බළලුන් ලෝකය ඇල්ලුවේ මෙහෙමයි | දිනමිණ


 

බළලුන් ලෝකය ඇල්ලුවේ මෙහෙමයි

මංජුලා විජයරත්න

ගෘහස්ත සතුන් අතර බළලුන්ට හිමි වන්නේ විශේෂ තැනෙකි. බළලුන් මිනිසාගේ මිතුරකු බවට පත්ව, ඔහුගේ නිවෙසේ පදිංචියට ආවේ කෙසේද?. මේ ගැටලුවට උත්තරයක් සෙවීම කිසි කමකට නැති එකක් ලෙස ඔබට පෙනී යන්නට පුළුවන. එසේ වුවත් විද්‍යාඥයන් පවසන්නේ මිනිස් - බළල් මිත්‍රත්වයේ අතීතය සොයා යාම ඉතාමත් වැදගත්, රසවත් කාරණයක් බවයි. එසේ, මිනිස් - බළල් මිත්‍රත්වයේ අතීතය සොයා ගිය විද්වත්හු පිරිසක් ප්‍රංශයේ පැරිස් නුවර සිටිති. ඔවුන් ජැකුවෙස් මොනොඩ් ආයතනයේ විද්වතුන් පිරිසකි. පර්යේෂණයට සහභාගී වුණු ආචාර්ය ඊවා මාරියා ගෙයිග්ල් පවසන්නේ මෙයට වසර 9000කට පමණ පළමුව, බළලා මිනිසාගේ ගෙදරට ගොඩ වැදී ඇති බවකි.

වසර 9000කට පමණ පළමුව මිහි මත විසූ මිනිස්සු ගොවිතැනින් ජීවත් වූවෝය. ඔවුන්ගේ සමාජ ක්‍රමය අද දැකිය හැකි තරම් සංකීර්ණ එකක් නොවිණ. එය බෙහෙවින්ම සරල එකක් වූ බවට සාක්ෂි ඇත. මෑත පෙරදිග භූමි ආශ්‍රය කරගෙන ජීවත්වුණු මනුෂ්‍යයන්ගේ ජනාවාස වෙත වන බළලුන් සංක්‍රමණය වී ඇති බවට සාක්ෂි පවතී යැයි කියා ආචාර්යය ඊවා පවසන්නීය. මෙය බොහෝ විට සිදු වන්නට ඇත්තේ මිනිසුන් වනාන්තර එළි පෙහෙළි කර වගා බිම් සකස් කර ගැනීමේ ක්‍රියාවලිය තුළදීය. වනාන්තර කපා දමා කෘෂිකාර්මික බිම් සකසා ගන්නා විට වන බළලුන්ගෙන් කොටසක් මිනිසුන් වාසය කරන ප්‍රදේශ සමීපයට එන්නට ඇත. කෘෂිකර්මාන්තය සශ්‍රික තැනෙකට පැමිණවීමෙන් පසු මිනිසා බව බෝග අස්වනු නෙළා තම වාසස්ථාන වෙත ගෙන වුත් ගබඩා කර ගත්තා නිසැකය. එසේ ගෙනැවිත් තබා ගත් අස්වනු විනාශ කරන්නට නොයෙක් ආකාරයේ ජීවින් පැමිණියාටද සැකයක් නැතැයි කියා ආචාර්යය ඊවා පවසන්නීය. මීයන් සහ කෘමි විශේෂ ඒ අතර ප්‍රධාන වේ. ධන්‍යය ගබඩා වෙත පැමිණෙන මීයන් සහ කෘමින් අල්ලා ගැනීම සඳහා බළලුන් ධන්‍යය ගබඩා තුළ නිතර නිතර සැරිසරන්නට ඇත. මේ තත්ත්වය තුළ මිනිසා සහ බළලුන් අතර සම්බන්ධතාවය ගොඩනැඟෙන්නට ඇතැයි කියා විශ්වාස කෙරේ.

මෑත පෙරදිග රටවලදී ඇතිවුණු මිනිස් - බළල් යාළුකම මානව ඉතිහාසයේ එක්තරා යුගයකදී ඊජිප්තුවෙන් මතු වන බවක් පෙනෙන්නට තිබේ. බළලුන් ඊජිප්තුවට ළඟා වන්නට ඇත්තේ කාලය ගත වන විට ඇති වුණු මුහුදු ගමනාගමන පහසුකම්වල දියුණුවත් සමඟ බව ආචාර්යය ඊවා පවසන්නීය. නමුත් මෑත පෙරදිග රටවල සිට ඊජිප්තුවට හීලෑ බළලුන් ඍජුවම සංක්‍රමණය වී යැයි කියා කියන්නට සාක්ෂි නැත. ඊවා සහ පර්යේෂකයන්ගේ මතය වී තිබෙන්නේ උතුරු යුරෝපා රටවල සිටි බළලුන්ගෙන් ඇතැම් වුන් නාවුක යාත්‍රාවල නංවාගෙන විටින් විට ඊජිප්තුවට රැගෙන එන්නට ඇතැයි කියාය.

“... බළලුන් මිනිස් ඇසුරට පැමිණ හීලෑ තත්ත්වයට පත් වීම අවස්ථා දෙකකදී සිදු වී තිබේ. එය මුලින්ම පටන්ගෙන තිබෙන්නේ මෑත පෙරදිග රටවල් තුළදීය. ඉන් පසු කාලයක එය ඊජිප්තුව තුළත් දැකිය හැකි වේ. මෙකී අවස්ථා දෙකෙන් පසු බළලුන් පැරැණි ලෝකය පුරා ඉතාමත් කාර්යක්ෂමව පැතිර යාමක් දක්නට ලැබේ. එය සිදු වන්නේ මුහුදු නෞකා තුළට බළලුන් රැගෙන යාම තුළින්. වත්මන් බළලුන් එසේ පැවතගෙන ආ පරම්පරාවල සාමාජිකයන්. ...” යැයි කියා ආචාර්යය ඊවා පවසන්නීය.

ගොඩබිම ජීවත් වුණු මිනිසුන්ගේ මිත්‍ර සමාගමයට ඇතුළු වුණු බළලුන් මුහුදේ ගමන් කරන පිරිස් තම යාත්‍රා වෙත කැඳවා ගත්තේ මන්ද යන්න මීළඟ ගැටලුවයි. ආචාර්ය ඊවාගේ මතයේ හැටියට මිනිසුන් බළලුන් නාවුක යාත්‍රාවලට රැගෙන ගොස් තිබෙන්නේ මීයන් අල්ලා ගැනීමේ “රාජකාරිය” උන් ලවා කරවා ගැනීමටය. මේ නිසා මුළුමනින්ම ගෘහස්ත ජීවිතයකට අවතීර්ණ වන්නට පළමුව බළලුන් මුහුදු යාත්‍රාවලත්, ගොවිපොළවලත් මීයන් සහ අවශේෂ කෘමීන් ඇල්ලීමේ කටයුත්තෙහි නිරත වෙමින් මිනිසාට උපකාර කර තිබේ.

බළලුන් මේ “රස්සාව” අඩු තරමින් වසර දහස් ගණනක් පුරා කරගෙන යන්නට ඇතැයි කියාත් මත පළ වේ. බළලුන්ගේ එකී “රස්සාව” හුදෙක් බළලුන්ට පමණක් නොව මිනිසුන්ටත් බෙහෙවින්ම ප්‍රයෝජනවත් එකක් වූ බැව් පෙනේ. මේ තත්ත්වය තුළ බළල් - මිනිස් මිත්‍රත්වය තව තවත් දළු ළා වැඩෙන්නට පටන් ගෙන ඇත.

පර්ය්ෂකයන් මේ අනාවරණය සිදු කරන්නේ ආවාට - ගියාට ම නොවේ. එහිලා ඔවුන් පර්යේෂණ කරන්නේ බළලුන්ගේ ආදිතමයන්ගේ දේහ කොටස් මුල් කරගෙනය. වසර 200කට පළමුව ජීවත් වූයේ යැයි කියා කියන බළලුන් සමූහයකගේ දේහ වයිකින්ග් සොහොන් බිම්වලින් සොයා ගැනීමට විද්‍යාඥයෝ සමත්ව සිටිති. ඒ හැරුණු විට ඊජිප්තු ශිෂ්ටාචාර වැසියන් මමි බවට පත් කළ බළල් මෘත දේහ විද්‍යාඥයන් අතට පත්ව තිබේ. තවද, ගල් යුගයට අයත් වස්තූන් අතර තිබී බළලුන්ගේ මෘත දේහවල කොටස් සොයා ගන්නට ඉඩ ලැබී ඇත. මෙකී සියලුම ආකාරවලින් සොයාගන්නා ලද බළල් මෘත දේහවල කොටස් ඇසුරෙන් මයිටර්කොන්ඩ්‍රියා ඩී.එන්.ඒ. පරික්ෂාවන් සිදු කරන්නට විද්‍යාඥයන්ට හැකි විණ.

වසර 9,000කට පමණ පළමුව මෑත පෙරදිග රටවල සිට බළලුන් මිනිස් ආශ්‍රයට පැමිණි බව තහවුරු වී තිබෙන්නේ ඒ අන්දමට කෙරුණු පර්යේෂණවලිනි. දුඹුරු වර්ණයෙන් යුත් පුල්ලි සහිත බළලුන් මධ්‍යතන යුගය තුළදී පමණක් දක්නට ලැබුණේ යැයි කියා තතු අනාවරණය වී ඇත. එය සිදු වන්නට ඇත්තේ 14 වැනි සියවසේදී පමණය. බටහිර තුර්කිය ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වුණු බළලුන් තුළ දක්නට ලැබුණු ජාන විකෘතියක් හේතුවෙන් දුඹුරු පුල්ලි සහිත බළලුන් බිහි වන්නට ඇතැයි කියා මතයක් තිබේ. එම බළලුන් ලෝකය පුරා ව්‍යාප්ත වන්නේ වසර සිය ගණනක් ගත වුණු තැනදීය. ලෝකය පුරා ඔවුන් ව්‍යාප්ත වුණේ ඔවුන්ගෙන් ඇති ප්‍රයෝජනය නිසා නොව ඔවුන්ගේ පෙනුමෙහි ඇති සුවිශේෂත්වය හේතුවෙනි.

සුනඛයන්ට සාපේක්ෂව බළලුන් අභිජනනය කරවීම 19 වැනි සියවසේදී පවා සිදු වුණේ ඉතා අඩුවෙනි. එනිසා අද ගෘහයන්හි දක්නට හැකි බළලුන් ඔවුන්ගේ පළමු ස්වරූපයට බෙහෙවින් සමාන ස්වරූපවලින් යුක්තය. නමුත් 21 වැනි සියවසට එළැඹි පසු මිනිසා තම දිගු කාලීන මිතුරාගේ ලස්සනම බලාපොරොත්තු වන බවක් පෙනෙන්නට තිබේ. මේ නිසා විවිධ වර්ණ සහ විවිධ රටා ඇති ලෝම වැස්මක් සහිත බළලුන් අභිජනනය කරගන්නට මිනිසා පෙළඹී තිබේ. රෝම සහිත උසින් අඩු බළලුන්ද, රැලි වැටුණු රෝම සහිත බළලුන්ද, දඩයම් බල්ලන් වැනි බළලුන්ද අද අපට දක්නට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

බී.බී.සී. ඇසුරෙනි

නව අදහස දක්වන්න