ඕකිඩ් වගේ ම කොච්චි හොඳ ආදා­යම් මාර්ග­යක් | දිනමිණ

ඕකිඩ් වගේ ම කොච්චි හොඳ ආදා­යම් මාර්ග­යක්

සුනිල් අල්විස්
ඉරෝ­ෂිණී දීපිකා
 
 
ගුරු වෘත්තියට සමු දුන් ඔහු, අපනයන සංවර්ධන මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයකු ලෙස වසර 17ක් සේවය කළේය. ඒ අනුව ඔහු රත්කෙහෙල්, එනසාල් සහ ගම්මිරිස් වගාව ආශ්‍රිත පටක රෝපණ කාර්යයේ නිරත විය. එහෙත්, පසු කලෙක සේවයෙන් ඉවත් වූ ඔහු, තමා දන්නා තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඕකිඩ් වගාවට යොමු විය. අනතුරුව දේශීය සහ විදේශීය ඕකිඩ් ප්‍රභේධ යොදා ගනිමින් ශ්‍රී ලංකාවට උචිත, කල් පවතතින ඕකිඩ් විශේෂයක් නිෂ්පාදනය කළ ඔහු, මේ වනවිට ඕකිඩ් වගාව පිළිබඳ නොමිලේ උපදෙස් සපයමින්, මෙරට ජනයාගේ ආර්ථිකයට ශක්තිමත් අත්වැලක් ලබා දෙමින් සිටී. මීට අමතරව, කොච්චි අපනයන වගාවට ද සම්බන්ධව සිටින ඔහු, ඒ සඳහා ද මෙරට ජනයාට සහය දීමට අපේක්ෂාවෙන් සිටී. ඔහු නමින් සුනිල් අල්විස් ය.

ඕකිඩ් වගාවට යොමු වීමේ වැදගත්කම ඔබ දකින්නේ කොහොමද? 

මේ වගේ පැළ වගාවක් ආරම්භ කළා කියලා කාටවත් අයහපතක් වෙන්නේ නෑ. ඕකිඩ් වගාව කියන්නේ සතුටෙින් මුදල් උපයන්න හොඳ ම මඟක්. මේ හරහා කෙටි කාලයකින් මුදල් ඉපැයීමේ හැකියාව තිබෙනවා. අවශ්‍ය වෙන්නේ වුවමනාව සහ ඒ කෙරෙහි යම් තරමකින් කැපවීමේ හැකියාවයි.රැකියාවක් නොකරන කෙනකුට වගේ ම,රැකියාවක් කරන කෙනකුට අමතර ආදායමක් ලබා ගන්න මේ වගාව මඟින් හැකියාව තියෙනවා. මේ වගාවට යොමු වුණොත්,කෙටි කාලයකින් මුදල් උපයන්න පුළුවන්.

ශ්‍රී ලංකාව තුළ ඕකිඩ් වගාව මහාපරිමාණයෙන් කරන කෙනකුට, අවැසි පැළ ලබා ගැනීමට නිසි ස්ථානයක් මේ වනවිට සැකසී තිබෙනවද?

ඒ සඳහා තවම ස්ථානයක් නෑ. පේරාදෙණිය මල් වත්තෙන් ඕකිඩ් පැළ සුළු ප්‍රමාණයක් ගන්න පුළුවන්.

කැපූ මල් වගාව සඳහා යොමු වන කෙනෙක්ට, වගා කරන්න සුදුසු ම ඕකිඩ් වර්ග මොනවද?

ඒ සඳහා ඕකිඩ්වලින් හොඳ ම වර්ගය වෙන්නේ ඩෙන්ඩ්‍රෝබියම්. පැලනොප්සිස්, කැට්ලියා වගේ ඒවයේ පැළ ලබා ගැනීමේ හැකියාව අඩුයි.

විදේශ රටවලින් ආනයනය කරන ඕකිඩ් වර්ග සඳහා අපේ රට තුළ වැඩි ඉල්ලුමක් තියෙනවා.ඒවායේ ගුණාත්මක බව පිළිබඳ ඔබේ ඇගැයීම කොහොමද?

 

ඒවායේ මල්වල වර්ණය හොඳයි. කිනිත්තක හැදෙන මල්වල ප්‍රමාණය හොඳයි.ඒ වගේ ම ආකර්ෂණීයයි. ඒ නිසා ම අපේ රටේ බොහෝදෙනා ඒ මල්වලට ලොල් වෙනවා. මේ වගේ ආකර්ෂණීය ලක්ෂණ බොහොමයක් තිබුණත්,අපේ දේශගුණයට ඒ ශාක ඔරොත්තු දෙනවා අඩුයි. ඒ නිසා, ඒ ශාකයක්, අවුරුද්දකට දෙකකට වැඩිය තියා ගන්න බැහැ. කාලයක් තිබුණහම පැළේ බාල වෙලා, විනාශවෙලා යනවා. මාස හයක්, සමහරවිට අවුරුද්දක් යනකොට මැරෙන අවස්ථාත් තියෙනවා. ඒ නිසා ම තමයි අපේ අයට, උඩවැඩියා මල් සඳහා වෙළෙඳ පොළ රැඳිලා තියෙන්නේ. මේ නිසා, පාරිභෝගිකයො මල් පැළ අරන් යනවා. ඒක වවා ගන්න ක්‍රමය දන්නේ නැතිව ඒ පැළ මරා ගන්නවා. ආයෙ දකිනකොට කොහෙන් හරි පැළ අරගෙන යනවා. මෙය චක්‍රයක් විදිහට තමයි සිදු වෙන්නේ.

ඔබ, අපේ රටේ දේශගුණයට ගැළපෙන ඕකිඩ් ප්‍රභේධයක් හඳුන්වා දී තිබෙනවා.මේ පිළිබඳ කතා කළොත්?

මම කළේ විදේශයෙන් ගෙන්වන මල් පැළ සහ අපේ රටේ හැදෙන ඕකිඩ් පැළ එක් කරලා මේ දෙක අතර මල් පැළයක් සැකසීමයි. ඒක, අපේ රටේ දේශගුණයට ඔරොත්තු දෙන, අපට ගැළපෙන පැළයක්. ඒ මඟින් ඉතා ම උසස් තත්ත්වයේ නීරෝගී මල් පැළ සකස් කරන්න පුළුවන්.

මෙවැනි පැළ සැකසීම මඟින් මුඛ්‍ය වශයෙන් ම ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

බොහෝදෙනා ඕකිඩ් පැළ ආනයනය කිරීම සඳහා විශාල වශයෙන් අපේ රටේ මුදල් වැය කරනවා. පැළ විශාල වශයෙන් නිෂ්පාදනය කරලා, එම අවශ්‍යතාව ඉටු කිරීම මඟින් අපේ රටේ මුදල් පිට රටවලට ඇදී යන එක නැවැත්වීම මගේ මුඛ්‍ය පරමාර්ථයයි.ඒ දේ මේ වනවිට මං සාර්ථක අයුරින් කරගෙන යනවා. මගේ මල් පැළ සදහා ඉල්ලුම්කරුවන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේ ම, ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාර තිබෙනවා.

ඔබ, ඕකිඩ් පැළ නිෂ්පාදනය කරන්නේ කොහොමද?

බීජ රෝපණය කියන්නේ පටක රෝපණයේ එක් අවස්ථාවක්. මං පැළ නිපදවීමේදී බීජ රෝපණය මඟින් පැළ බොහෝ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. පටක රෝපණය මඟින් පැළ නිෂ්පාදනය කිරීමත් මං දැන් ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදි ඒ පැළ විකිණීමට බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ මඟින් පැළ නිපදවීම සඳහා රසායන ද්‍රව්‍යවලට වැඩි මුදලක් වැය වන නිසා, ඒ පැළයක් බීජ රෝපණ පැළයකට වඩා මිල වැඩි වෙන්න ‍පුළුවන්.ඒත්, මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ම බීජ රෝපණ පැළ අඩු මිලට දෙන්න මට හැකිවී තිබෙනවා. දැනට මගේ නිවෙසට ඇවිත් ඕනැම කෙනකුට පැළ බලලා, තමන්ට කැමැති ආකාරයට පැළ ලබා ගන්න පුළුවන්.

තමන්ට මේ වගාව පිළිබඳ හැදෑරීමක් ලබා ගැනීමට නොහැකි වීම,මේ වගාවට ප්‍රවිශ්ට වන කෙනකුට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක්. ඒ වගේ අයට ඔබ දැනුම්වත් කිරීම සිදු කරනවද?

මං මේ වගාව පිළිබඳ බොහෝ දෙනෙක්ට නොමිලේම කියාදී තිබෙනවා. අලුතෙන්ම වගාවක් කරන්න බලාපොරාත්තු වන කෙනකුට, මේ වගාව කරන ආකාරය මුල ඉඳන් අගටම නොමිලේම කියා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. කෙටි කාලයක් ඇතුළත ආදායම් ලබා ගන්න මඟ මං කියලා දෙනවා.

වගාවක් ආරම්භ කරන කෙනකුට, ඔබෙන් පැළ ඕනෑම ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්ද?

මම වගාකරුවන් වෙනුවෙන් පැකේජ හඳුන්වා දී තිබෙනවා. අලුතෙන් ම ආරම්භ කරන කෙනකුට, රු.25,000 පැකේජය ලබා ගන්න පුළුවන්. ඒ සඳහා,සෙ.මී.5 පෝච්චිවල පැළ කළ පැළ 500ක් දෙනවා. ඊට අමතරව, පූර්ණ සූර්යාලෝකය වැටෙන තැනක 50% සෙවණක් ලැබදෙන ආකාරයට සකසා ගත හැකි , පොළොව මට්ටමේ සිට අඩි 09ක් දිගට ඇදෙන ආකාරයට වර්ග මීටර 12ක අවිධිමත් සෙවණ දැලක් දෙනවා. NPK 20:20:20: NPK 30:10:10 NPK 10:52:10 ඇල්බට් සොලියුෂන් සහ ක්‍රොප්මාස්ටර් යන පොහොර වර්ග පහ දෙනවා. ඒවා මාස තුනකට ප්‍රමාණවත්. ඊට අමතරව, මැන්කොසෙට් හෝ කැප්ටාන් කියන දිලීර නාශක දෙක ලබා දෙනවා.මෙගා බෝතලයකට සවි කළ හැකි ස්ප්‍රේ යන්ත්‍රයක් මීට ඇතුළත්.

මේ ආකාරයට අවිධිමත් සෙවණ දැලක් යටතේ සකසන වගාවක් කරන කෙනකුට,මාස තුනක් යනවිට පැළයක් රු.100ක් වටිනවා. ඒ කියන්නේ ඒ වනවිට වටිනාකම රු.50,000ක් කියන එකයි. ඒ වනවිට පැළයක් රු.100කට විකුණන්න පුළුවන්. එය තවදුරටත් තබා ගන්නවා නම්, මේ පෝච්චිය වෙන එකකට මාරු කරන්න වෙනවා. ඒ පෝච්චිය රු.7.50ක් වෙනවා. මාධ්‍ය සඳහා පොල් ලෙලි හෝ අඟුරු යොදනවා. මාස හයක් වනවිට මේ පැළයක් රු.250ක් වටිනවා. කෙටිකාලීනව ආයෝජනය කළොත්,ලාභ ලබන්න පුළුවන් කියන එක ඒ මඟින් ම පෙනෙනවා. නෙට් හවුස් එකක් හදන්නේ නැතිව, අවිධිමත් ආකාරයට මේ වගේ හොඳ ආදායමක් ලබන්න පුළුවන් .ඒ වගේ කෙටිකාලීන ආයෝජනයක් කරන කෙනෙක්ට, මෙය හොඳ ව්‍යාපාරයක්. හොඳ ආදායම් මාර්ගයක්.

මේ ආකාරයකට පැළ සකසන කෙනෙක්ගේ පැළ ඔබ ලබා ගන්නවද?

මං කරන්නේ වගා කටයුතු සඳහා සහය දීමයි. වගාකරුවන්ටම අලෙවිසැල හොයාගන්න පුළුවන්.මල් කිණිත්තක් සහිත පැළයක් එයාලටම විකුණ ගන්න පුළුවන්. නැත්නම්, රු.100 දක්වා වටිනාකම සහිත පැළගැනුම්කරුවන්ට ලබා දෙනවා. ඒ සඳහා ගැනුම්කරුවන් ඕන තරම් ඉන්නවා. ඒ වගේ ම, මල් වගාකරුවන්ට තමන් කැමැති කෙනකුට මල් ලබා දීලා, මුදල් ලබා ගන්න පුළුවන්. මගේ රු.25,000 පැකේජ ගත්ත අය 35 දෙනෙක් දැනට ඉන්නවා. ඒ කවුරුවත් රු.100 මට්ටමේදී පැළ විකුණුවෙ නෑ. රු.250 මට්ටමේදී පැළ විකුණන අය ඉන්නවා. ඒත්, සමහරු කැපුම් මල් සඳහා වගා කරනවා.

කැපූ මල් වෙළෙඳ පොළත් තමන්ම හොයා ගන්න ඕනැද?

දැනට කැපුම් මල් විකිණීමේදී මල් කුඩා ප්‍රමාණයක් ගෙන ගියොත්, මලක් රු.5ට 6ට ගන්නේ. මල් 1000ක් 2000ක් ගෙන ගියොත්, රු.10ට විතර විකුණ ගන්න පුළුවන්. වර්තමානයේ මං දුන්න පැළවල මල් එකතු කරලා, ලොකු ගැනුම්කරුවකුට දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙම කළොත් හොඳ මිලකට දෙන්න පුළුවන්.

එහෙම කරන්නේ අපේක්ෂා කරන්නේ අපනයනය සඳහාද? නැත්නම් දේශීය වශයෙන් විකිණීමටද?

දේශීයව විකුණන්න. අපනයනය සඳහා ලක්මල්සලට දෙන්න පුළුවන්. එහි ලියාපදිංචිවෙලා, අපනයනය සඳහා තිබෙන ප්‍රමිති අනුගමනය කරලා විකුණන්න පුළුවන්. උදාහරණ වශයෙන් මල් කිණිත්තක මල් 10ක් තිබෙනවා නම්, අපනයන මට්ටමේදී මල් හතක් පිපිලා, මල් තුනක් පොහොට්ටු වශයෙන් තියෙන්න ඕනෑ.මල් කලඹ, මල් වඩම්, මල් සැරසිලි සඳහා ශ්‍රී ලංකාව තුළත් ඕකිඩ් මල් විශාල වශයෙන් යොදා ගැනෙනවා. ඒ සඳහා අපේ රටේ තිබෙන ඕකිඩ් මල් ප්‍රමාණවත් නෑ. ඒ නිසා, අපේ මල් අලෙවි කර ගන්න අපි පාර හදාගන්න ඕනෑ. ඒ සඳහා අප ඉදිරියේදී මල් සමිතියක් සැකසීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඕකිඩ් සිටුවීමේ මාධ්‍ය තමන්ම සකසා ගත යුතුද?

පළමු මාස තුනේදී හලාගත් කෙහුබත් සමඟ චිප් ගල් යොදනවා. ඊ ළඟට හොඳ ම සහ සුදුසුම මාධ්‍ය අඟුරු. ඒත් අඟුරු නැති නිසා, ඒ සමඟ පොල් ලෙලි යොදා ගන්නවා.අඟුරු ගන්න නැත්නම්, තද ලීය සහිත දර අරගෙන අඟුරු හදාගන්න පුළුවන්. පොල්ලෙලි කාලයක් තියෙනකොට ජලය රැඳිලා, දිලීර එන්න පුළුවන්. ඒ වගේ ම ක්ලෝරීන් ජලය යොදනවා නම්, පැය 24ක් කට ආවරණය වූ භාජනයක නිරාවරණය කරලා තියලයි දාන්න ඕනෙ. නැත්නම්, අපි දාන පෝර ගසට උරා ගන්න බැරි වෙනවා.

ඔබ ඕකිඩ් පැළ අපනයනය කරනවද?

අපනයනය කරන්න පුළුවන්. ඒත් දැනට ඒ සඳහා පැළ ප්‍රමාණවත් තරම් නැහැ.

ඒ සඳහා වගාකරුවන්ට එක්වී කටයුතු කරන්න බැරිද?

එහිදී පටක රෝපණය සඳහා විද්‍යාගාරයක් තිබිය යුතුයි. ඒකට ලක්ෂ 60ක් වැය වෙනවා. ඉඩ ප්‍රමාණය වැඩියෙන් තියෙන්න ඕනෙ. එහෙම හැකියාවක් තිබේනම්, මාස හයක් ඇතුළත මට අපනයන තත්ත්වයට පැළ සකසන්න පුළුවන්. එහෙම කරනවානම් රජයේ ආයතනයකින් හෝ වෙනයම් ක්‍රමයකින් අනුග්‍රහය ලැබිය යුතුයි.

මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ඕකිඩ් පැළ අපනයනය කරන්නේ නැද්ද?

තවම කවුරුත් කරන්නේ නෑ. විසිතුරු පැළ නම් අපනයනය කරනවා. ඒකට හේතුව තායිලන්තයෙන් ලාබෙට මල් පැළ ආනයනය කරන්න පුළුවන් වීමයි. ඒත් ඒ ශාක බොහෝ කාලයක් තියා ගන්න බැහැ. මම හැදූ ඕකිඩ් අපේ රටට උචිත වගේ ම කල් පවතිනවා. ආනයනික ඕකිඩ් මල්වල සහ අපේ මල්වල වෙනස ඕන කෙනකුට දැකබලා ගන්න පුළුවන්.

මේ වගේ වගාවකට කාන්තාවක් යොමු වීමේ වැදගත්කම ඔබ දකින්නේ කොහොමද?

මේ සඳහා පූර්ණකාලීනව යොමු වීමේ අවශ්‍යතාවක් නෑ. රැකියාවක නිරත කෙනෙක්ට අර්ධකාලීනව මේ දේ කරන්න පුළුවන්. කාන්තාවන්ට බොහොම ලේසියෙන් ගෙදර ඉඳන්ම ආදායම් උපයන්න හොඳ ම ක්‍රමයක් විදිහට ඕකිඩ් වගාව හඳුන්වන්න පුළුවන්.

මේ වගාව සඳහා දිනකට කොපමණ කාලයක් වැය කළ යුතුද?

පැළ 500ක් තිබෙන කෙනෙක්, මේ සඳහා දවසකට උපරිමයෙන් පැයක් වැය කළානම් ඇති. පැළ 500කටත්, ඊට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කළත් යෙදවුම, මහන්සිය එකයි.

ඔබ ඕකිඩ් පැළ ලබා දෙන්නේ අඩු මුදලකට. එහෙම කරන්න හේතුව මොකක්ද?

මට අවශ්‍ය, පුළුවන් තරම් පිරිස මේ වගාව සඳහා එක්කාසු කර ගැනීමට මිසක්, මේ වගාව කරන හැටි උගන්නලා හෝ පැළ විකුණලා හෝ මුදල් හම්බ කරන්න නෙමෙයි. මේ වගාව අද ආරම්භ කරලා හෙට නවත්වන්න කරන දෙයක් නෙමෙයි. ඒ නිසා අතේ තියෙන මුදලට ඕනම කෙනෙක්ට මේ වගාවේ යෙදෙන්න පුළුවන්. මම ඕකිඩ් වගාවට විතරක් යොමු වුණු කෙනෙක් නෙමෙයි. මං මාලදිවයිනේ විවිධ ව්‍යාපෘති ගණනාවක්ම කර තිබෙනවා. ලෝකෙ බොහෝ රටවල එළවළු හා පලතුරු වගා සඳහා උපදෙස් දී තිබෙනවා. ශ්‍රී ලංකාවෙත් දැනට දීප ව්‍යාප්තව ජලසම්පාදන ක්‍රම 4000ක් පමණ කර තිබෙනවා. ඊට අමතරව ගෙවතු අලංකරණ කටයුතු කරනවා. මේ වගාවට අමතරව ශ්‍රී ලංකාවේ වගා කළ හැකි එළවළු හෝ පලතුරු වගා කරන විදිහ ඇහුවොත්, ඕනෑම කෙනකුට අවශ්‍ය උපදෙස් නොමිලේම ලබා දෙන්න මං සූදානම්. ඒවායේ යෙදෙන වගා ක්‍රම, කල්පාදු ක්‍රම කියා දෙන්න මට පුළුවන්. මං උඩවැඩියා සඳහා යොමු වුණේ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහකාර කෙනකු ලෙස වසර 17ක් පටක රෝපණ කටයුතු කළ නිසා, ඒ තාක්ෂණය උපයෝගී කරගෙනයි.

මීට අමතරව ඔබ කොච්චි වගා කරලා අපනයනය කරනවා. ඒ පිළිබඳ කතා කළොත්?

මං වගා කරන කොච්චි සඳහා වැඩි ම ඉල්ලුමක් තියෙන්නේ මාලදිවයිනේ. බීජ රෝපණය මඟින් පැළ කළ හැකි මේ කොච්චි විශේෂය මල් පෝච්චිවල සිටුවා වසර තුනක් පමණ තබාගෙන, හොඳ පලදාවක් ලබා ගන්නත් පුළුවන්. ඒ අතර තුන් සැරයක් කප්පාදු කරන්නත් පුළුවන්. ශ්‍රී ලංකාව තුළ මං සකසන කොච්චි විශේෂයේ කිලෝවක් රු.600කට පමණ විකුණන්න පුළුවන්. අපනයනය කරලා කිලෝවකට රු.500ත් 1500ත් අතර මිලකට විකුණන්න පුළුන්. දේශීය වශයෙන් වඩේ සහ කොත්තු නිෂ්පාදනය සඳහා අලෙවි කළ හැකියි. ඒ මඟිනුත් හොඳ ආදායමක් ලබන්න පුළුවන්.

කොච්චි කරලක් විදිහට නැතිව, මොනවා හෝ නිෂ්පාදනයක් කරලා විකුණුවොත් එයිනුත් හොඳ ආදායමක් ලබාගත හැකියි. කොච්චිවලින් ලුණු දෙහි වගේ ම සෝස් සකසන්න පුළුවන්. මාළඟ ඒ සඳහා අවශ්‍ය කරන වට්ටෝරු තියෙනවා. එයත් ඉදිරියේදී නිෂ්පාදනයක් විදිහට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

කොච්චි අපනයනය සඳහා පවතින ඉල්ලුම කොහොමද?

දැනට මාලදිවයිනට සතියකට කොච්චි කිලෝ 12,000ක් යවන්න අවස්ථාව තිබෙනවා. ඒත් අපට තවමත් පුළුවන් වෙලා තියෙන්නේ සතියකට කිලෝ 100ක වගේ කුඩා ප්‍රමාණයක් අපනයනය කරන්නයි.

කොච්චි වගාව සඳහා යොමු වීමට අවශ්‍ය කෙනකුට, ඔබගෙන් පැළ සහ ඒ සඳහා අවශ්‍ය දැනුම ලබා ගන්න පුළුවන්ද?

ඕනැම මොහොතක හැකියි. මහාපරිමාණයෙන් කරන්න කැමැති කෙනෙක්ට උපදෙස් දෙන්න සූදානම්. දැනටත් මං එහෙම කෙනකුට උපදෙස් ලබා දෙනවා.

ඒ වගේ කෙනෙක්ගේ කොච්චි අපනයනය කරන්න මඟ සකසා දෙන්න ඔබ සූදානම්ද?

මං ඒවා මිලදී ගත්තෙ නැතුවට, අපනයනකරුවන් මුණගස්වා දීලා, ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යන්න මඟ සකසා දෙන්න කැමතියි.

 

 

අදහස් 22ක් ඇත

can we contact him

මට මේ පිලිබඳ දැනගන්නෙ කොහොමද

ස්තුතිවන්ත වෙමි ලබා දුන් විස්තර සඳහා

durakatana ankaya dnna puluwnda 0763317315

මට සුනිල් මහතාගේ දුරකථන අංකය ලබා ගන්න පුලුවන්ද... ගොඩක් වටින ලිපියක් මගේ අංකය 0777779551

නව අදහස දක්වන්න