අඩු කළ ඩෙංගු පරීක්ෂණ ගාස්තු ක්‍රියාත්මකදැයි සොයයි | දිනමිණ

අඩු කළ ඩෙංගු පරීක්ෂණ ගාස්තු ක්‍රියාත්මකදැයි සොයයි

සන්ධ්‍යා කරුණාරත්න

පෞද්ගලික රෝහල්වල සහ රසායනාගාරයන්හි සිදු කරන රුධිර පරීක්ෂණ සහ ඩෙංගු රුධිර පරීක්ෂණවලට අය කරන ගාස්තු අඩු කිරීමේ වාසිය මහජනතාවට ලැබෙන්නේද යන්න සොයා බැලීමට විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දෙයි.

රුධිර පරීක්ෂණවල ගාස්තු පෙරේදා (19) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබේ.ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර සහ ඖෂධ පරීක්ෂකවරුන් මෙම ගාස්තු අඩු කිරීම පිළිබඳ විමර්ශනයක් සිදූ කර අදාළ වාර්තාව ඇමැතිවරයා වෙත ලබාදීමට නියමිතය.

ගාස්තු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා නොදෙන පෞද්ගලික රෝහල් සහ රසායනාගාර පිළිබඳ නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් රුධිර පරීක්ෂණ වැඩි වශයෙන් සිදූ කළ යුතු නිසා මෙම තීරණය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය ඇමැතිවරයා පවසයි.

පෞද්ගලික රෝහල් නියාමන පනතට අනුකූලව මෙම මිල සංශෝධනය සිදූ කළ අතර එය නැවැත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වේ.

ඒ අනුව රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තුව රුපියල් 250 ක් ද, ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා අය කරන ගාස්තුව උපරිම රුපියල් 1000 ක් ද විය යුතු බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ඩෙංගු රුධිර පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල් මේ තීරණය ගැනීමට පෙර අය කර ඇති ගාස්තුව රුපියල් 3000 ක් වන අතර රුධිර පරීක්ෂණ වාර්තා පැය බාගයක් තුළ රෝගියාට ලබාදීම සිදු කළ යුතුය. 


නව අදහස දක්වන්න