සමාජ යථාර්ථය ගෙන එන ‘සකල කසළ’ | දිනමිණ

සමාජ යථාර්ථය ගෙන එන ‘සකල කසළ’

ජානකී හිල්

අරකාවිල නම් හද්දා පිරිසර ගම්මානයේ උපන් ජානකී කලා කුසලතා රැසක් හිමිකර ගත් නිර්මාණ ශිල්පිනියකි. නර්තනය මෙන්ම රංගනය පිළිබඳ හදාරමින් සිය දක්ෂතා වර්ධනය කරගත් ඕ මේ වනවිට නාට්‍ය නිෂ්පාදනයටත් පිවිසී හමාර ය. ඒ අනුව ජානකී හිල් නිෂ්පාදනය කරන ‘සකල කසළ’ වේදිකා නාට්‍යය මේ මස 20 වැනිදා පස්වරු 6.00ට ලුම්බිණි රඟහලේදී වේදිකා ගතවෙයි. අරකාවිල නර්තන හා නාට්‍ය පදනම ඉදිරිපත් කරන අනුර ද සිල්වා අධ්‍යක්ෂණය කරන ‘සකළ කසළ’ වේදිකා නාට්‍යය හරහා කතාබහ කරන්නේ වර්තමානයේ විවිධ ප්‍රශ්න මතුකළ කසල ප්‍රශ්නය පිළිබඳ ය. එලෙස ‘සකළ කසළ’ වේදිකා නාට්‍යය හරහා කතා කරන මේ කාරණා පිළිබඳ ජානකී හිල් සමඟ අපි මෙසේ කතාබහක යෙදුනෙමු.

l ඔබගේ පළමු නිර්මාණය වන ‘පටාචාරා’ මුද්‍රා නාටකයෙන් පසුවයි ‘සකල කසළ’ වේදිකා නාට්‍යය නිර්මාණය වන්නේ?

‘පටාචාරා’ට පස්සේ සමාජයේ කතාබහට ලක්වන ප්‍රශ්නයක් පිළිබඳ කතා කරන්නයි මට වුවමනා වුණේ. ඒ අනුවයි කසළ ප්‍රශ්නය නිර්මාණයකින් කතාබහ කිරීමට අපේ සිත යොමුවන්නේ.

l වර්තමානයේ මතුවුණු ගැටලුව ඔබ ඇතුළු පිරිස දුටුවේ මීට වසර කිහිපයකට ඉහතයි?

මේ වේදිකා නාට්‍යය නිර්මාණ වන්නේ 2015 වසරේ. වර්තමානයේ මතුවුණු මීතොටමුල්ල කසළ කතන්දරය මතු වීමට ප්‍රථමයි අප කසළ ප්‍රශ්නය පිළිබඳ කතාබහට ලක්කළේ. කුණුගොඩක් ආශ්‍රිතව පැන නැඟිය හැකි අර්බුදයයි ‘සකල කසළ’ වේදිකා නාට්‍යයට පාදක වන්නේ. අපගේ කණ්ඩායමේ එකතුවෙනුයි කතාව ගොඩනැඟෙන්නේ. ඒ අනුව කුණු ගොඩක් අසල ජීවත් වන පවුල් දෙකක් මූලික කරගනිමින් ගොඩනැඟෙන ඒ කතාව ලියන්නේ සමන්ත විජේසිංහයි. අධ්‍යක්ෂණය කරන්නේ අනුර ද සිල්වායි.

l ඔබගේ නාට්‍ය පදනමේ කණ්ඩායම මඟින් නිර්මාණය වන ‘සකල කසළ’ වේදිකා නාට්‍යයේ රඟපාන්නේත් එහි සිටින පිරිසම ද?

අපගේ පදනම වටා දක්ෂ නිර්මාණකරුවන් රැසක් ඒකරාශි වී සිටිනවා. විවිධ දේ සඳහා දක්ෂතා දක්වන පිරිසකින් සමන්විත වන ඒ පිරිසේ රංගනයට දක්ෂ අයත් ඊට ඇතුළත්. ඒ නිසා ‘සකල කසළ’ වේදිකා නාට්‍යයේ රඟපෑම සඳහා මා ඔවුන්ව ම තෝර ගත්තා. ඒ අනුව රංගනයෙන් ප්‍රියන්තා අංහෙට්ටිගම, සමන්ත විජේසිංහ, යොහාන් රණසිංහ, දිලීප් මනෝහර, කෝසලා මැද්දෙගොඩ, නිලන්ත සංජීව, සිලිනි නිසංසලා, ටකේෂි දෙව්මිණී, ලාවන්‍යා තත්සරණී, ශම්මු කසුන්, නිමේෂ් රංගන, දසුනි එදිරිසිංහ, හර්ෂ කුමාර, නිලූකා දමයන්ති, රදික සඳරුවන්, නිපුල් චන්දන, අනුර ද සිල්වා සහ මා ‘සකළ කසළ’ සඳහා දායකත්වය දක්වනවා.

l ‘සකල කසළ’ වේදිකා නාට්‍යයේ අනෙකුත් කටයුතුවල යෙදෙන්නේත් මේ රඟපාන පිරිස ම නේද?

ඔවුන් රඟපාන ගමන් ම නර්තන වින්‍යාසයෙන්, ඇඳුම් නිර්මාණයෙන්, වේදිකා පරිපාලනයෙන්, පෙළ මතක් කිරීමෙන්, පසුතල නිර්මාණයෙන්, නිෂ්පාදන කළමනාකරණයෙන් ආදී වේදිකාවේ සිදුවිය යුතු අනෙක් කටයුතුවලටත් දායකත්වය දක්වනවා. ඔවුන්ගේ තිබෙන විශේෂත්වය එයයි. එහෙත් සංගීතයෙන් අතුල කුමාර එදිරිසිංහත්, රංගාලෝකයෙන් සමන් මලලසේකර, අංගරචනයෙන් සංජීවනී විජේකෝන්, වේදිකා පරිපාලන සහයෙන් කවිඳු හර්ෂණ, ශබ්ද පරිපාලනයෙන් දිනේෂ් එදිරිසිංහ, ප්‍රභාත් චතුරංග, ජයනි කෝෂිලාත් සහය වන බව මතකයට නැඟිය යුතුයි.

l ‘සකල කසළ’ වේදිකා නාට්‍යයට ජනප්‍රිය නළු - නිළියන් යොදා ගත්තේ නැද්ද?

දිලීප් මනෝහර ඇරෙන්න වෙන කිසිම ජනප්‍රිය කෙනෙකු අපගේ නිර්මාණයට දායක කර ගත්තේ නැහැ. ඔහුවත් දායක කර ගත්තේ අපේ ගම් ප්‍රදේශයේ වීම හා පදනමත් සමඟ ඔහුගේ තිබෙන සම්බන්ධය නිසයි. ඊට අමතරව මෙහි ගීතය ගයන්නේ රොඩ්නි වර්ණකුල හා අනුරාධා නන්දසිරියි. දන්න කියන මේ පිරිසත් සමඟ කටයුතු කිරීම බොහොම පහසුයි.

I ඔබගේ නාට්‍යය 2015 වසරේදී රාජ්‍ය නාට්‍ය උලෙළටත් ඉදිරිපත් කරනවා. එතැනදී මොකද වෙන්නේ?

එහිදි ‘සකල කසළ’ වේදිකා නාට්‍යය පළමු වටයට තෝරා ගන්නවා. එහෙත් දෙවැනි වටයේදී මේ නාට්‍යය කැපෙනවා.

l ඒ විදියට නාට්‍යය කැපීමට මුල්වුණේ කුමන කාරණයක්ද?

මම හිතන්නේ නාට්‍යය කැපෙන්න මූලික හේතුව දේශපාලන බලහස්තයන් බවයි. මොකද ඒ හස්ත අස්සේ තිබෙන දේශපාලන මාෆියාව අපේ නාට්‍යයෙන් කතාබහ කරන නිසා කියලයි මට හිතෙන්නේ. ඒත් අපේ නාට්‍යය දෙවැනි වටයෙන් කැපුණේ ඇයි කියලා ප්‍රශ්න කරද්දි ඔවුන් කිව්වෙ මේ නාට්‍යයේ වේදිකා පසුතලය බොහෝ විශාල බවයි. එහෙමනම් අපි නාට්‍ය කළ යුත්තේ පුටුවකුයි මේසයකුයි විතරක් වේදිකාවේ තියලද? හැමදාමත් දකින වේදිකා පසුතලවලින් ද අපි නාට්‍ය කළ යුත්තේ. එතැනින් එහාට කවදාවත් අපට ගමන් කළ නොහැකිද? මෙහෙම වුණාම කොහොමද අපේ නාට්‍ය කලාව ඉදිරියට යන්නේ.

l ඒ කියන්නේ ‘සකල කසළ’ වේදිකා නාට්‍යයෙන් ඔබ සමාජ ක්‍රමයේ තිබෙන බොහෝ දේවල් කතාබහට ලක් කරන බවද?

කුණු කන්දක් වටා ජීවත් වන පවුල් දෙකක් ආශ්‍රය කරගනිමිනුයි වේදිකා නාට්‍යය දෝලනය වන්නේ. ඒ කතාව ඇතුළේ ළමා ජාවාරම, පරිසර විනාශය, ගණිකා ව්‍යාපාරය වගේ ම කුණු කතන්දරය ඇතුළේ තිබෙන මාෆියාවත් මේ නාට්‍ය‍යෙන් කතාබහ කරනවා. මෙහි තිබෙන දේශපාලනය විදහා දැක්වෙනවා. ඒ නිසා මේ නාට්‍යය නරඹලා කැමැති අයට තොප්පි දාගන්නත් පුළුවන්. ඒත් මේ කුමන දෙයක් වුණත් අප කතාබහ කරන්නේ බෞද්ධ දර්ශනයට අනුවයි.

l ඔබ පවසන්නේ අපට පෙනෙන කුණු ගොඩට වඩා දෙයක් කුණු ගොඩ ඇතුළේ අන්තර්ගතයි කියලද?

මේ කුණුගොඩ අසල ඉන්න මිනිස්සුන්ට නිවෙස් ලබාදෙන බව පැවසුවත් ඔවුන් කුණු ගොඩ දාලා යන්නේ නැහැ. ඔවුන් ඉල්ලන්නේ කුණු ගොඩයි. ඔවුන් තමන්ගේ රැකියාව කරගෙන යන්නේ කුණුගොඩ හරහායි. ඒ නිසා සංසාරය නමැති කුණු ගොඩ අවුස්සමින් එහි තිබෙන බොහෝ කතන්දරයි ‘සකළ කසළ’ වේදිකා නාට්‍යයෙන් ප්‍රේක්ෂකයාට ගෙන එන්නේ. එහි තිබෙන ඛේදවාචකයයි මේ නාට්‍යයෙන් කියැවෙන්නේ.

l 2015 වසරේ ‘සකළ කසළ’ වේදිකා නාට්‍යය නිර්මාණය වුණත් ඊට පසුව ඒ නිර්මාණය වැඩිපුර වේදිකාගත වන්නේ නැහැ?

‘සකල කසළ’ වේදිකා නාට්‍යය නිර්මාණය වුණාට පස්සේ දර්ශන වාර පහකට හයකට වඩා වේදිකා ගතවෙලා නැහැ. නාට්‍යයක් නිර්මාණය කළාට පස්සේ එහි වේදිකාගත කිරීම අපට ම කරන්නට බැහැ. ඒ නිසා ම මම සංවිධායකවරු කිහිපදෙනෙකුට ම කතා කළා. ඒ අයත් ඉන්නේ නාට්‍යයක් සංවිධානය කරන්න යොදවන මුදලවත් ආපසු ලැබෙන්නේ නැහැ කියන අර්බුදයේ. මේ වනවිට මිනිස්සු නාට්‍ය නරඹන්නේ නැහැ. මිනිසුන්ගේ රසවින්දනය බොහොම පහළ මට්ටමක තිබෙන්නේ. එහෙමත් නැත්නම් ඔවුන්ට නාට්‍ය නරඹන්න කාලයක් නැහැ. එහෙම තත්ත්වයක ඔබ හිතනවද ‘සකළ කසළ’ වගේ නාට්‍යයක් නරඹයි කියලා. ඔවුන් නැරඹුවොත් නරඹන්නේ විහිළු තිබෙන නාට්‍යයක්. එහෙමත් නැතිනම් ජනප්‍රිය නළු-නිළියෝ ඒ නිර්මාණවල ඉන්න ඕනෑ.

l එහෙත් වර්තමානයේ ‘සකල කසළ’ වේදිකා නාට්‍යය දකින බොහෝ දෙනෙකුට සිතෙන්නට හැක්කේ මේ නාට්‍යය නිර්මාණය කර තිබෙන්නේ වර්තමානයේ බවයි?

අනිවාර්යයෙන්ම එහෙම හිතන්න පුළුවන්. ඒත් මීට වසර ගණනකට පෙර නිර්මාණය කළ මේ නාට්‍යය පිටපතේ කිසිම වචනයක් අදට වුවමනා විදියට වෙනස් කළේ නැහැ. එදා ලියූ දෙබස්මයි අදත් නාට්‍යයේ කියැවෙන්නේ. නිර්මාණකරුවකු කියන්නේ ඉදිරිය දකින කෙනායි. අනෙක් කාරණය නම් නිර්මාණයක සර්වකාලීන බවයි. ඒ වගේ ම කුණු කියන්නේ කිසිම දවසක අවසන් වෙන්නේ නැති ගැටලුවක්.

l සකල කසළ ස‍ඳහා භාවිත කරන වේදිකා පසුතලය වගේ ම එහි ආරම්භය ලබා දෙන්නේ වෙනස් ම විදියකට නේද?

මේ නිර්මාණයේදී අප වේදිකාවේ පසුතලය ඉදි කරන්නේ ලොකු කුණු කන්දක් විදියටයි. ඒ වගේ ම පසුගිය කාලයේ නාට්‍යය වේදිකා ගත කළ ටවර් රඟහලේදි එහි ඉදිරිපස කුණු ගොඩක ඉන්න, කුණු ඇහිඳින, ළමයින් පිරිසක් යෙදෙව්වා. නාට්‍යය නරඹන්න එන බොහෝ අය සිතුවේ ඒ ඉන්නේ කුණු ඇහිඳින ළමයින් කියලයි. මෙවැනි වෙනස් ම විදියේ ක්‍රමවේද නාට්‍යය ඇතුළෙදි අප භාවිත කළා.

l ඔබ මේ වේදිකා නාට්‍යය ප්‍රචාරය සඳහා යොදා ගන්න වෙන ම වීඩියෝවක් නිර්මාණය කරන්නේ ඇයි?

වේදිකා නාට්‍යයක් නරඹන්නට පැමිණෙන්නේ සුළු පිරිසක්. එවිට ඔවුන්ට පමණයි වේදිකා නාට්‍යය නැරැඹිය හැකි වන්නේ. එහෙත් මේ වීඩියෝ පටය රූපවාහිනියේ විකාශය වීමෙන් ඒ වේදිකාවට නොපැමිණෙන පිරිසටත් නාට්‍යය පිළිබඳ යම් අදහසක් ගත හැකි වේවි. ඒ මඟින් අප කියන්න යන කුණු කතාව පිළිබඳ යම් අවබෝධයක් ඔවුන් අතරට පිවිසේ විය යන්නත් අප අදහස් කළා. ඊට අමතරව ගීතය ඔවුන් අතර ජනප්‍රිය වීමටත්, ඔවුන්ව නාට්‍යය නැරැඹීමට යම් ප්‍රවණතාවක් ඇති කිරීමටත් මේ වීඩියෝව හේතු වේවි යැයි මා සිතනවා.

l මේ වනවිට අරකාවිල නර්තන හා නාට්‍ය පදනමේ කටයුතු සංවිධානය වන්නේ කුමන ආකාරයෙන් ද?

මේ වනවිට මට උගන්වන්න කාල වේලාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ ඒ විෂයයන්වලට දක්ෂ ආචාර්ය මණ්ඩලයක් පදනමේ ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවා. ඒ අතර විශ්වවිද්‍යාලවල ගුරුවරු පවා එහි ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවා. පහතරට නර්තන අංශය භාරව කටයුතු කරන්නේ මහාචාර්ය ලයනල් බෙන්තරගේයි. ඊට අමතරව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බුද්ධික රණවීර, ප්‍රවීණ නර්තන ශිල්පී ඉසුරු වීරසිංහ, කෝසලා, මෝක්ෂා, ලක්ෂිතා ඇතුළු ආචාර්ය මණ්ඩලයකගේ සහය අරකාවිල නර්තන හා නාට්‍ය පදනමට ලැබෙනවා. වෙනත් පන්තියකට සහභාගි වන ළමයකුට ලබාගත නොහැකි දැනුමක් මේ පදනමෙන් ලැබෙන බවත් සඳහන් කළ යුතුමයි.

සාකච්ඡාව හා සේයාරූ
තිලානි ශානිකා විතානාච්චි 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...