ඌව පළාත් පාසල් පාපන්දු ශූරතා ධර්මදූත හා මීගහකිවුලට | දිනමිණ

ඌව පළාත් පාසල් පාපන්දු ශූරතා ධර්මදූත හා මීගහකිවුලට

බාලක පාපන්දු ශූරතාව දිනාගත් ධර්මදූත ජාතික පාසල් කණ්ඩායම ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. ගුනසේන මහතා සමග ඡායාරූපය - මීගහකිවුල එන්. නවරත්න

අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධාන කරන සමස්ත ලංකා අන්තර් පාසල් ජවන හා පිටිය ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැති ඌව පළාත් අන්තර් පාසල් වයස අවුරුදු 20 න් පහල පාපන්දු තරගාවලියේ බාලක ශූරතා දිනා ගැනීමට බදුල්ල අධ්‍යානපන කලාපයේ බදුල්ල ධර්මදූත විද්‍යාලයීය කණ්ඩායම සමත්වූ අතර බාලිකා ශූරතාව වියලුව අධ්‍යාපන කලාපයට අයත් බ/මීගහකිවුල ජාතික පාසලට හිමි විය.

බාලක අනුශූරතා බදුල්ල අධ්‍යාපන කලාපයට අයත් ඌව මහා විද්‍යාලයීය කණ්ඩායමත්, තෙවැනි ස්ථානය බදුල්ල කලාපයේ බදුල්ල මහා විද්‍යාලය හිමිකර ගත්තේය.

මොනරාගල බිබිල කලාප‍යේ බ/නන්නපුරාව මහා විද්‍යාලයට අනුශූරතාව හිමිවූ අතර තෙවැනි ස්ථානය බිබිල යකුන්නාව මහා විද්‍යාලයට හිමිවිය.

මේ තරගාවලිය පසුගියදා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැති අතර ඒ සඳහා බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්ක දෙකට අයත් අධ්‍යාපන කලාප මට්ටමේ තරගවලින් ජය ලැබූ බාලක/බාලිකා පාසල් කණ්ඩායම් 9ක් බැගින් සහභාගි වූහ.

ජයග්‍රාහී බදුල්ල ධර්මදූත විද්‍යාලයීය කණ්ඩායම අජිත් විදානගේ, පූජිත පීලිපොත සහ සුහර්ෂ සාරංග පරකැටවෙල යන මහත්වරුන් විසින් පුහුණු කළහ.

බාලිකා ශූරතාව දිනූ මීගහකිවුල ජාතික පාසල් කණ්ඩායම ක්‍රීඩා විෂය භාර මේනකා දිසානායක මහත්මිය විසින් පුහුණු කළාය.

මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. ගුනසේන මහතා සහභාගි විය.

මේ අතර ඌව පළාත් අන්තර් පාසල් මලල ක්‍රීඩා උළෙල ඊයේ (27) බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර තරගාවලිය මේ මස 30දා දක්වා පැවැත්වේ.

මේ සඳහා කලාප මට්ටමේ තරගවලින් ජයග්‍රහණ හිමිකරගත් බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3000 කට ආසන්න පිරිසක් සහභාගී වන අතර ඉසව් 214 ක් යටතේ තරග පැවැත්වෙන බව ඌව පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ ඩබ්ලිව්. එම්. ගුණසේන මහතා පැවැසීය.

මීගහකිවුල එන්. නවරත්න

නව අදහස දක්වන්න