හානියක් සිද්ධවුණේ දකුණු සබරගමුව වගේ වැවිලි කර්මාන්තය බහුලව තියෙන පළාත් ...”

අපේ දිරිය යුවතිය සන්සුන් හඬින් තෙපළුවාය.

“මිනිසුන්ගෙත් වැරැද්දනෙ. රක්ෂිතවල ගංඉවුරුවල හිටං ගෙවල් හදනවා...” යි සංජීවනී නංගී තමාගේ අදහස ගෙනහැර දැක්වූවාය.

“නෑ..... ඒක රජයෙ වරැද්ද, අක්කර සිය දහස් ගණනක් කොම්පැනිවලට දුන්නම මිනිස්සුන්ට ඉන්න ගෙයක් දොරක් හදා ගන්න තැනක් තියෙනවද... ? ඉතිං අනාරක්ෂිත තැන්වල පදිංචි වෙන්න සිද්ධවෙනවා. අනෙක් එක තමා හිතවත්කම් මත නීතිය ක්‍රියාත්මක නොවීම. ඊළඟ ඡන්දය බලාගෙන දේශපාලන අධිකාරිය වැඩ කරන තාක්කල් මේ රට මේ විනාශයෙන් ගොඩගන්න බෑ ....”

උණුසුම් ඉඟුරු තේ කෝප්පය තොල ගා ඇය පොල්ගෙඩියක්ද අතට ගෙන කොස් ඇට තලන්නට ලකලෑස්ති වූවාය.

“ජනතා අරගලයක කොටස්කාරියක් කොස් ඇට තලන එක හොඳ ද?” යි මම හිනාමුසුව ප්‍රශ්න කළේය.

“අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්.”

“කොස් ඇටේ තලාගන්ඩත් ඉගෙන ගන්නෝ නෑ. ඒකෙත් පොඩි සාත්තරයක් තියෙනවා. හයියෙං ගැහුවොත් කොස් ඇටේ විසිවෙලා යනවා සුරුස් ගාලා...”යි කී මැණිකෙ පුංචි අම්මා කොස් ඇට තැලීම පිළිබඳව තමාට කොපමණ පළපුරුද්දක් හා නිපුණතාවයක් ඇත්දැයි පෙන්නුම් කළාය.

“අනේ අක්කෙ මටත් බැරිද ඕගොල්ලො එක්ක එකතුවෙලා උදව් කරන්න...? ” යි සංජිවනී නංගී ඇසුවේ බලාපොරොත්තු සහගතවය.

“මොකද බැරි ....?”

“මාත් හරි ආසයි අනුන්ට උදව් කරන්න...?”

“උදව් කරන එක හොඳයි තමා. ස්වභාවික ආපදාවන්ට අපි විතරක් නෙමේ අමෙරිකාව වගේ දියුණු රටවලුත් මුණ දෙන එකත් ඇත්ත. හැබැයි අපට පුළුවන් වෙන්න ඕන විධිමත් සංවර්ධනයත් එක්ක ආපදා කළමනාකරණය කරගන්න. ආපදාවන්ට ලක්වෙනකම් බලා නොඉඳ වළක්වාගන්න..... ” අපි ඇය සමඟ එකඟවීමු. මැණිකේ පුංචි අම්මා පවා හිස සැලුවාය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...