කොට-කොටා එක්ස්ප්‍රස්... | දිනමිණ

කොට-කොටා එක්ස්ප්‍රස්...

පෞද්ගලික බස් සේවය සම්බන්ධයෙන් රට තුළ ඇත්තේ බලවත් විවේචනයකි. එහෙත් රටේ බස් මගී ප්‍රවාහනයෙන් වැඩි කොටස ඉටු වන්නේ පෞද්ගලික බස් සේවයෙන් බව කිව යුතුය. ශ්‍රී ලංකාවේ බස් ප්‍රවාහනය ආරම්භ වන්නේ ද පෞද්ගලික අංශය නිසා ය .පසුව එය ජනසතු කිරීමෙන් ලංගම ය බිහි විය. කුමක් වුව අද වනවිට පෞද්ගලික බස් සේවය වර්ජනයක් සිදු කළහොත් මගී ප්‍රවාහනය මුළුමනින්ම නැතත් සියයට අනූවකින් වත් කඩා වැටෙන බව කිව යුතුය. ඒ අතර අලුත් නීතියක් ගෙන එමින් දුර ගමන් සේවා විධිමත් කිරීමට යන බවක් පෙනෙන්නට තිබේ. අලුත් නීතියට අනුව නිශ්චිත ස්ථානවල හැර රියදුරුට අවශ්‍ය ඕනෑම ස්ථානයක දුර ගමන් සේවා බස් රථ නැවැත්වීම තහනම් ය.

අලුත් නීතිය ලබන මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි. මීට බස් රථ සංගම් දක්වන ප්‍රතිචාරය කුමක්දැ’යි තව ම දැනගන්නට ලැබී නැත. බැලූ බැල්මට පෙනෙන්නේ අලුත් නීතිය ඉතා හොඳ එකක් බව ය. ඊට හේතු සාධක තිබේ. දුර ගමන් සේවා බස් රියදුරුට අවශ්‍ය සෑම තැනකම නැවැත්වීම නිසා මගීන් අමාරුවේ වැටෙන බව අමුතුවෙන් කිවයුතු නැත. මේ හැරෙන්නට සෑම තැනකම දුර බස් සේවා නැවැත්වීම නිසා කෙටි ධාවනයේ යෙදෙන බස් රථවලට ඉන් අයුක්තියක් සිදුවේ. දුර ගමන් සේවාවලට හොඳ හැටි මගීන් සිටින බව ප්‍රකට කාරණයකි. ඒ අතර කෙටි ගමන්වල යෙදෙන මගීන්ද දුර සේවා බස් රථවලට දමා ගැනීම නිසා කෙටි ධාවනයේ යෙදෙන බස් රථවලට මගීන් අඩු වේ.

පෞද්ගලික බස් රථ සේවාව පවත්වාගෙන යා යුත්තේ ලාභ මතය. ලාභය නැතොත් එම සේවය පවත්වාගෙන යෑමේ හැකියාවක් නැත. මේ තත්ත්වය දුර ගමන් සේවා බස් රථවල මෙන්ම කෙටි දුර ධාවනයේ යෙදෙන බස් රථවලට ද පොදු තත්ත්වයකි. දුර ගමන් සේවා බස් පාරේ සිටින සියලු මගීන් සූරාගෙන යන්නේ නම්; කෙටි ධාවනයේ යෙදෙන බස් රථ ධාවනය කිරීමෙන් පලක් නැත. දුර ගමන් සේවා වේවා, කෙටි දුර ධාවනයේ යෙදෙන බස් රථ වේවා ඒවා හසුරවනු ලබන්නෝ රියදුරෝ හා කොන්දොස්තරලා වෙති. ඔවුන් තමනට රිසිසේ මහ පාරේ බස් ධාවනය කරන්නේ යැයි කීම සාවද්‍ය නැත. පෞද්ගලික අංශයේ බස් සේවයේ යෙදෙන රියදුරන් ගැනද, කොන්දොස්තරලා ගැන ද විවේචනයක් මිස අගය කිරීමක් කලාතුරකින්වත් අසන්නට ලැබෙන්නේ නැත.

පෞද්ගලික අංශයේ රියදුරන් ගතහොත් ඔවුන්ගෙන් 90%ක්ම නොහික්මුණු පුද්ගලයන් යැයි කියන්නට පුළුවන. කොන්දොස්තරලා ගතහොත් එම තත්ත්වය ඊටත් වඩා නරක ය. මහ පාරේ කිසිදු විනයකින් තොරව සිය රථය ධාවනය කරන අයගෙන් අංක එකට හෝ අංක දෙකට හෝ වැටෙන්නේ පෞද්ගලික බස් රථවල රියැදුරා ය. මගීන්ට නොසලකන, ඉතිරි කාසි නොදෙන පමණක් නොව; මගියාට කාරුණිකව කතා කිරීමට පවා නොදන්නා කොන්දොස්තරලා ඇත්තේ පෞද්ගලික බස් සේවය තුළය. මේ සම්බන්ධයෙන් අදාළ අංශවලට දිනකට ලැබෙන පැමිණිලි ගණන අති විශාලය. පෞද්ගලික බස් සේවය මගියා නිසා පවතින බවවත් කොන්දොස්තරලා දන්නේ නැත. මේ නොහික්මුණු බව කුමන හෝ ක්‍රමයකින් නැති කළ යුතු ය. ඒ සඳහා භාවිත කළ හැකි හොඳ උපාය මාර්ගයක් ලෙස නීතිය සඳහන් කළ හැකි ය.

අව ම බස් ගාස්තුව රුපියල් දහය කළ යුතු යැයි හඬක් තිබේ. එහෙත් මෙහි ඇත්ත කතාව වන්නේ දැනට ම අවම බස් ගාස්තුව රුපියල් දහය වී ඇති බවය. පෞද්ගලික බස්වලට රුපියල් දහයක් ලබා දී ඉතිරි රුපියල කෙදිනකවත් ලබා ගත නො හැකි ය. එහි පාඩුව මඟියා කරබාගෙන විඳ දරා ගත යුතුය. නැතහොත් මාරුකාසි රුපියල් නමයක් රැගෙන යා යුතුය. ඇත්ත තත්ත්වය එය වේ. බස් ගාස්තු සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කළ යුතු යැයි නීතියක් ද තිබේ. එහෙත් පෞද්ගලික බස් රථ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නේ නැත. කලාතුරෙකින් දුර ගමන් සේවා බස් රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ වුව බහුතරයක ටිකට් පත් නිකුත් කරන්නේ නැත. එපමණක් නොව; කොන්දොස්තරලා හැකි සෑම විටක ම මගියාගේ ඉතිරි කාසි යටි මඩි ගසා ගැනීමට ද වගබලා ගනිති. මේ සියල්ල වෙනස් කළ හැකි නම්; හොඳ බස් සේවයක් පවත්වාගෙන යා හැකි ය.

දැනට පවතින තත්ත්වයට අනුව දුරගමන් සේවා සහිත පෞද්ගලික බස් රථවලට නීතියක් - රීතියක් ඇති බවක් පෙනෙන්නට නැත. රියදුරාට අවශ්‍ය තැන්වල නැවැත්වීම, රියදුරාට අවශ්‍ය ලෙස සෙමෙන් ධාවනය කිරීම, රියදුරාට අවශ්‍ය ලෙස මගීන් ගොඩකර ගැනීම ආදිය සිදුවේ. එක - එක බස් නවත්වන්නේ එක - එක තැන්වල ය. ඒ සියල්ල තීන්දු කරන්නෝ රියැදුරු හා කොන්දොස්තරය. රියදුරුට හා කොන්දොස්තරට තම බසය ධාවනය කිරීමේ දී යම් නිදහසක් තිබිය යුතු බව සත්‍යයෙකි. එහෙත් එම නිදහස මගියාට හිරිහැරයක් නොවිය යුතු ය. අනෙකුත් බස් රථවලට හිරිහැරයක්ද නොවිය යුතුය. එහෙත් දැන් ඒ සියල්ල ම සිදු වේ . කොටින්ම මහජනයා පෞද්ගලික බස් රථය තම ගමනාගමනය සඳහා යොදා ගන්නේ වෙනත් විකල්පයක් නැති නිසා යැයි කියන්නට පුළුවන.

පෞද්ගලික බස් සේවය හා ලංගම බස් සේවය අතර ඇත්තේ මාරාන්තික තරගයකි. ඇත්ත තත්ත්වය ගතහොත් මෙහි වැඩි වාසිය හිමිකරගෙන ඇත්තේ පෞද්ගලික අංශයයි. ඔවුන් ලංගම රියදුරන්ට තර්ජනය කරන අවස්ථා තිබේ. පහර දෙන අවස්ථා ද තිබේ. මහ පාරෙදී නම් ලංගම බස් රථයකට පෞද්ගලික බස් සේවය පුංචි හෝ ඉඩක් හා අවස්ථාවක් ලබා දෙන්නේ නැත. එය ද අයුක්තියකි. දුර ගමන් සේවාවලදී ද පෞද්ගලික අංශය හා ලංගමය අතර මාරාන්තික තරගයක් පවතී. මේ තරගයෙන් ද වැඩි වාසි ලබා‍ෙගන ඇත්තේ පෞද්ගලික අංශය බව කිව යුතුය. පෞද්ගලික බස් සේවය රටේ පවත්නා පොදු ප්‍රවාහන නීති - රීති වලට යටත් කළ යුතු ය . දැන් එම සේවය දුවන්නේ එම නීති - රීතිවලට යටහත්භාවයක් දක්වමින් නොවේ.

දුර ගමන් සේවා සම්බන්ධයෙන් පෞද්ගලික බස් සේවයට පනවා ඇති නීතිය ඉතා සාධාරණ බව කිව යුතුය. එ‍හෙත් මෙය හරිහැටි ක්‍රියාත්මක වේද යනු සැක සහිතය. එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නම් ප්‍රධාන මාර්ගවලට මෙහෙයුම් කණ්ඩායම් දිනපතාම යැවිය යුතුය.

නව අදහස දක්වන්න