‘සෞන්දර්යාභිමානී 2017 කලා උළෙල’ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දී | දිනමිණ

‘සෞන්දර්යාභිමානී 2017 කලා උළෙල’ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දී

අනුර ප්‍රේමලාල්

වාර්ෂිකව සංවිධාන කරනු ලබන 'සෞන්දර්යාභිමානී 2017 කලා උළෙල' පළමුවරට සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයක් සමඟ එක්ව ඉතාමත් අභිමානවත් අයුරින් මේ මස 03 වැනි දා සිට 09 වැනි දා දක්වා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පරිශ්‍රයේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර තිබෙන බව එහි උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුකට එක් වු ඒ මහතා මෙසේ ද කීය.

"සෞන්දර්ය කලා අභිමානී 2017 කලා උළෙලේ ආරම්භක දිනය වන මේ මස 03 වැනි දා මුලින්ම විශ්වවිද්‍යාලයේ පහසුකම් පුළුල් කිරීමට එළැඹෙන සුබ මූහුර්තියෙන් රුපියල් මිලියන නවසියයක් පමණ වැයකොට ඉදි කෙරෙන නව ගොඩනැඟිලි දෙකකට මුල්ගල් තැබීම සිදු වෙනවා. මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා එක්වීමට නියමිතව තිබෙනවා.

මෙහි දී දෘශ්‍ය කලා පීඨය හා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පරිශ්‍රයේ ඉදි කෙරෙන ගොඩනැඟිලි දෙක වෙනුවෙන් මෙසේ මුල්ගල් තැබීම සිදු වෙනවා. මෙවර සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව කලාපීය රටවල් 08ක ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ගේ සිතුවම් සියයක් පමණ ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් ද මෙදින විවෘත කිරීමට නියමිතයි. මෙහි දී නර්තන හා නාට්‍ය කලා පීඨයෙන් ඉන්දියාවේ මහත්මා ගාන්ධි විශ්වවිද්‍යාලයේ සිට පැමිණෙන ප්‍රවීණ යෝග ශිල්පීන්ගේ යෝග වැඩසටහනක් ද මේ දින හතේ වැඩසටහන්වල පෙළ ගස්වා තිබෙනවා.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දොළොස් වැනි සංවත්සරය මෙවර සමරනවා. මේ සඳහා සියලු පාසල්වලට ද ආරාධනා කිරීමේ අවශ්‍යතාව තිබුණත් ඒ සඳහා පැවැති තත්ත්ව බාධාවක් වුණා. ඒ නිසා සියලු අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා, පාසල්වල දූ දරුවන්ට මේ කලා උළෙල නැරඹීමට අවසර ලබා දෙන ලෙස. අ.පො.ස. උසස් පෙළ දරුවන්ට මේ උළෙලට සහභාගි වී අත්දැකීම් හා දැනුම ද ලබා ගත හැකියි. මෙවර උළෙලේ සංගීත වැඩමුළු, සම්මන්ත්‍රණ, එක් එක් අධ්‍යයනාංශ විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රසංග වැඩසටහන් ද, බන්දුල නානයක්කාරවසම් මහතා විසින් ඉදිරිපත් කරනු ලබන රසවින්දන වැඩසටහනක් ද මීට ඇතුළත්.

නර්තන හා නාට්‍ය කලා පීඨයෙන් ඉදිරිපත් කරනු ලබන වැඩසටහන් අතර දිගු නාට්‍ය , කෙටි නාට්‍ය, මුද්‍රා නාට්‍ය හා නිර්මාණාත්මක නර්තන, විද්‍යාර්ථීන් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට, කෙටි චිත්‍රපට සහ වීඩියෝ දර්ශන, නර්තන හා නාට්‍ය කලා පීඨයේ අධ්‍යනාංශ විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රසංග සහ වැඩසටහන්, විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පරිපාලන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ඇගයීම් කරමින් තිළිණ ප්‍රදානය, සෞන්දර්ය කලා විමර්ශන ග්‍රන්ථය එළි දැක්වීම මේ අතර වෙනවා. දෘශ්‍ය කලා පීඨය විසින් ඉදිරිපත් ඉදිරිපත් කරනු ලබන වැඩසටහන් අතර උපාධි වසර විද්‍යාර්ථීන් ඉදිරිපත් කරනු ලබන නිර්මාණාත්මක කෘති ප්‍රදර්ශනය, ප්‍රභව සඟරාව එළිදැක්වීම, උසස් පෙළ හදාරන සිසුන් වෙනුවෙන් පවත්වන සම්මන්ත්‍රණ, දෘශ්‍ය කලා පීඨ අධ්‍යයන හා අනෙකුත් කාර්ය මණ්ඩල ඇගයීමේ හා සම්මාන ප්‍රදානෝත්සවයක් ද පැවැත්වෙනවා.

මෙහි දී වැඩසටහන් මාලාව පෙළ ගස්වා තිබෙන ආකාරය මෙසේයි. 03 වැනි දා නර්තන ප්‍රසංග, 04 වැනි දා දිගු නාට්‍ය, කෙටි නාට්‍ය, මුද්‍රා නාට්‍ය, නූතන නාට්‍ය, 05 වැනි දා චිත්‍රපට, කෙටි චිත්‍රපට, වීඩියෝ නිෂ්පාදන, 06 වැනි දා නර්තන ප්‍රසංගය, උඩරට, පහතරට සබරගමු, තාලවාද්‍ය, ඉන්දියානු හා ආසියානු සහ ජාතික සමඟිය සඳහා වන වැඩසටහන්, 07 වැනි දා යෝගා ප්‍රායෝගික අභ්‍යාස, යෝගා සම්මන්ත්‍රණ, පිනුම් හා කරණම් ප්‍රදර්ශන, තිළිණ ප්‍රදානය, 08 වැනි දා සෞන්දර්ය කලා විමර්ශන පොත් එළි දැක්වීම, 09 වැනි දා පුරෝගාමි ගුරු උපහාර දිනය, ශාන්ති කර්ම ආදියයි."

සංගීත අංශයේ පීඨාධිපති මහාචාර්ය කෝලිත භානු දිසානායක, දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය රම්‍යවර්ධන පොඩිනිලමේ, නර්තන හා නාට්‍ය කලා පීඨයේ වැඩබලන පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පියනන්ද රූපසිංහ මහත්වරු ද, සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කිෂානි ජයසිංහ විජේසේකර මහත්මිය ද මේ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූහ.

ඡායාරූපය- මහින්ද විතානච්චි

 

නව අදහස දක්වන්න