දකුණු කොරියාවෙන් මෙරටට සුභ ආරංචියක් | දිනමිණ

දකුණු කොරියාවෙන් මෙරටට සුභ ආරංචියක්

ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ රැකියා අවස්ථා තවදුරටත් ඉහළ නැංවීම පිළිබඳ දැඩි ඕනෑකමකින් සොයාබලන බව දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපති Prof. Park Young-bum මහතා පවසයි.

මෙරටට පැමිණ සිටින දකුණු කොරියාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සභාපතිවරයා ඊයේ (28) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදී මේ බව ප‍්‍රකාශ කළේය.

ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් සඳහා දකුණු කොරියාවේ ධීවර හා කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා රැසක් මේ වන විට උදාකරදී තිබෙන අතර ඒ පිළිබඳ එරට රජය වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපතිතුමා ඉදිරියේදී කෘෂි ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳ සොයා බලන ලෙසද සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

දැනට ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් 6000 ක් පමණ වාර්ෂිකව දකුණු කොරියාවේ රැකියා අවස්ථා සඳහා පිටත්ව යන අතර මේ වන විට ශී‍්‍ර ලාංකිකයින් 26,000 ක් පමණ එහි සේවයේ නිරතව සිටී.

දකුණු කොරියාවේ ගොඩනැගිල්ලක පසුගියදා සිදුවූ ගිනි ගැනීමකදී ශී‍්‍ර ලාංකික තරුණයෙකු තම ජීවිතය පරදුවට තබමින් කොරියානු කාන්තාවකගේ දිවි ගලවා ගැනීමේ සිදුවීම ද මෙහිදී සිහිපත් කළ සභාපතිවරයා ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ගේ දක්ෂතා සහ හැකියාවන් පිළිබඳ දකුණු කොරියාවේ ව්‍යාපාරික ප‍්‍රජාව මෙන්ම ජනතාව ද දැඩි ප‍්‍රසාදයකින් සහ විශ්වාසයකින් කටයුතු කරන බව සඳහන් කළේය.

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය , ශී‍්‍ර ලංකාවේ දකුණු කොරියානු තානාපති Won-Sam Chang යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න