එව­රස්ට් කඳු මුදුනේ විවා­හයක් | දිනමිණ

එව­රස්ට් කඳු මුදුනේ විවා­හයක්

ලෝකයේ විවිධාකාර පුද්ගලයන්ට ඇත්තේ විවිධාකාර ආශාවන්ය. උතුරු කැලි‍ෆෝනියා‍වේ ජේම්ස් හා ඈෂ්ලිද එසේ සාමාන්‍ය පුද්ගලයන් සිතනවාට වඩා වෙනස් ලෙසකින් සිතන පෙම්වතුන් යුවළකි. සිය දිවියේ සුන්දරම අවස්ථාව වන විවාහය වෙනස්ම අයුරකින් ඉටුකරන්නට ඔවුන් සිතුවේ එනිසා විය හැකිය. දෙදෙනා විවාහ පොරොන්දු දෙන ඒ සුන්දර මොහොත ලෝකයෙන් ඉහළම තැනක සිට සිදු කිරීමට ජේම්ස් හා ඈස්ලි දෙදෙනා පෙරුම් පිරූහ. ඔවුන් ඒ සඳහා තෝරා ගත්තේ ලොව ඉහළම ස්ථානය වන එවරස්ට් කඳු මුදුනය.

ජේම්ස් කැලිෆෝර්නියාවේ ආයතනයක විධායක නිලධාරියෙකි. ඈෂ්ලි සුළු රැකියාවක යෙදෙමින් වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන්නියකි. විවාහය සඳහා එවරස්ට් තරණය ඔවුන්ට අලුත්ම අත්දැකීමක් විය. එවරස්ට් හි විවාහය සිදු කිරීමට සූදානම් වූ විගස ඔවුන් කළේ ඔවුන්ගේ මේ අසිරිමත් මොහොත ජායාරූපගත කිරීම සඳහා ජායාරූප ශිල්පියකු සොයා ගැනීමය. ජේම්ස් හා ඈස්ලි ඒ සඳහා තෝරා ගත්තේ මෙවන් අවදානම් හා නිර්භීත කාර්යන් ජායාරූපගත කිරීමේ ප්‍රමුඛ නමක් දිනාගත් ජායාරූප ශිල්පියෙකි.

“ මං 2015 වසරේදීත් මෙවැනිම යුවළකගේ මංගල මොහොත එවරස්ට්හිදී ජායාරූපගත කිරීමට සූදානම් වුණා. ඒත් නේපාලයේ ඒ වසරේ සිදුවූ දරුණු භූමිකම්පාවත් සමඟ එය වැළකී ගියා. මෙතරම් ඉක්මනට එවැනි වූ තවත් දෙදෙනකු මට මුණ ගැසේවි යැයි මං හිතුවේ නැහැ” යැයි එම අභියෝගය බාරගත් ජායාරූප ශිල්පියා වන චාල්ටන් චර්චිල් පවසයි.මේ විවාහය එවරස්ට් කඳු මුදුනේ සිදු කිරීමට ඔවුන් ලක ලැහැස්ති වූයේ මාස නවයක සිටය. ඒ සඳහා සූදානම් වෙමින් ඔවුහූ ප්‍රථමයෙන්ම එළිමහනේ දැඩි සීතලකින් යුතු තැන්වල නිදන බෑග්වල නිදා ගත්හ. ඒ අතරම කඳු නැගීම සඳහා ශාරීරික යෝග්‍යතාව ඇතිකරගනුවස් දැඩි ව්‍යායාම්වල නිරත වූහ. කඳු නැගීම සඳහා පාදවල මාංශ පේශීන් ශක්තිමත් කර ගැනීමේ ව්‍යායාම ද ඒ අතර විය.

ඔවුන් ගමන පිටත් වූයේ මාර්තු මස 08 වැනිදාය. ඇමෙරිකාවේ සියැට්ල්වලින් ඩුබායි කරා පැමිණ එතැනින් කත්මණ්ඩු කරා පැමිණි ඔවුහූ එවරස්ට් ආසන්නයේ කුඩා ගුවන් තොටුපොළ කරා කුඩා ගුවන් යානයකින් පැමිණියහ. ජේම්ස් හා ඈෂ්ලි යුවළ ගමන සඳහා කෝකීන්ද කඳු නැඟීමේදී මඟ පෙන්වන නේපාල ජාතික ශර්පාවරුන් හා බර ඔසවා ගෙන යන්නෝද කුලියට ලබා ගත්හ. ඔවුන් ගෙනගිය බඩුමුට්ටු අතර ජේම්ස්ගේ මඟුල් සූට් එක හා ඈෂ්ලිගේ මඟුල් ගවුමද විය. ඊට අමතරව ජේම්ස් සිය ලැප්ටොප් පරිගණකයද යන යන තැන රැගෙන ගියේය.

අඩියෙන් අඩිය හිම කඳු අතරින් ඉහළට ගිය කණ්ඩායමට ඒ යන අතරමඟදී බාධක රැසකට මුහුණ දීමට සිදුවිය. ශීතල නිසා හුස්ම ගැනීම අපහසුය. තැනින් තැන අයිස් කඳු ලිස්සයි. එහෙත් ඔවුන්ගේ ධෛර්ය ඒ සියලු බාධක අභිබවා ගියේය. මේ යන අතරමඟදී ඔවුහූ සුප්, ශරීර ශක්තිය රඳවන ආහාර හා උණුසුම් පාන වර්ග ආහාර ලෙස ගත්හ. ජේම්ස් සිය ලැප්ටොප් පරිගණකයෙන් රාජකාරි කටයුතු ද කළේය.

උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 8 සහ 10 අතරේ තිබියදී ඔවුහූ අවසානයේ එවරස්ට් මූලික කඳවුරට මෙහා පිහිටි ගොරැක් ෂෙප් නමැති ස්ථානයට ළඟා වූහ. එතැන උස අඩි 16942ක් විය. ජේම්ස් සිය ජීවිතයේ භයානකම අවස්ථාවට මුහුණ දුන්නේ මෙතැනදීය. එතැන විවේක ගනිමින් සිටි ජේම්ස් උදේ අවදි වූයේ කවුරුන් හෝ සිය ගෙල මිරිකනවාක් වැනි හැඟීමකිනි. මුහුදු මට්ටමෙන් අධික උසක සිටීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුවෙන් ජේම්ස් දඟලද්දී එතැනට දිව ආ චර්චිල් වහාම ශර්පාවරුන් කැඳවීය. ශර්පාවරුන් ‍ජේම්ස්ට හුස්ම ගැනීම පහසු කරමින් ඔක්සිජන් සපයත්ම ඔහු යථා තත්ත්වයට පත්විය. එදින රෑ ජේම්ස් නිදා ගත්තේ ඔක්සිජන් ටැංකිය ද සමඟිනි.

“ මෙතැනදී ඊට පෙර සතියේ ඔස්ට්‍රේලියානු කඳු නගින්නෙක් මිය ගොස් තිබුණා. ජේම්ස් ද ඔක්සිජන් නැතිව මිය යෑමට ඔන්න මෙන්න තිබියදී බේරුණා. එසේ තිබියදී තවත් ජීවිත අවදානම ගත යුතු දැයි අප කල්පනා කළා. නමුත් පසුදින ජේම්ස් සුව වීම නිසා ඔවුන් දෙදෙනා ශර්පාවරුන් සමඟ සාකච්ජා කළා. ජේම්ස් ඔක්සිජන් ටැංකියක් ද සමඟින් ඉතිරි උස තරණය කිරීමට ඔවුන් පසුව තීරණය කළා.” ඈෂ්ලි පැවසුවාය.

ඔවුන් එවරස්ට් මූලික කඳවුරට ළඟා වූයේ මාර්තු 16වැනිදාය. ගමනට දින 9ක් ගත වී තිබිණි. ජේම්ස් හා ඈෂ්ලි යුවළ මේ වෙද්දී දින 9ක් හරිහැටි සිරුර සෝදා තිබුණේ නැත. ජේම්ස් රැවුල බා තිබුණේ නැත. පසුදින ඔවුන්ගේ විවාහ දිනයයි. ඈෂ්ලි සිය මංගල ගවුම හැඳ යන්තමින් වත්සුණු තවරා ගත්තාය. ජේම්ස් ද ලක ලැහැස්තිවී ඉතිරි උස තරණය කළේ ඔවුන්ගේ ජීවිතයේ අසිරිමත් අවස්ථාව සඳහාය. මූලික කඳවුර ආසන්නයේ සුප්‍රකට කුම්බු අයිස් ෆෝල් නමැති ස්ථානය පසුබිමේ ඇතිව දැඩි සීතලේ දෙදෙනා විවාහ පොරොන්දු දුන්හ. මංගල මුදු හුවමාරු කර ගත්හ. හතර වටින් වූයේ අයිස් කඳුය. ශර්පාවරු කෝකියා සහ බඩු ඔසවන්නෝ එම විවාහයේ සාක්කිකරුවෝ වූහ. ඔවුන් මේ දිනය සිහිපත් වීමට එතැන වූ ගලක සිය නම් ද සටහන් කළහ. චර්චිල් ඒ සියල්ල ජායාරූප ගත කළේය. ඒ වෙද්දී උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 5ක් පමණ විය. එතැන මිනිත්තු 90ක පමණ කාලයක් ගත කළ ඔවුන්ට මීළඟට අවශ්‍ය වූයේ එතැනින් ඉක්මනට නික්ම යෑමය. එහෙත් අපේක්ෂා සුන් කරමින් අයහපත් කාලගුණය නිසා ඔවුන් රැගෙන යෑමට හෙලිකොප්ටරයට එතැනට ළඟා විය නොහැකි විය. එහෙයින් ඔවුන්ට එදින රාත්‍රිය ද මූලික කඳවුරේම ගත කිරීමට සිදු විය.

“අපි එදා රාත්‍රිය ගත කළේ ග්ලැසියර් අයිස් කඳු අතරේ. අපි නිදා ගත් තැනට යටින් ග්ලැසියර් පුපුරනවා ඇහෙනවා. වටෙන්ම හිම කඳු කඩා වැටෙන සද්ද‍ ඇහෙනවා. එලෙස පණ බයේ සිටියදී අපි ජීවිතයේ අහපු මිහිරිම හඬ ඒ කියන්නේ චොපර් එකේ හඬ ඇහුණා. එවෙලේ ජේම්ස්ගෙයි ඈෂ්ලිගෙයි මුහුණු දැක්කාම පුදුම සතුටක් දැනුණා. ඒත් පයිලට් ආවෙත් ඔක්සිජන් දමාගෙනයි. ඒ තරමටම හුස්ම ගැනීම අපහසුයි. මුලින්ම ගියේ අලුත් යුවළ. අපි ගියේ දෙවැනි වාරයේ” චර්චිල් පසුව විස්තර කර තිබිණ.

ජේම්ස් හා ඈෂ්ලි ‍යුවළගේ මංගල ජායාරූප සමාජ ජාලා වෙබ් අඩවිවලට පිවිසීමත් සමඟ දෙදෙනා එක රැයෙන් ලෝකය පුරා ප්‍රසිද්ධ වූහ.

නව අදහස දක්වන්න