වටවල ප්‍රාදේශීය රෝහලේ නේවාසික රෝගීන් කුසගින්නේ | දිනමිණ

වටවල ප්‍රාදේශීය රෝහලේ නේවාසික රෝගීන් කුසගින්නේ

වටවල රෝහලේ නේවාසික රෝගීන් අදහස් දක්වන අයුරු ඡායාරූපවලින් දැක්වේ.

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය කෙරෙන වටවල ප්‍රාදේශීය රෝහලේ නේවාසික රෝගීන් සඳහා දෛනිකව සැපයෙන ආහාර වේල් සති දෙකක පමණ කාලයක් තිස්සේ නොලැබීම නිසා එම රෝගීහූ දැඩි ලෙස අසරණව සිටිති.

වටවල රෝහලේ පිරිමි හා ගැහැණු වාට්ටු දෙකකි. සති දෙකක පමණ කාලයක් තමන්ට රෝහලෙන් ලබා දෙන ආහාර වේල් නොලැබීම නිසා තමන් මහත් අපහසුතාවට පත්ව සිටින බවත්, තම ඥාතීන්ට කෑම රැගෙන දවසේ තුන්වේලම පැමිණිය නොහැකි නිසා ආහාර නොලැබුණු අවස්ථාවල තමන් කුසගින්නේ සිට උණු ජලය පමණක් පානය කරන බවත් රෝගීහු පවසති. නේවාසික රෝගීන් ආහාර නොමැතිව අපහසුතාවට පත්ව සිටින ඇතැම් අවස්ථාවල රෝහල් කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පෞද්ගලික වියදමින් රෝගීන්ට ආහාර පාන ලබාදෙන බව මෙම රෝහලේ නේවාසික රෝගීහූ කෘතගුණශීලීව අප සමග පැවසූහ.

ප්‍රධාන වෛද්‍ය නිලධාරි සනත් පෙරේරා මහතා - රෝහලේ නේවාසික රෝගීන් සඳහා දෛනිකව ආහාර සැපයීම සිදුකරන කොන්ත්‍රාත්කරුට අදාළ ගෙවීම් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් සිදු කර නෑ. ඒ නිසා කොන්ත්‍රාත්කරු ආහාර සැපයීම නවත්වා දැමුවා. මේ තත්ත්වය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.

මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාරවංශ මහතා - වටවල ප්‍රාදේශිය රෝහලේ නේවාක රෝගීන්ට දෛනිකව ආහාර සපයන කොන්ත්‍රාත්කරු නුවරඑළිය දිස්ත්‍රික්කයේ තවත් රෝහල් කීපයක නේවාසික රෝගීන් සඳහා ආහාර සැපයීම් සිදුකරනවා. ඔහුගේ ආහාර සැපයිම සම්බන්ධව පැවති ගැටලු නිසා පරීක්ෂණයක් පවත්වා මේ වන විට එය අවසන්වී ඇති හෙයින් කොන්ත්‍රාත්කරුගේ ගෙවීම් සිදුකරන ලෙස පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණකාධිකාරිවරයාට දැනුම් දී තිබෙනවා.

වටවල ප්‍රාදේශීය රෝහලෙන් දෛනිකව ප්‍රථිකාර ගැනීමට පැමිණ නේවාසිකව සිටින බහුතරයක් රෝගීන් වතු කම්කරු හා දුගී ගැමි ප්‍රජාව වෙති. රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබා ගැනීමට පැමිණි අහිංසක රෝගීහූ වේල් කීපයක් කුසගින්නේ සිටීමෙන් ඔවුන් පත්ව සිටින දැඩි අපහසුතාවය සම්බන්ධව වගකිවයුත්තන් කවුරුන්ද කියා ප්‍රදේශයේ පොදු ජනතාව මධ්‍යම පළාත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටිති.

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ හැටන් සමූහ චන්දන ජයවීර

නව අදහස දක්වන්න