ඔලිම්පික් දින සැමරුම් උළෙල අම්පාරේදී අභිමානවත්ව | දිනමිණ

ඔලිම්පික් දින සැමරුම් උළෙල අම්පාරේදී අභිමානවත්ව

ප්‍රින්ස් ගුණසේකර
ඔලිම්පික් උළෙල නියෝජනය කළ සුගත් තිලකරත්න හා නිලූක කරුණාරත්න යන මහත්වරුන්, ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එච්. ඒම්. එම්. හාරිස් මහතාගේ විධානයෙන් සැමරුම් ධාවනය ආරම්භ කළ අයුරු.

ජාතික ඔලිම්පික් කමිටුව අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා නැ‍ඟෙනහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය එක්ව සංවිධාන කළ ඔලිම්පික් දින සැමරුම් උළෙල අම්පාර වීරසිංහ ක්‍රීඩා උළෙලේදී ඊයේ අභීමානවත් ලෙස පැවැත්වුණි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ සුගත් තිලකරත්න හා නිලූක කරුණාරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති එච්. ඒම්. එම්. හාරිස් මහතාගේ විධානයෙන් පැවැති ඔලිම්පික් දින සැමරුම් ධාවනයට පාසල් සිසුන් දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.

අම්පාර මහජන උද්‍යානය අසලින් ආරම්භවූ මේ සැමරුම් ධාවනය අම්පාර නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලින් ගමන්කොට පන්සල් හංදිය, පොලීසිය හංදිය, උහන පාර ඔස්සේ කිලෝමීටර් 4ක පමණ දුරක් ගොස් වීරසිංහ ක්‍රීඩාංගණයට පිවිසියහ. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකොට ආරම්භ කළ සැමැරුම් උත්සව සභාවේදී සුගත් - නිලූක යන මහත්වරුන් ඇතුළු විශේෂ පුද්ගලයන් කිහිපදෙනකුට ඇගැයීම් ඵලක ප්‍රදානය කෙරුණි.

ඩී. එස්. සේනානායක විදුහලේදී පෙරවරුවේ පැවැති ඔලිම්පික් චිත්‍ර ප්‍රදර්ශනයේ ජයග්‍රාහී දරුවන් දස දෙනකුට විශේෂ තිළිණ ප්‍රදානය කෙරුණු අතර සහභාගීත්වය වෙනුවෙන් සහතික පත් පිරිනැමුණි. මේ කටයුතුවලදී වෙස්ලි උසස් විදුහල, මතීනා මහා විදුහල, හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර විදුහල, ඩී. එස්. සේනානයක විදුහල, විරංකැටගොඩ විදුහල, මැදවලාලන්ද මහා විදුහල, කරන්ගාව ජනරාජ විදුහල, සද්ධාතිස්ස විදුහල, කාවන්තිස්ස විදුහල, ගාමිණී මහා විදුහල, විපුලානන්ද මහා විදුහල, බණ්ඩාරණායක බාලිකා විදුහල හා වලතාප්පිටිය රජයේ දෙමළ මිශ්‍ර පාසල නියෝජනය වූහ.

ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ ආරාධනාවෙන් නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ එන්. පී. විජේරත්න, ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල්, නැ‍ඟෙනහිර පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න