'WhatsApp' හරහා විකිණීමට ගිය දරුවා | දිනමිණ

'WhatsApp' හරහා විකිණීමට ගිය දරුවා

'WhatsApp'  සංනිවේදන ජාලය හරහා දරුවෙකු විකිණීමට තැත් කළ බවට සැක පිට සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

දිල්ලි පොලිසිය පවසන්නේ මෙම පිරිස ළමුන් විකිණීමේ ජාවාරමකට සම්බන්ධ බවට සැක කෙරෙන බවය.

අවුරුදු දෙකහමාරක් වයසැති තම පුත්‍රයා අතුරුදහන් වූ බව දෙමාපිය යුවළක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

පොලිසිය එම දරුවා සොයා ගැනීම සඳහා සහාය පතමින් දරුවාගේ ඡායාරූපය ප්‍රසිද්ධ කිරීමට පොලිසිය පියවර ගත්තේය.

මේ අතරතුර, දරුවන් නොමැති අඹුසැමි යුවළකට ලබා දීම සඳහා පිරිමි දරුවෙකු වෙනුවෙන් මුදල් ගෙවීමට වෙනත් කාන්තාවක් එකඟ වී තිබේ.

මෙම ගනුදෙනුව තීරණය වී ඇත්තේ අන්තර්ජාලයේ 'WhatsApp' සංනිවේදන ජාලය හරහා ය.

ඒ වෙනුවෙන් ගෙවීමට එකඟ වූ මුදල ඇමරිකානු ඩොලර් 4000කට ආසන්නය.

එම දරුවාගේ ඡායාරූපය, කලින් අතුරුදහන් වී ඇති දරුවාගේ ඡායාරූපයට සමාන බැවින් ඉහත කී කාන්තාව සියලු තොරතුරු හෙළිදරව් කර තිබේ.

පොලිසිය පවසන්නේ එම දරුවා මේවනවිට දෙමාපියන් වෙත භාර දී ඇති බවය.

අත්අඩංගුවට ගත් සිව්දෙනා කලක සිට දරුවන් විකිණීමේ ජාවාරමක යෙදී සිට ඇත්දැයි සනාථ කර ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව ද දිල්ලි පොලිසිය පැවසීය.

(බී.බී.සිය ඇසුරෙනි)


නව අදහස දක්වන්න

Or log in with...