සයිටම් කිසිසේත් ජනසතු කරන්ෙන් නෑ | දිනමිණ

සයිටම් කිසිසේත් ජනසතු කරන්ෙන් නෑ

බුද්ධිකා ඉඹුලාන, සිතාරා සේනානි,

සයිටම් ආයතනය කිසිසේත් ජනසතු නොකෙරෙනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. එසේම එම ආයතනය ජනසතු කිරීම සම්බන්ධයෙන් පෙරේදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා නොවූ බවද ඇමැතිවරයා සඳහන් කරයි. සයිටම් සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමිතිගත කිරීමේ යෝජනා වෛද්‍ය සභාව විසින් තමා වෙත භාර දීමට නියමිතව තිබූ දිනයේ උද්ඝෝෂකයන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී විශාල කලබලයක් සිදුකිරීම නිසා අදාළ යෝජනා තමා වෙත ලබා දීම වැළකී ගිය බවත් ඇමැතිවරයා කියයි. ‍කෙසේ වෙතත් මෙම ප්‍රමිතීන් ගැසට් කිරීමට තමා කටයුතු කරන බවත් ඇමැතිවරයා පවසයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවැසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. සයිටම් ජනසතු කළ යුතු බවට චම්පික රණවක සහ දයාසිරි ජයසේකර වැනි ඇමැතිවරුන් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසුවේ කැබිනට් මණ්ඩලයේදී කිසිදු ඇමැතිවරයකු මේ සම්බන්ධයෙන් කිසිවක් සඳහන් නොකළ බවයි. සයිටම් ගැටලුවට විසඳුම් ලබා ගැනීමේදී වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ රජය කිසිසේත් සාකච්ඡා නොකළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ අධ්‍යාපනඥයන්, පීඨාධිපතිවරුන් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමඟ පමණක් බවත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කළ බවත් ඇමැතිවරයා මෙහිදී සිහිපත් කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසීම නිල මට්ටමින් සිදුවූවක් නොවන බව කී ඇමැතිවරයා, එය නිල සාකච්ඡාවක් වූයේ නම් ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නම සඳහන්වී තිබිය යුතු බවද, එහෙත් එම නිවේදනයේ කිසිදු තැනක එම සංගමයේ නම සඳහන්ව නොතිබූ බවද ඇමැතිවරයා කීය.

ජනාධිපති ලේකම්වරයාගේ නිවේදනය වෙනස් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානීන් පවසන්නේ සාමාජිකත්වයට මුහුණ දීමට ඇති නොහැකියාව නිසා බවයි. 

නව අදහස දක්වන්න