අපේ සිහින සාමය

 යුද්ධය අවසන් ය. බොහෝ දෙනකු අවසන් කළ නොහැකි යයි කිවූ යුද්ධය අවසන් ය. යුද්ධය අවසන් නම් දැන් තිබිය යුත්තේ සාමය ය.

යුද්ධය බිය ජනක බව අපි දනිමු. හිටි හැටියේ බෝම්බ පුපුරන විට ද මිනිසුන්ගේ අත පය වෙන් වී සමහරු හිටිහැටියේ ජීවිතයෙන් සදහට සමුගන්නා විට ද ගම්බිම් සියල්ල අත්හැර දැමීමට බල කරනු ලැබ අනාථයන් වන විට ද එහි බියකරු බව දැනේ.

ඊට ප්‍රතිපක්ෂව මේ පවතින සාමය සන්සුන් ද? අපි දැන් සැකයෙන් බියෙන් තොරව ජීවත් වෙමු ද? එකිනෙකා කෙරෙහි තිබූ වෛරයට තිත තබා තිබේ ද? මිනිසුන් එකිනෙකා සමග සහෝදරත්වය ඇති කර ගෙන තිබේ ද? එකිනෙකාගේ කරට අත දාගෙන එකිනෙකාගේ දුක් කරදර බෙදා ගෙන අපි දැන් ජීවත් වෙමු ද? නැවතත් යුද්ධයක් ඇති නොවන තරමට අප අතර සංහිඳියාවක් ඇති ව තිබේ ද?

දකුණේ බොහෝ දෙනෙකුට අනුව යුද්ධය ඇති වුණේ ප්‍රභාකරන්ගේ වුවමනාවට ය.ඇතැමුන්ට අනුව එයට හේතුව දෙමළ ජනතාවගේ අසාධාරණ අපේක්ෂා ය.ෂයිලොක් මෙන් මස් රාත්තල ම ඉල්ලීම ය.තවත් අයට අනුව එයට වගකිව යුත්තේ එය ජාතක කරන ලද්දේ දෙමළ ජාතියේ දේශපාලන නායකයන්ගේ අවස්ථාවාදී වුවමනාවන් විසින් ය. මේ හැම කෙනෙකුටම අනුව සෙසු මිනිසුන්,දකුණේ නායකත්වය, රටේ ආණ්ඩු, ඒවායේ ක්‍රමවේද හා ප්‍රතිපත්ති යන එකී නොකී සියල්ල අහිංසක ය.

අත්පුඩි ගසා තිබුණේ ම එක අතකින් ය. අනෙක් අත පැත්ත පළාතකවත් තිබුණේ නැත.

එකක් මේ ක්‍රමය තුළ සම්පත් බෙදී යෑමේ තිබූ විෂමතාවය ය. ව්‍යාපාරික හා අධ්‍යාපන අවස්ථා බෙදී යෑමේ තිබූ විෂමතාවය ය. හැන්ද තිබුණු අය බෙදා ගත් විට නැති අයට තිබුණේ තිබුණු අය කා ඉතිරි කරන සුළු දේ පමණ ය.

දෙවැන්න කාටත් බෙදා ගත හැකි ලෙස ව්‍යාපාරික හෝ අධ්‍යාපනික අවස්ථා බිහිකිරීමට ආර්ථිකය අපොහොසත් වීම ය.ඒ නිසා අප කී මුල් ප්‍රශ්නය අර්බුදයක් දක්වා වර්ධනය වීම ය.

තෙවැන්න භාෂා ප්‍රශ්නය නිසා ද වාර්ගිකත්වය නිසා ද සීමිත අවස්ථා පවා නොලැබ අහිමි වී යෑම ය. ඒ අවස්ථා භාවිතයට ගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුවීම ය. ඊට අමතරව තමන්ගේ ගැලවීම ඇත්තේ අනෙකා හිර කිරීම මතය යන ආකල්පය නිසා පොලු වැටීම ය.

සිව්වැන්න දෙමළ මිනිසුන් හිරිහැරයට ලක් වීම ය.හිංසනයට ලක් වීම ය.වධයට ලක් වීම ය.ඒ බොහෝමයක් පිටුපස සිටියේ දෙමළ මිනිසුන්ගේ අවස්ථාව,ව්‍යාපාරය හෝ රැකියාව තමන්ට උරුම කර ගැනීමට මාන බලමින් සිටි දකුණේ මිනිසුන් ය.පසුකාලයක සිදු වූවාක් වැනි කිසි දු ප්‍රකෝප කිරීමකින් තොරව දෙමළ මිනිසුන්ට විරුද්ධව 1978 දී හිංසනය මුදා හැරුණේ ඒ නිසා ය.

බිය ජනිත වීම

පස්වැන්න හැම දෙයකටම කොළඹට පදින්න සිදු වීම ය.නොදන්නා භාෂාවක් කතා කරන නොදන්නා මිනිසුන් ඉන්නා අග නගරයට පැමිණීමට සිදු වීම ය.ඒ සියල්ල මධ්‍යගතව තිබීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

මේ ලයිස්තුව දිග ය.අපේ අරමුණ යුද්ධයේ හේතු විමසීම නොවන නිසා මේ හේතූන් හා තවත් කප්පරක් හේතු හා සංසිද්ධීන් මත පදනම් ව යුද්ධය දිග හැරුණු බව පමණක් දැනට සටහන් කරමු.

උතුරේ බොහෝ දෙනෙකුට අනුව සියල්ලට වගකිව යුත්තේ දකුණ ය. අත්පුඩි ගසා තිබුණේ එක අතකිනි. තමන්ගේ අත්ල නැතිව ය.ඊලාම් සිතියම මූදෙන් තුනෙන් දෙපංගුවක් අයිති වන සේ නිර්මාණය කර ගෙන දකුණ තුළ බියක් ජනිත කළේ තමන් බවට වැටහීමක් ඔවුන්ට නැත. සිංහල හා මුස්ලිම් ජනයා පන්නා දමමින් උතුර තනිකරම දෙමළ ජාතිකයන්ට සින්න කර දෙමින් කරන ලද වැරදි පිළිබඳ තමන්ගේ වගකීමක් ඔවුනට නොහැ‍ඟේ.අහිංසක උපාසිකාවන් මරමින්, භික්ෂුන් කැති ගාමින්,ආගමික මධ්‍යස්ථානවලට පහර දෙමින් කළ ප්‍රකෝප කිරීම් ගැන වගේ වගක් ද ඔවුන්ට නැත.

දෙපැත්තේම දායකත්වය මැද්දේ යුද්ධය ඇදී ගියේ ය.

එහි වඩාත්ම තීරණාත්මක කාර්යභාරය සිදු කළේ 1983 ජූලි සංහාරය සිදු කළ දකුණේ මැර කණ්ඩායම යි. එල්ටීටීයට අවශ්‍ය සෙබළුන් බිහිකිරීමට අවශ්‍ය පස සකස් කළේ ඔවුන් ය. එල්ටීටීය එම අස්වැන්න අඩු නැතිව රැස් කළේ ය. කුඩා කණ්ඩායමක් ව සිටි කොල්ලන් හමුදාවක් ලෙස තිරිහන් වූයේ ඒ ඇතුළත් වීම් සමග ය.

දෙමළ ජනතාව සිය“කොල්ලන්ගේ" වැඩ දෙස ආශ්වාදයෙන් බැලුව ද ඒ වෙනුවෙන් පරිත්‍යාග කරන්නට ඉදිරිපත් වූයේ නැත. ජනතාවගේ "පරිත්‍යාග" කොල්ලන් ලබා ගත්තේ බිය වැද්දීමෙනි. තුවක්කු කට තුළිනි. එකී පරිත්‍යාගයන්ට භූමිය අල්ලා ගැනීමට අවශ්‍යව තිබූ සෙබළා ද ඇතුළත් ය. පවුලකින් එක ළමයෙකු හෝ පූජාකිරීමට දෙමළ ජනතාවට සිදු වු‍ණේ ඒ අයුරිනි. ඇති හැකි අය රට පැන ගත්හ.ඒ,මේ තත්ත්වයට වගකිව යුතු දකුණ සමඟ,ජන්මාන්තර වෛරයක් ද ඇතිව ය.එසේ පැන ගත් අයගේ කැමැත්තෙන් ද ඇතැම් විට බලහත්කාරයෙන් ද එල්ටීටීය විසින් මුදල් එකතු කරන ලදී.අවශ්‍ය අවි ආයුධ ලැබුණේ ඒ මුදල්වලිනි.

යුද්ධය හා සාම සාකච්ඡා සමගත් ත්‍රස්ත ක්‍රියා හා සිවිල් වැසියන්ට පවා හානි සිදු කළ යුද ක්‍රියාන්විතත් සමගත් ගෙවී ගිය අරගලය අන්තිමේ අවසන් වූයේ හමුදාව එල්ල කළ ප්‍රහාරය හමුවේ එල්ටීටීය පරාජය වීමෙනි. ඊට සමගාමීව එල්ටීටීඊ ග්‍රහණයේ සිටි සාමාන්‍ය වැසියන් ද දහස් ගණනින් මරුමුවට පත් වීමෙනි. යුද්ධයට හේතු වූ ප්‍රශ්න එහෙම ම තිබිය දී යුද්ධය අවසන් වීමෙනි.ඊට අමතරව යුද්ධය නිර්මාණය කළ නව ප්‍රශ්න ගණනාවක් ද උතුරේ ජනතාවට දායාද කරමිනි.

ඉදිරිය අපේක්ෂාවෙන් ඔවුන් ගිය ගමන අවසන් වී තිබුණේ පටන් ගත් තැනටත් වඩා පස්සට ගොසින් ය.රට ද ඊට සමගාමීව පස්සට ගොස් සිටියේ ය.

දැන් සාමය ලෙස අප දකින්නේ මේ දුර්භාග්‍ය සම්පන්න අවසානයයි.

යුද්ධය අවසන් වීම හොඳ ය. එසේ අවසන් කිරීමට ගෙවන්නට සිදු වූ මිල උතුරට පමණක් නොව දකුණට ද දරා ගත නොහැකි තරම් ය.ඒ සියල්ල මැද්දේ වුව යුද්ධය අවසන් වීම හොඳ ය.

එහෙත් සාමය උදා වූයේ ද?

අතුරුදහන් වූවන් ගැන ආරංචි මාත්‍රයක්වත් නැතිව ලතවෙන මාපියන්ට වැන්දඹුවන්ට සොයුරු සොයුරියන්ට නිවනක් ලැබුණේ ද? තම ගෙවල් දොරවල් අහිමිව සේසතම නැති වී ගිය මිනිසුන්ට නැවත ජීවිතය අරඹන්නට අත්වැලක් ලැබුණේ ද? අත් පා අහිමිව ගිය අයට සහනයක් ලැබුණේ ද? රැකියා අහිමිව ගිය අයට ජීවනෝපායක් ලැබුණේ ද? යුද්ධයට පරිබාහිරව මරා දමනු ලැබූ අත් පා අහිමි කරනු ලැබූ වධහිංසාවට ලක් කරනු ලැබූ මිනිසුන්ට යුක්තිය ඉෂ්ට සිද්ධ වූයේ ද?

නව ප්‍රශ්න පසෙක තිබේවා. යුද්ධය ආරම්භ කරන්නට තුඩු දුන් පැරණි හේතුවත් ඉවත් ව තිබේ ද?

මේ හැම එකක් සම්බන්ධයෙන්ම කුඩා පියවර ගෙන තිබෙන බව ඇත්ත ය.එහෙත් යා යුතු දුර සමග සන්සන්දනයේ දී ඒවා ඉතාම නොවැදගත් ය. උණසන්නිපාතයට ලද පැනඩෝල් පෙත්තක සහනයවත් ඒ පියවර තුළ නැත.

අභාග්‍ය එයින් අවසන් වන්නේ නැත. ජයග්‍රාහී දකුණට ඊනියා ජය ලැබීවත් සැනසුමක් නැත. ඒ පරාජිතයා නැවත නැගිට පහර දීමට ඉඩ ඇතැයි යන සැකයෙන් බියෙන් ඔවුන් පෙළෙන නිසා ය.

ඒ නිසා ම උතුරේ හමුදා කඳවුරු සීමා කරනවාට ඔවුන් කැමති නැත. ඒ කඳවුරු ආශ්‍රිත ඉඩම් අයිතිකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා නිදහස් කරනවාට ඔවුන් කැමති නැත. උතුරේ රතිඤ්ඤාවක් පිපිරුණොත් ආයෙත් කොටි නැගිටලා යැයි මුර ගාන්නේ එවැන්නන් ය.උතුරේ උද්ඝෝෂණයක් කළ ද කැළඹෙන්නේ ඔවුන් ය. දකුණේ පොලීසියට ද සමහර විට ජනතා අප්‍රසාදය එල්ල වෙන නමුත් බැරිවෙලාවත් උතුරේ සමාන සිද්ධියක් වුවහොත් කලබල කරන්නේ ඔවුන් ය.මූණු පොතේ අතෝරක් නැති සටහන් ලියමින් දහ අට සන්නිය නටන්නේ ඔවුන් ය.

දකුණේ කැරලි දෙකක විරුවන් ප්‍රසිද්ධියේ සමරන්නට තිබෙන නිදහස මළවුන් සිහිකරන්නට පවා උතුරට නැත. ඒ සඳහා දරන යම් වෑයමක් වේ ද ඒ කොටින්ගේ නැවත නැගිටීමක් ලෙස අර්ථ ගන්වනු ලැබේ.

තාවකාලික සාමය

ව්‍යවස්ථාවෙන් යම් හෝ බලය බෙදීමක් සිදුවන්නේ නම් ඔවුහු ජවුසන් නටන්නට ද සූදානම් ව සිටින්නෝ ය.

අනිත් අතට දෙමළ ජනතාවගේ පැත්තෙන් ද සිංහල ජනතාව තුළ තිබෙන බිය හා සැකය නැති කිරීමට මෙන්ම තම අරගලය උදෙසා ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට ද ප්‍රමාණවත් වෑයමක් දරා නැත.

කොහොමටත් අපේ සාමය තාවකාලික ය.අපි සාමය යනුවෙන් හඳුන්වන්නේ කැරලි අතර පවතින තාවකාලික කාල පරාසයට ය.එහෙම බැලුවහම සිතෙන්නේ මේ අප ගත කරන්නේ අපායේ ඉන්ටර්වල් එකේ කියා ය.

එතෙකුදු ස්ථිර සාමයක් ගැන අපේ සිහිනයක් ඇත.

ඒ සිහිනය තුළ සෑම ජාතිකයෙකුම උත්සහ කරන්නේ තම ජාතියේ අඩුපාඩු දකින්න ය.ඒවා හදා ගැනීමට ය. තම ජාතිකයන් අතින් සිදු වන වැරදි නැවැත්වීමට ය. ඒවාට එරෙහිව නැගී සිටීමට ය. ඒවා සම්බන්ධයෙන් සමාව ගැනීමට ය.ඒවා නැවත ඇති නොවන බවට වග බලා ගැනීම ය. අන් ජාතිකයන් සමග හොඳ හිත වර්ධනය කර ගැනීමට ය. ඒ සම්බන්ධයෙන් කළ හැකි හැම දෙයක් ම කිරීම ය.

ඒ සිහිනය තුළ අප දකින්නේ සැමට එක සේ සලකන,හැමට එක හැන්දෙන් බෙදන, හැමට එක සමාන අවස්ථාවන් සපයන රටකි. ඒ වෙනුවෙන් කැප වුණු නායකත්වයකි. ඒ ගැන වගබලා ගැනීමට සූදානම් ඒ ගැන පෙනී සිටින රට වැසියන් පිරිසකි.

හිංසනය සිංහ ක්‍රියාවක් නොව දුර්වලයෙකුගේ ප්‍රතික්‍රියාවක් ලෙස මිනිසුන් සලකන නිසා කිසිවෙකුට එරෙහිව හිංසනය ක්‍රියාත්මක කිරීමට ඉඩක් නැත. එවැනි ක්‍රියාවකට මිනිසුන් සංවිධානාත්මක විරෝධය පළ කරන නිසා කිසිවෙකු එවැන්නකට නිර්භීත වන්නේ ද නැත.

බොහෝ වැඩ පළාත් හෝ ප්‍රාදේශීය මට්ටමින් සිදු කළ හැකි ලෙස ව්‍යාවස්ථා වෙනස්කම් සිදු කර ඇති නිසා අසරණ මිනිසුන්ට කොළඹ රස්තියාදු වන්නට සිදු නොවේ.

තමන්ගේ පළාත්වල සම්පත් යොදා ගනිමින් ඒ පළාත් සංවර්ධනය කර ගැනීමේ හැකියාව ඒ ඒ පළාත්වලට ලැබී තිබීම නිසා මධ්‍යම ආණ්ඩුවේ අනුකම්පාව මත යැපීමට ඒ පළාත්වල ජනයාට තවදුරටත් සිදු නොවේ.

සිංහල හෝ දෙමළ භාෂාවෙන් රජය හා තමන්ගේ ගනුදෙනු කර ගැනීමට මිනිසුන්ට ඉඩ සලසා තිබේ. සිංහල මිනිසුන් දෙමළ බසත් දෙමළ මිනිසුන් සිංහල බසත් දන්නා නිසා බොහෝ ස්ථානවල භාෂාව පිළිබඳ සැලකීමෙන් තොරව කුමන හෝ භාෂාවකින් කටයුතු කිරීමට වුව පුළුවන්කම ඇති ව තිබේ. විශේෂයෙන් දකුණේ සිංහලෙනුත් උතුරේ දී දෙමළෙනුත් කටයුතු කිරීමේ ඉඩක් මේ නිසා පවතී. එසේ ම අන් භාෂා නොදත් අය වෙනුවෙන් විශේෂ පහසුකම් ද දෙපළාතේ ම සපයා තිබේ.

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල දෙමළ මුස්ලිම් ජනවාර්ගිකයන්ගේ නියෝජනය සඳහා සුවිශේෂී සැලකිල්ලක් දැක්වේ.

ජාතික ගීය ගායනා කිරීම ජාතික උත්සවලවලට සීමා කරනු ලබන අතර ඒ සඳහා භාෂා දෙකම යොදා ගැනේ.

යුද්ධය වීරාභිවාදනයට නොගැනීමට සහ එය දෙපිරිස අතර ඇති වූ එහෙත් සිදු නොවිය යුතුව තිබූ අතීත සිද්ධියක් ලෙස සලකන්නට දෙපැත්තම ගිවිස ගෙන ඇත.

එකිනෙකාට ගෞරවය

වෛරී කතාවලට සමාජය තුළින් පිළිකුළ පළ වේ.එවැනි දේ කියන භීක්ෂූන්වහන්සේලාට හා පූජකයන්ට එම ආගමික සංස්ථා තුළින් ම විරෝධය ඇති වේ.එවැනි පූජකයන් සිටින ආගමික ආයතන මිනිසුන් විසින් වර්ජනය කෙරේ.

යුද්ධ හමුදාව උතුරු පළාත තුළ නියෝජනය වන්නේ ද සෙසු පළාත්වල ප්‍රමාණයට සමානුපාතිකව ය. හමුදාව ආපදාවක දී හෝ හදිසි තත්වයක දී හැර සාමාන්‍ය ජන ජීවිතයට අත නොපොවන අතර හැම ප්‍රදේශයකම පාහේ ජනයාට පිහිට වන්නට සූදානමින් සිටී.

දෙපැත්තේ ම අතුරුදහන් වූවන්ට ද දෙපැත්තෙන් කොයි පැත්තකින් හෝ යුද්ධය මුවාවෙන් මානව හිමිකම් කඩ කිරීමක් සිදු ව ඇත්නම් ඊට භාජනය වූ වින්දිතයන්ට ද යුක්තිය ඉටු කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වේ. එහි අරමුණ නැවත එවැනි සිදු වීම් කිසි දා සිදු නොවනු සඳහා ය. මේ ක්‍රියාවලිය තුළ එකිනෙකා වෙත සමාව ප්‍රදානය කිරීමේ හා වන්දි ප්‍රදානය කිරීමේ ඉඩකඩ විවෘත කෙරෙනු ඇත.

එකිනෙකා කෙරෙහි ගෞරවය පළ කරන සමාජ වටපිටාවක පමණක් සැබෑ සාමයක් ඇති විය හැකි ය. ඒ සඳහා කැප වුණු රටක යුද්ධයෙන් තොර අනාගතයක් පිළිබඳ සිහිනය අපි දකිමු.

නිශාන්ත කමලදාස


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...