ඈවර කිරී­මට තිබූ ලුණු සංස්ථාව ලාභ පිට ලාභ ලබයි | දිනමිණ

ඈවර කිරී­මට තිබූ ලුණු සංස්ථාව ලාභ පිට ලාභ ලබයි

l කෝටි 33 ½ ක ණය ගෙවා අවසන්

l 2016 දී රජයට මිලියන 465ක් ගෙවලා

l මිලියන 500ක ස්ථාවර තැන්පතුවක්

 

ශ්‍රී ලංකාවට අවශ්‍ය ලුණු මෙරට තුළම නිෂ්පාදනය කිරීමට හම්බන්තොට ලක්ලුණු සමාගමේ සැලසුම් අනුව කොහොළන්කල නව වාෂ්පීකරණ තටාකාංගණයේ වැඩ කටයුතු පසුගිය 24 වැනි දා සුබ මොහොතින් ආරම්භ කැරිණි.

දැනට හම්බන්තොට ලක්ලුණු සමාගම - ලුණු මෙට්‍රික් ටොන් 60,000ක් වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන අතර, 2018 වන විට එම ප්‍රමාණය මෙට්‍රික්ටොන් 80,000 දක්වා වැඩි කිරීමට හැකි වන බව ලක්ලුණු සමාගමේ නියෝජ්‍ය සභාපති විධායක අධ්‍යක්ෂ කීර්ති මුණසිංහ මහතා ප්‍රකාශ කළේය.

හම්බන්තොට ලක්ලුණු සමාගමේ කළමනාකාරීත්වය 2015 බාර ගැනීමෙන් පසු පලටුපාන ලුණු ලේවාය සංවර්ධනය කර නිෂ්පාදනයට යොදවා ඇති බව ද ප්‍රකාශ කළ නියෝජ්‍ය සභාපති කීර්ති මුණසිංහ සියයට එකක්වත් (1%ක්) වැලි නොමැති ලුණු නිපදවීමට සැලසුම් කර ඇති බව ද සඳහන් කළේය.

වර්තමානයේ ආනයනය කරනු ලබන ලුණු අතර වැලි රහිත ලුණු ඉහළ ප්‍රමාණයක් ගන්නා බව ද, වැලි සියයට එකක්වත් නැති ලුණු නිෂ්පාදනය කිරීමෙන් විදේශ විනිමය ඉතිරි කර ගත හැකි බව ද පැවැසීය.

2015 ආයතනය බාර ගන්නා විට තිබූ කෝටි 33 ½ ක ණය මුදල ගෙවා දැමීමට හැකි වූ බව ද, 2016 දී රජයට රුපියල් මිලියන 465ක් ගෙවූ බව ද ආයතන පරිශ්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ විය.

කොටස් හිමියන්ට රුපියල් මිලියන 180ක ලාභාංශ ගෙවා ඇත. රුපියල් මිලියන 500ක ස්ථාවර තැන්පතුවක් ද සමාගම සතුව ඇති බව මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ විය. 

නව අදහස දක්වන්න