මම නාට්‍යවලින් කුණුහරුප කියන් නෑ | දිනමිණ

මම නාට්‍යවලින් කුණුහරුප කියන් නෑ

ප්‍රවීණ නාට්‍යවේදී ජයලාල් රෝහණ

ඔහු,1978 වසරේදී සංස්කෘතික අමාත්‍යාංශය විසින් පවත්වන ලද ජාතික නාට්‍ය වැඩමුළුව හරහා නාට්‍ය කලාවට අවතීර්ණ වන්නෙකි. 1987 වසරේදී ඔහුගේ ප්‍රථම නාට්‍යය වන ‘ලෝකා‘ නිෂ්පාදනය කළේය. එය මෙරට පවත්වන ජාතික තලයේ නාට්‍ය උළෙලවලදී සම්මානයන්ට පාත්‍ර විය. හෙතෙම රූපණය, නාට්‍ය රචනය, නිෂ්පාදනය, රංගභූමි අලංකරණය, අංග රචනය, රංගාලෝක ශිල්පය වැනි නාට්‍ය විෂය සම්බන්ධයෙන් ද දැනුමැත්තෙකි. ‘ගොන්ඩෝලා‘ නමින් හේ තම නවතම නාට්‍ය නිර්මාණය සමඟ නාට්‍ය ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙයි. ඔහු ප්‍රවීණ නාට්‍යවේදී ජයලාල් රෝහණය. ගොන්ඩෝලා නාට්‍යය මේ මස 23 - 24 යන දෙදින ‍හැව්ලොක් ටවුන් ලුම්බිණි රඟහලේදී වේදිකා ගත වේ.

1 ගොන්ඩෝලා කියන්නේ?

වැනීසියේ තියෙන ඔරු විශේෂයක්. මුල් කාලයේ ලෝකයේ දූපත් අතර ප්‍රවාහනයට යොදා ගත්තා. මේ ඔරු පැද්දේ අප්‍රිකානු ‍රටවලින් අල්ලාගෙන ආපු වහලුන්. මේ වහලුන් නිර්මාණය කරපු කොට්ඨාසයක්. ලෝකයේ ප්‍රථම වතාවට ස්නායු මරණ ක්‍රමය ආරම්භ කරලා තියෙන්නේ වහලුන්ගෙන්. ස්නායු මැරුවට පස්සේ ඔවුන්ට ස්වයං තීරණ ගන්න බෑ. හිතන්න බෑ. සමාජ ආර්ථික දේශපාලන වෙනස්වීම් ඔවුන්ට තේරෙන්නේ නෑ. ඔරුව පැදපං කියනකොට පදිනවා. නවත්තපං කියන කොට පැදීම නවත්තනවා.

l වැනීසියේ සිදුවීමක් ලංකාවේ වේදිකාවට ගලප්පන්නේ කොහොමද?

මේ ගොනඩෝලා ක්‍රමය ඒ ආකාරයට අපේ රටේ සිද්ධි නොවුණත් එය වෙනස් ආකාරයකට සිද්ධ වෙමින් පවතින්නේ. අපේ රටෙත් ස්නායු මරපු මිනිස්සු ඉන්නේ. ගොන්ඩෝලා වහල් ක්‍රමය අනෙකෙකු විසින් නිර්මාණය කරපු ක්‍රමයක්. අපේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ අපි විසින්ම ස්වයංව ස්නායු මරාගෙන තියෙන්නේ. ඒ වහලුන් සහ අපේ රටේ වහලුන් අතර වෙනස ඒකයි. අපේ රටේ මිනිස්සු දන්නේ නෑ ස්නායු මැරිලා කියලා. ඔවුන් ගොඩාක් තීරණ ගන්නේ පිස්සුවෙන්.

l අද මෙරට පවතින්නේ ජනප්‍රිය රැල්ලේ නාට්‍ය. මෙයත් ජනප්‍රිය රැල්ලට යන නාට්‍යයක්ද?

නෑ පැහැදිලිවම නෑ. ගොන්ඩෝලා නාට්‍යයේ බාල හාස්‍ය නෑ. කුණු හරුප නෑ. මේ නාට්‍ය ඔබ ඔය කිව්ව නාට්‍ය රැල්ලේ තවත් එක් නාට්‍යයක් නොවේ. රැල්ලේ නාට්‍ය ප්‍රේක්ෂකයන්ට දැන් ඇතිවෙලා. කොටින්ම දැන් මෙගා ටෙලි නට්‍යවලට වෙලා තියෙන දේ බාල හාස්‍යෝත්පාදක නාට්‍ය රැල්ලටත් අත්වෙලා. මම ප්‍රේක්ෂකයාට බාල හාස්‍ය, කුණු හරුප දෙන්නේ නෑ. ඊට වඩා වෙනස් නාට්‍යයක් මම කළේ.

l බාල හාස්‍ය, කුණුහරුප නැතිව ප්‍රේක්ෂකාගාරය පුරවන්නේ කොහොමද?

අපේ සංකල්පය අව්ව තියෙන වෙලාවේ පිදුරු ගොඩ වේලාගැනීම නොවේ. අපි එහෙම හිතන් නෑ. රැල්ලට යන නාට්‍ය ඕන කියන හැම මනුස්සයෙක්ම හරි කුහකයි. අපි මොකටද රැල්ලට යන්නේ. රැල්ලට යන නාට්‍ය අතීතයෙදීත් කලා නම් අද උත්තුංග නාට්‍ය කලාවක් නෑ. අපිවත් මේ ක්‍රමය වෙනස් කළ යුතුයි.

මෙහෙම දෙයක් තියෙනවා. නාට්‍යයක අර්ථපතියා කැමැති නෑ වියදම් කරලා පාඩු විඳින්න. හොඳ වෙලාවට එහෙම හිතන්නැති කෙනෙක් අපිට හම්බ වුණා. ඔහු සුනිල් අරුණ වීරසිරි. චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, අධ්‍යක්ෂවරයෙක්. එතුමා ව්‍යාපාරිකයෙක්. සුන්දර මනුස්සයෙක්. මුදල් නෙවේ වැඩේ කරමු කියලයි සුනිල් මහතා මේකට දායක වුණේ. ඒක අපිට ලොකු හයියක්.

l ගොන්ඩෝලා නාට්‍යය රංගන ශිල්පීන් තෝරාගැනීමේදී ඔබ අනුගමනය ක‍ළ ක්‍රමවේදය කුමක්ද?

රොඩ්නි වර්ණකුල, මාලි ජයවීරගේ, කුමාර කරුණානන්ද, චන්දන නිශාන්ත ගොන්ඩෝලා නාට්‍යයට රූපණයෙන් සම්බන්ධ වෙනවා. මේ සියලු දෙනාම අසූව දශකයේ සිට මා දන්න පිරිසක්. අපි ඔක්කොම එකට වැඩ කරලා තියෙනවා. අපේ සිතැඟි එක්ක වැඩ කරන්න පුළුවන් වගේම, මොවුන් දක්ෂ රූපණ ශිල්පීන්.

l රොඩ්නි වර්ණකුල කියන්නේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙක්. ජනප්‍රිය රැල්ලේ නොවන මේ නාට්‍යයට ඔහුව ගලප්පාගත්තේ කොහොමද?

රොඩ්නි හොඳ රූපණ ශිල්පියෙක්. හිතවත්කමට මම ඔහුව තෝරාගත්තේ නෑ. හාස්‍යෝත්පාදක චරිත කරන ශිල්පීන් හොඳ චරිතාංග නළුවන්. මෙයට හොඳම උදාහරණය තමයි ජෝ අබේවික්‍රම මහත්තයා. මට රොඩ්නි හොඳ නිසා මගේ නාට්‍යයට ඔහුව තෝරාගත්තා. නාට්‍ය කලාවේ ශිල්පීන් ගැන තවත් කෙනෙක්ගෙන් අහන එක නාට්‍ය කලාවේ දරුණුවට තියෙනවා. රොඩ්නි ගැන හෝ වෙනත් ශිල්පියෙක් ගැන තවත් පුද්ගලයෙක්ගෙන් අහපුවහම ඔහු කියන්නේ ඔහුගේ සිතැඟි දේ. රොඩ්නි ගැන තව කවුරු හරි කියන කතා මට වැඩක් නෑ. මොකද මම දන්නවා රොඩ්නි දක්ෂයෙක් කියලා. ඔහු වගේම අනෙක් රූපණ ශිල්පීනුත් ‍හතු පිපෙන්නා වගේ බිහිවුණු අය නෙවේ. කැපවීමෙන් ආපු අය.

l ජනප්‍රිය රැල්ලේ නාට්‍ය නරඹන්න යන ප්‍රේක්ෂකයා, ගොන්ඩෝලා වගේ නාට්‍යයක් නරඹන්න පැමිණෙයිද?

දැන් මේ වන විට ඒ ප්‍රේක්ෂක පිරිස් වෙනස්වීගෙන එනවා. ලංකාවේ මිනිස්සු හරිම බුද්ධිමත්. මෙගා ටෙලිනාට්‍ය ප්‍රතික්ෂේප කළා. ඒ මිනිස්සු නැවත වේදිකාවට එනවා. හස්‍යෝත්පාදක නාට්‍ය හරහා ප්‍රේක්ෂක පිරිසක් හැදුන බව පිළිගත යුතුයි. ඒ පිරිස ඒත් එක්කම බුද්ධිමත් දිසාවට නැඹුරු කරවන්න ඕනේ.

l ගොන්ඩෝලා නාට්‍ය ප්‍රදර්ශනයේදී වෙනත් නාට්‍ය සඳහා නොමැති සුවිශේෂී බවක් පිළිබඳ ඔබ ප්‍රකාශ කළා?

අපේ දිගුකාලීන අත්දැකිම් මත රටේ සෑම තැනකම නාට්‍ය සංවිධායකවරයකුටම මතුවන ගැටලුවක් වන්නේ රංග ශාලාව සඳහා අය කරන මුදල. සමහරවිට මේ මුදල නාට්‍ය සඳහා අය කරන මුදලට වඩා වැඩි වෙන්න පුළුවන්. මේක අසීරු කාර්යයක්. මෙයට පිළියමක් විදිහට අපේ නාට්‍ය කණ්ඩායම පර්යේෂණයක් හැටියට නව පියවරක් ගත්තා. අපේ රටේ බොහෝ ප්‍රදේශවල ආවරණය කළ ශාලා දේශන ශාලා තියෙනවා. මේ නිසා රංග ශාලාවක් නැති පළාතක වුණත් ගොන්ඩෝලා රඟදක්වන්න හැකියාව පවතිනවා.

මේ ශාලා රංග ශාලාවකට වඩා අඩු මිලකට කුලියට ගන්න පුළුවන්. වටේට හිඳගෙන නැරඹීමට සුදුසු පරිදි යම් පීඨිකාවක් රංගනයට සැලසීමෙන් ප්‍රේක්ෂක පිරිසට වෙනම අත්දැකීමක් ලබාගන්න පුළුවන්. මෙයින් මම අදහස් කරන් නෑ හරියාකාරව පිළිවෙළක් නැති තැන් කියලා. මේක වීදි නාට්‍යයක් නෙවේ. රංගාලෝක උපකරණ ශබ්ද උපකරණ අපි සපයනවා. විදුලිය පහසුකම් සංවිධායකවරයා විසින් ලබා දෙන්න ඕනේ. නියමිත රංග ශාලාවක් නැති ගමක නගරයක වුවද ඉතා පහසුවෙන් සංවිධානය කරන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ඇඟලුම් කර්මාන්ත ශාලාවල පළාත් සභා ප්‍රාදේශීය සභා දේශන ශාලා තුළ.

l අද මෙරට නාට්‍ය කලාව ගැන ඔබේ දඅහස?

නාට්‍ය කරන හැමෝම හිතන්නේ තමන් කරන්නේ නාට්‍යයක් කියලා. අඳ බාල නාට්‍යවල පටන් ඉහළ ගණයේ නිර්මාණත් තියෙනවා. ප්‍රශ්නය තියෙන්නේ ඕවා තෝරා බේරා ගන්න ප්‍රේක්ෂකයාට බෑ. ඒ නිසා මිනිස්සුන්ව සවිඥානික කරන්න වැඩපිළිවෙළක් අවශ්‍යයි. එවැනි දේවල් කරන්න ඕනෑ රජයෙන්. සියල්ල ගරා වැටුණු වෙලාවක කලාව ගැන විතරක් කතා කරන්න බෑ. රටක් ගොඩනැඟෙන්න මූලික කාරණාව තමයි කලාව ඉහළට ගෙනයෑම. ඒකවත් තේරෙන්රනේ නැ. මාටින් ලූතර්කිං කියලා තියෙනවා රටක් විනාශ වෙන්නේ පාදඩයින්ගේ දැඟලීමෙන් නොව බුද්ධිමතුන්ගේ නිහඬතාවෙන් කියලා.

සංලාපය
අනුසාර මාහිංගොඩ


ලොකු සහෝදරයා මට අභියෝගයක්

ප්‍රවීණ රංගන ශිල්පි රොඩ්නි වර්ණකුල

l ගොන්ඩෝලා නාට්‍යයේ ඔබේ චරිත ස්වභාවය පැහැදිලි කළොත්?

ගොන්ඩෝලා නාට්‍යයේ මම රඟපාන්නේ ලොකු සහෝදරයාගේ චරිතය. ජයලාල් රෝහණ රඟපාන්නේ පොඩි සහෝදරයාගේ චරිතය. චරිත නාමිකව නෑ. මොවුන් අවුරුදු විස්සක් ජීවිතාන්තය දක්වා සිරගත වුණු දේශපාලන සිරකරුවන් දෙදෙනෙක්. මා වාමවාදි න්‍යායත් එක්ක ජීවත්වන්නෙක්. එය ප්‍රායෝගික නෑ. පොඩි සහෝදරයා උත්සාහ කරන්නේ එළියට යන්න. මා විසින් එය වළක්වනවා. කුටුම්භ ජීවිතය පවා ඔවුන්ගේ අසාර්ථකයි.

l ජයලාල් රෝහණ ඔබව ලොකු සහෝදරයා චරිතයට තෝරා ගැනීම සිද්ධවන්නේ කොහොමද?

අපි අසූව දශකයේ සිට සමකාලීනයක්. නාට්‍යවල එකට රඟපාලා තියෙනවා. මේ ජයලාල්ගේ නාට්‍යයක රඟපාන පළමු අවස්ථාව. අපි මිත්‍රයෝ. මිත්‍රකම නිර්මාණයකට පහසුවක්. ඒත් ඒ නිසාම නොවේ ඔහු ගො‍න්ඩෝලා නාට්‍ය සඳහා මාව තෝරාගත්තේ. මා ළඟ තියෙන යම් කිසි ශක්‍යතාවක් ඔහු විසින් දකින්න ඇති. ලොකු සහෝදරයාගේ චරිතය මගේ රංඟන ජිවිතයට විශාල වෙනසක්.

l ඔබ ප්‍රේක්ෂකයන් අතර පෙනී සිටින්නේ හාස්‍යෝත්පාදක චරිත රඟපාන රූපණ ශිල්පියෙක් විදිහට. ලොකු සහෝදරයා චරිතයට මුහුණ දෙන්නේ කොහොමද?

මේ ගමන මා වසර තිස්පහක් තිස්සේ සිට එන ගමනක්. විකට චරිත රඟපාන බොහෝ පිරිස් හාස්‍ය චරිත ඇතුළේ සිරකාරයන් වෙලා. ඇතැම් පිරිස් අපිව සිරකරලා. ගොන්ඩෝලා චරිතය මට ලොකු වෙනසක්. එය විකට චරිතයක් නොවේ. එය මට අභියෝගයක්. මාව මේ චරිතයට තෝරාගැනීම් ගැන ජයලාල් රෝහනට මම ස්තූතිවන්ත වෙනවා. මෙය මගේ හිතවත් රසිකයන් මා වෙතින් දකින වෙනසක්. රංගන ශිල්පීන් විවිධ චරිත කිරීමේ පිපාසාවෙන් පෙළෙනවා. මමත් එහෙමයි.

l අද මෙරට පවතින නාට්‍ය කලාව ගැන ඔබ තෘප්තිමත් වෙනවාද?

අද නාට්‍ය හැදෙනවා. අලුත් තරුණයන් හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන තරුණයන් නාට්‍ය හදනවා. ඒ අතර ගුණාත්මක නාට්‍ය වගේම පර්යේෂණ නාට්‍යත් හැදෙනවා. කෙසේ හෝ ප්‍රේක්ෂකයන් රංග ශාලා වෙත ගෙන්වා ගන්න ඕනේ. ඒ සඳහා යම් කිසි බුද්ධි මට්ටමක වින්දනාත්මක නාට්‍ය නිර්මාණය විය යුතුයි. රසිකයන්ටත් දැනුමක් තියෙන්න ඕන. තෝරාබේරා ගෙන නාට්‍යය නරඹන්න.

සංලාපය - අනුසාර

නව අදහස දක්වන්න