සිම්බාබ්වේ තරගාවලියේ පළමු තරග 2කින් චන්දිමාල් හැලේ | දිනමිණ

සිම්බාබ්වේ තරගාවලියේ පළමු තරග 2කින් චන්දිමාල් හැලේ

ෆවුස් මොහොමඩ්

19 හැවිරිදි වනිඳු හසරංගට එක්දින තරග වරම්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අනිද්දා (30) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන හීරෝ කුසලාන එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවීණ පිතිකරු දිනේෂ් චන්දිමාල් ඇතුළත්වී නොමැත. එමෙන්ම චැම්පියන්ස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලේ අවසන් තරගය වූ පාකිස්තානයට එරෙහිව පැවති තරගයට ක්‍රීඩා කළ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාට ද මෙවර කණ්ඩායමේ ස්ථානයක් හිමිවී නොමැත.

මේ තරගාවලියේදී යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනකුට අවස්ථාව ලබා දීමට අවධානය යොමුවූ බවත්, කණ්ඩායම නම් කර ඇත්තේ පළමු තරග 2කට පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු හා තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ මහතා සිම්බාබ්වේ පිලේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරය පිළිබඳ ඊයේ පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. ඉතිරි තරග සඳහා කණ්ඩායම නම් කිරීමේදී චන්දිමාල් පිළිබඳ සළකා බලන බව ද ගුරුසිංහ මහතා සඳහන් කළේය.

එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්වී ඇත්තේ ක්‍රීඩකයන් 13 දෙනකු පමණි. මේ තරගාවලිය සදහා නම් කෙරෙන්නේ ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් බවත්, අවසන් ක්‍රීඩකයා අද (28) නම් කරන බවත් අසංක ගුරුසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

සිම්බාබ්වේ පිලට එරෙහි පළමු එක්දින තරග 2 සඳහා නම් කළ ශ්‍රී ලංකා කණ්ඩයාමට 19 හැවිරිදි යොවුන් ක්‍රීඩක රිච්මන්ඩ් විදුහලේ වනිඳු හසරංග ඇතුළත්වී සිටීම කැපී පෙනේ. පිතිකරුවකු මෙන්ම පාදඟපන්දු යවන්නකු ලෙසත් පාසල් තරග බිමේ විශිෂ්ට දස්කම් පෑ වනිඳු හසරංග ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කළේය. මීට අමතරව ආබාධයක් හේතුවෙන් පසුගිය කාලයේ කණ්ඩායමට ඇතුළත් නොවූ වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර, දඟපන්දු යවන අකිල ධනංජය සහ වේගපන්දු යවන ක්‍රීඩක ළහිරු මධුසංඛ මෙවර කණ්ඩායමට එක්වී සිටිති.

මේ අතර පසුගියදා එංගලන්තයේ දී නිමාවට පත්වූ චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල දැක්වූ අසාර්ථකත්වය විවේචනයට ලක් කරමින් ක්‍රීඩකයන්ගේ ශාරිරික යෝග්‍යතාව පිළිබඳ ප්‍රශ්න කළ ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් මේ තරගාවලියට නම් කළ කණ්ඩායමට අනුමැතිය ලබාගැනීමට පෙර ක්‍රීඩකයන්ගේ ශාරිරික ‍යෝග්‍යතාව පිළිබඳ විශේෂ හැඳින්වීමක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවී තිබිණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයන්ගේ ශාරිරික ‍යෝග්‍යතාව පිළිබඳ විශේෂ වැඩසටහන් ඉදිරියේදී පැවැත්වෙන බව අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර අමාත්‍යවරයා මේ හැඳින්වීමෙන් සෑහීමකට පත්වූ බව ගුරුසිංහ මහතා පැවැසීය.

එවකට මෙරට පැවැති ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් වසර 1996 දී ශ්‍රී ලංකාව ද සත්කාරකත්වය දැරූ එක්දින ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කළ ද, කෙන්යානු කණ්ඩායම සමග සිම්බාබ්වේ පිල මෙරට පැමිණ තරගවලට සහභාගිවූ බව සිහිපත් කරමින් මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඒ සම්බන්ධව සිම්බාබ්වේ පිල ඇගැයීමට ලක් කිරිමට අමතක නොකළේය.

පළමු එක්දින තරග 2 සඳහා තමාට ලබා දී ඇති කණ්ඩායම ගැන සෑහීමකට පත්වන බව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් සඳහන් කළේය.

පළාත් තරගාවලියේදී ඉතා හොඳින් දස්කම් පෑ වනිඳු හසරංග නායක මැතිව්ස‍්ගේ විශේෂ ඇගැයීමකට ලක්විය.

ඊයේ පැවැති මාධ්‍ය හමුවට සිම්බාබ්වේ පි‍ලේ නායක ග්‍රෙහැම් ක්‍රීමර් සහභාගි නොවූ අතර ඔහු සෙසු ක්‍රීඩකයන් සමග ගාල්ල ක්‍රීඩාංගණයේ පුහුණුවීම් සඳහා පිටත්ව ගොස් සිටියේය.

සිම්බාබ්වේ ක්‍රිකට් පිලක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නේ වසර 16කට පසුවය. ඊට පෙර අවසන් වරට 2001/2002 තරගවාරයේ ශ්‍රී ලංකාවට පැමිණි සිම්බාබ්වේ පිල එහිදී තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව 3-0කින් ශ්‍රී ලංකාවට පරාජය විය.

ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පිලේ තාවකාලික පුහුණුකරු නික් පෝතාස්, සිම්බාබ්වේ පිලේ පුහුණුකරු හීත් ස්ට්‍රික් සහ කළමනාකරු ක්‍රිස්ටීන් චිකේටා ද අදහස් පළ කළහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති කේ. මතිවානන් මහතා ද මාධ්‍ය හමුවට පැමිණ සිටියේය.

සිම්බාබ්වේ පිලට එරෙහි පළමු තරග 2කට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය - ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග (උපනායක), නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ළහිරු මධුසංඛ, ලසිත් මාලිංග.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්, පුහුණුකරු නික් පෝතාස්, සිම්බාබ්වේ පිලේ පුහුණුකරු හිත් ස්ට්‍රික් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා එක්දින තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන හීරෝ කුසලානය සමග.

ඡායාරූපය - රංජිත් අසංක 

නව අදහස දක්වන්න