දරු දුක | දිනමිණ

දරු දුක

දසුනි හෙට්ටි­ආ­රච්චි

කතන්දර ඉපදෙන්නෙ ලියන කෙනා ජීවත්වෙන රට ඇතුළෙ. සමහර වෙලාවට ලියන කෙනා ජීවත්වෙන රට වෙනස් වුණාම කතන්දරවල ඉන්න මිනිස්සුන්ගෙ නම් විතරක් නෙමෙයි, ඒ මිනිස්සු හිතන පතන විදිහත් වෙනස් වෙනවා. තමන්ගෙ නොවෙන රටක ජීවත් වෙනකොට කන්තෝරුවෙ දවල් කෑම මේසෙදි රටවල් කීපයක් මුණ ගැහෙනවා. ඉරානෙ ඉපදිච්ච ෆැරනැක්, ඉන්දියාවෙ ඉපදිච්ච ස්වප්නට වැඩිය වෙනස් විදිහට ජීවිතේ දකිනවා. එහෙම වුණාට සමහර වෙලාවට රතුපාට ලේ තියෙන හැම මනුස්සයගෙම සිතිවිලි එකම විදිහයි කියා හිතන්න කරුණු කාරණා සිද්ධ වෙනවා.

ඇන්තනි කැන්ගරුලන්තෙ ඉපදිලා, ඒ රටේම හැදිලා වැඩිලා රටට ආවේනික විදිහට ජීවත් වෙනවා. එහෙම වුණත් එයා අනිත් හැම රටකින්ම තමන්ගෙ රටට ඇවිල්ලා ජීවත් වෙන මිනිස්සුත් එක්ක ජීවිතේ බෙදාහදා ගන්නවා; හිනා වෙනවා; කතා බහ කරනවා. ගිය මාසෙ තිස් වැනිදට හරියටම අවුරුදු තිහ පිරුණට, අවුරුදු අටක දුවෙකුයි, අවුරුදු එකක් යාන්තමට පිරිච්ච පුතෙකුයි ඇන්තනිට ‘ඩැඩී’ කියලා කතා කරනවා. එයා ඒ ගැන කිව්වම කන්තෝරුවෙ සමහර උදවිය “ඔයාට එච්චර ලොකු ළමයි ඉන්නවද අනේ?” කියලා ඇස් දෙක නළලෙ ඉන්දවගන්නවා. ඇන්තනිට ඕවා ගානක් නෑ. එයා හිනාවෙලා නිකම් ඉන්නවා. සමහර දවස්වල උදේට කන්තෝරු ආවම ඇන්තනිගෙ ඇස්වල නිදිමත උතුරනවා. “පුතා ඊයෙ රෑ නිදාගත්තෙ නෑ අනේ.. රෑ එකට ඇහැරිච්ච ගමන් නිදියන කොට උදේ පහයි.” එහෙම දවස්වලට එයා නිදහසට කරුණු කියනවා. ඒ වගේ දවස්වල දවල් කෑම මේසෙදි අපි දරුවො ගැන කතා කරනවා.

එයාගෙ පුතා මාස තුනක් පිරුණු දවසෙ ඉදලා නිදාගන්නෙ අල්ලපු කාමරේ තියෙන තොටිල්ලක කියලා ඇන්තනි කියනවා. ඉන්දියානු, පකිස්තානු ඇස්වල රැඳුණු විමතිය දැනුණ හින්දදෝ මන්දා, “ඒ කාමරේ කැමරාවක් හයි කරලා තියෙන්නෙ. බබා ඇඩුවොත් අපිට පේනවා” කියලා කියනවා. ඒත් ආසියාතික හිත් තියෙන අපිට ඒක අමුතු විදිහට පේනවා. “එහෙම කළාම දරුවො ලොකු වෙනකොට එයාලගෙ හිත් හීතල වෙනවා.” පාකිස්තානෙ ඉපදිච්ච කස්තුබ් කියනවා. “නිදාගන්න පුංචි වෙලාව හරි නිදහසේ නිදාගන්න ඕනනේ...” කියලා ඇහෙන නෑහෙන සද්දෙන් කියලා ඇන්තනි නිශ්ශබ්ද වෙනවා.

“මම අවුරුද්දක් පිරෙනකල් පුතාව තොටිල්ලකවත් තිබ්බෙ නෑ...” ෆැරනැක් කියන්නෙ හීනි ආඩම්බරේකින්. එයා බබාට අවුරුදු හතරක් පිරෙන කල්ම මවුකිරි දුන්නා කියලත් එයාගෙ කතන්දරේට අමුණනවා. ඉන්දියාවෙ ඉපදුණු ස්වප්නා “මෙහෙමයි ෆැරනැක්... ඉන්න තැනේ හැටියටනෙ අපි ළමයි හදන්න ඕනෙ” කියලා කියනවා. ෆැරනැක් “එහෙම කොහොමද කරන්නෙ?” කියලා අහන්නෙ නෑ. ඒත් අම්මලගෙන් වෙන්වෙලා එහා කාමරේ නිදියන පුංචි දරුපැටව් ගැන අනුකම්පාව උතුරන බැල්මක් එයාගෙ ඇස්වල පිරෙනවා. “පුතාට දැන් වයස කීයද?” මම නිකමට වගේ අහනවා. “එයාට දැන් දහ අටයි...ගිය මාසෙ වෙනම ගෙදරකට ගියා” කියලා කියනකොට ෆැරනැක්ගෙ ඇස් දුකෙන් පිරෙනවා.

ස්වප්නා එයාගෙ චූටි දුවට අවුරුද්දක් පිරුණාම ඉන්දියාවෙ ඉන්න අම්මා ළඟට හදාගන්න යවනවා. “අම්මා දුවව අපූරුවට බලාගන්නවා...” ස්වප්නා කියනවා. “ඔයාට බබා නැතුව ඉන්න පුළුවන්ද?” මම එහෙම අහන්නෙ නෑ... දවල්ට කැන්ගරුලන්තෙ ළමයි බලාගන්න තැනක තියනවට වැඩිය හැතැප්ම ගානක් එහා ඉන්දියාවෙ දරුවා සන්තෝසෙන් ලොකු වෙනවා කියලා ස්වප්නා විශ්වාස කරනවා. “ඊටත් වැඩිය ඒවයෙ ගන්න සල්ලි...දරුවො දෙන්නෙක් ඉන්න අපිට එච්චර බරක් දරන්න බෑ.” ස්වප්නා ඇත්තම කියනවා. එයාගෙ හීනෙ බි‍ඳෙන කිසිම දෙයක් කවුරුවත් කියන්නෙ නෑ.

“මම අවුරුදු අටක් විතර වෙනකල්ම නිදාගත්තෙ අම්මයි තාත්තයි ගාව...” මම එහෙම කිව්වම හැමෝම හිනාවෙලා මගේ දිහා බලනවා. “ඔයා පවුලෙ තනි ළමයද?” ඇන්තනි හිනාවෙලා අහන කතාවෙ හැංගිච්ච වෙනම අර්ථයක් තියෙනවා. මමත් ‘ඔව්’ කියලා ඒ හිනාවටම එකතුවෙනවා. ඒත් අම්මගෙයි තාත්තගෙයි හිත් ඇතුළෙ මං ගැන කොච්චර ලොකු ආදරයක් තියෙන්න ඇත්ද කියලා මට හිතෙනවා.

දරුවෙක් ලැබෙනවා කියන්නෙ ලෝකෙ තියෙන ලොකුම සතුට. ඒත් ඒ එක්කලා ඒකටම ඇමිණිලා තියෙන්නේ හැම බැඳීමකම වගේ වෙන්වීමේ වේදනාව. කවදා හරි එයාලා අපිව දාලා යනවා. එදාට හැම පෘථග්ජන හිතකම කදුළු මූදක් උපදිනවා. ඊට පස්සෙ එයාලා අපිව බලන්න එනකල් අපි මඟ බලනවා; දින ගණිනවා...හරියටම ඉස්සර අම්මයි තාත්තයි කන්තෝරු අහවර වෙලා එනකල් දරුවො මඟ බැලුවා වගේ. ඒ නිසා මේ කතාවට ‘දරු දුක’ කියලා නම තියනවා කියලා මට හිතෙනවා. 

නව අදහස දක්වන්න