මං ලොකුයි ඒත් කියන්නේ බට්ටි | දිනමිණ

මං ලොකුයි ඒත් කියන්නේ බට්ටි

ඇයගේ නම නෙතු ප්‍රියංගිකා. මේ දිනවල ඇය ඔබ හමුවට පැමිණෙන්නේ ජාතික රූපවාහිනියේ විකාශය වන විමංසා ටෙලි සිතුවමේ විමංසා ලෙසිනි. කාලයක් රංගනයේ යෙදුණත් නෙතු ටෙලි සිතුවමක ආරම්භයේ සිට ප්‍රධාන චරිතයක් රඟනු ලබන්නේ විමංසාහිය.

නෙතු, ඔබේ නෙතු කියන නමට වැඩියෙන් මේ දිනවල ඔබව හඳුන්වන්නේ විමංසා කියන නමින් වෙන්න ඇති?

හරියටම හරි අයියේ. විමංසා කියන්නේ මං බොහොම ආදරයෙන් රඟපෑ චරිතයක්. මීට කලින් මං ටෙලි සිතුවම් කිහිපයකම අතර මැදින් පැමිණ ප්‍රධාන චරිත රංගනයේ යෙදුණා. ඒ කිව්වේ මම ඒවාහි රඟපෑවේ ඒවා විකාශය ආරම්භ වෙලා ටික කලක් ගත වුණායින් පසුව. නමුත් විමංසා එහෙම නැහැ. ආරම්භයේ සිටම මං තමයි එහි ප්‍රධාන චරිතය. විමංසා කියලා කියන්නේ මාධ්‍යවේදිනියක් වීමට උත්සාහ කරන කෙනෙක්. ඇගේ පියා වෘත්තීය මාධ්‍යවේදියෙක්. ඔහු තම පුවත්පත හරහා ජාවාරම්කරුවන් ගැන ලියනවා. ඒ හේතුවෙන් ඔහුව පැහැරගෙන අතුරුදන් කරනු ලබනවා. විමංසා පත්තර කන්තෝරුවට එන්නේ පියාගේ මේ අතුරුදන්වීමත් සමඟ. එහෙත් ඇය පත්තර කලාවේ මුලකුරුවත් දන්නේ නැහැ. විමංසා මෙහෙම එන්නේ තම පියා සොයා ගැනීමේ අරමුණින් යුතුවයි.

කොහොමද ඔබට විමංසා චරිතය දැනුණේ?

මෙහිදී කියන්නට ඕනෑ විමංසා කියන චරිතය තුළ මගේ ගතිගුණ එකක්වත් නැහැ. හරිම ගතානුගතික ලක්ෂණ ඒ චරිතය තුළ තියෙනවා. කිසිම ෆැෂන් එකක් විමංසා කරන්නේ නැහැ. මට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් මං පිටපත ලැබුණ වෙලාවේ ඉඳල ඒ චරිතය ගොඩ නඟා ගත්තා. රඟපාන්න යද්දී නෙතුව අමතක කළා.

විමංසා සඳහා කගෙන්ද ඔබට ආරාධනා ලැබෙන්නේ?

එහි අධ්‍යක්ෂ කනිෂ්ක බණ්ඩාරගෙන්.

විමංසා රඟපාද්දී ඔබට සිදු වූ අමතක නොවන අත්දැකීම් මොනවාද තියෙන්නේ?

පරණ කාර් එකක් ඩ්‍රයිව් කරන්න තියෙනවා. අතේ කරගැට එනවා ඒකේ ගියර් මාරු කරද්දී. කාර් එකත් එක්ක රඟපාන දර්ශන තමයි හරි අමාරු. ඒත් වෙලාවකට හරි සුන්දරයි.

නෙතු රංගනය හීනයක් කරගෙන හිටපු කාලයට දැන් ගිහින් එමුද?

ඔය අහන්නේ මං කොළඹ ඇවිත් නැති කාලේ ගැන. මගේ ගම පුස්සැල්ලාව. කොළඹින් ටිකක් ඈතයි. මාව විශ්වවිද්‍යාලයට තේරුණා. ඒත් ගියේ නැහැ. මං පෞද්ගලික ආයතනයක වැඩ කරන්න ගියා. එතන කාලයක් හිටියා. ඒත් මගේ යටි හිතේ අරමුණක් තිබුණා. ඒ කලාවට සම්බන්ධ වෙන එක. ඔය අතරේ මං සිරස කුමරිය වැඩසටහනට ඇප්ලයි කළා. ඒ එතැනින් හෝ ක්ෂේත්‍රයට එකතුවීමේ අරමුණින්. ඊට සම්බන්ධ වෙන්නයි මං කොළඹ එන්නේ. මගේ හීනය සැබෑ වෙන්නේ එතැනින්. මගේ රංගන ගමනට මාවත විවර වුණා. සමනලි තමයි මගේ පළමු ටෙලි නාට්‍ය.පසුව නිර්මාණ ගණනාවකටම රංගනයෙන් දායක වුණා. අංගනා, කළු අරලිය වගේ නාට්‍යවලින් සැලකිය යුතු ජන ප්‍රසාදයක් ලැබුවා.

නෙතු මේ වන විට කලා ලොව තුළ ස්ථාවරයිද?

අනිවාර්යයෙන්ම මං හිතනවා ලැබෙන නිර්මාණවලට අපි සාධාරණ වුණොත් මේ ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙන්න පුළුවන් කියලා.

නෙතු නේද පවුලේ ඉන්න එකම ගෑනු ළමයා?

ඔව්. මට අයියලා දෙන්නෙකුයි මල්ලිලා දෙන්නෙකුයි ඉන්නවා.

පවුලේ එකම කෙල්ලට රඟපාන්න ඕනෑ කිව්වම ගෙදරින් මොන වගේ ප්‍රතිචාර ද දැක් වුයේ?

බුදු අම්මෝ එපා කිව්වා. පසුව හැබැයි කැමැත්ත දුන්නා. මේ වෙන කොට වැඩියෙන්ම සතුටු වෙන්නේ ද ඒ අය.

නෙතු ඉගෙන ගත් පාසල මතක් කළොත්?

මං ඉස්කෝල දෙකක ඉගෙන ගත්තා අයියේ. පුස්සැල්ලාව ශුද්ධ වු ති‍්‍රත්ව විදුහල සහ වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල තමයි ඒ පාසල්.

උපන් දිනයත් මතක් කළොත්?

ජනවාරි 24.

නෙතුව ගමේදී හඳුන්වන්නේ වෙන නමකින්ලු. දැන් මං අහන්නේ ඒ නම?

මට ගමේ අය කියන්නේ බට්ටි කියලා. හැබැයි දැන් මං ලොකුයි. ඒත් තවම බට්ටි.

කවදද අන්තිමයට ගමේ ගියේ?

සති හතරකට කලින් මං ගමේ ගියා.

කොහොමද මේ වන විට ගමෙන් ලැබෙන ප්‍රතිචාර?

ගොඩක් හොඳයි. ගමේ කොල්ලො සෙට් එක උපරිමයෙන් මට සපෝර්ට්.

ඔය කොල්ලො සෙට් එකේ විශේෂ කෙනෙක් එහෙම නැතිද?

එතන නම් එහෙම කෙනෙක් නැහැ.

එහෙනම් වෙන තැනක එහෙම කෙනෙක් ඉන්නවා කියලයි ඔබ දුන්නු ඒ පිළිතුරෙන් මට පැහැදිලි වුණේ?

ඔව්. මං මේ වන විට පෙම්වතියක්.

පෙම්වතා කලා ලොවට සම්බන්ධයිද?

නැහැ. ඒත් කලාවට ළැදියි.

අද වන විට ඔබ විශ්ව විද්‍යාලයීය ප්‍රවේශය අත් හැරීම ගැන කනගාටු වෙන්නේ නැතිද?

කොහෙත් නැහැ. මම මගේ හීනයට ඇවිත්නෙ. මට ඒ ගැන හිතලා සතුටු වෙන්නට පුළුවන්.

 

 

අදහස් 1ක් ඇත

නව අදහස දක්වන්න