නියගය නිසා අ"පුරේ ලක්ෂ 04ක් පීඩාවට | දිනමිණ

නියගය නිසා අ"පුරේ ලක්ෂ 04ක් පීඩාවට

අනුරාධපුර දිස්ත්‍රික්කයට පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ලක්ෂ හතර කට වැඩිපිරිසක් ජලය නොමැතිව දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තාවේ.

අප වාර්තාකරු පැවසුවේ, මාස ගණනාවක් තිස්සේ රජරට පිහිටි ජලාශ,මහවැව් හා කුඩා ප්‍රමාණයේ වැව් පිරියාමට අවශ්‍ය පරිදි වර්ෂාව නොලැබීමෙන් ජනතාව පීඩාවට පත්වී සිටින අතර දෛනික ජල අවශ්‍යතාවන් පවා සපුරා ගැනීම ඔවුන්ට අපහසු වී තිබෙන බවයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලය,රඹෑව,මැදවච්චිය,තන්තිරිමලය,මහ විලච්චිය,නොච්චියාගම, රාජාංගණය,කහටගස්දිගිලිය,හොරොව්පොතාන,ගලෙන්බිදුණුවැව‍,කැබිතිගොල්ලෑව පදවිය,එප්පාවල, ගල්නෑව ,බූල්නෑව,සේනපුර කැකිරාව,කලාවැව ඇතුළු ගොවිජනපද රැසක ජනතාව මෙම ජල අර්බුදයට මුහුණපා සිටින අතර මේ හේතුවෙන් ගොවිබිම් අක්කර දහස් ගණනක ගොවිතැන් පාළුවී ගොවියන් සුසුම් හෙලමින් සිටිති.

පසුගිය කාලයපුරා නියගය නිමාකාරමින් සිය ප්‍රදේශයන්ට වැසි ඇද වැටුනත් ජල මුලාශ්‍ර පෝෂණය වීමට අවශ්‍ය තරම් තද වර්ෂාව නොලැබුණු බව ගොවියන් පැවසූහ.

වැසි ලැබේ යැයි අපේක්ෂාවෙන් ගොවිතැන් ආරම්භකල බොහෝ පිරිසකගේ වීගොවිතැන ඇතුළු අතුරු බෝග සියල්ලම පාහේ විනාශවී ගොස් ඇති බවත් නැවත වගාවන් ගොඩගැනීමට නොහැකි ආකරයෙන්ම විනාශ වී ඇති බවත් ඔවුන් කණගාටුවෙන් පැවසුහ.

ගොවිතැනට අමතරව දෛයිනික අවශ්‍යතාවන් සදහාත් ජලය නොමැති බව නියගයට මුහුණදී සිටින ප්‍රදේශ රැසක ජනතාව පෙන්වා දුන් අතර පානීය ජලය,ස්නානය සදහා ජලය,ගෙදර දොරේ වෙනත් අවශ්‍යතා සදහා අවශ්‍ය ජලය නිසි ලෙස සපයා ගැනීමත් අසීරු වී ඇති බව ද ඔවුන් පෙන්වා දුන්හ.

නියගයට මුහුණදී සිටින බොහෝ ප්‍රදේශවල ඔවුන්ගේ දෛයිනික ජල අවශ්‍යතාවය සැපිරූ ළිං සියල්ල පාහේ සිදි ගොස් ඇති බව ඔවුන් පෙන්වා අතර සියළුම කුඩා වැව් පතුලට සිදිගොස් ඇතිබව ඔවුන් පැවසුහ.

ප්‍රදේශවල ජනතාවට මෙන්ම කැලෑවල වෙසෙන වන අලීන් ඇතුළු සතා සීපාවනුත් බීමට ජලය පොදක් නොමැතිව ජලය සොයමින් කැලෑ පීරන බව ඔවුන් පැවසූහ.

ප්‍රදේශයන්හී පිහිටි ජල උල්පත් විලළි ළිං සිදියාම හේතුවෙන් පානිය ජලය හිගවීම නිසා දෛයිනිකව පානිය ජලය මුදලට ලබා ගැනීමට සිදුව තිබෙන බව ද නියගයට මුහුණදී බැටකන ප්‍රදේශවල ජනතාව පැවසුහ.

(අනුරාධපුර මධ්‍යම විශේෂ)

නව අදහස දක්වන්න