ඌවට අහිමි උමා ඔය.... | දිනමිණ

ඌවට අහිමි උමා ඔය....

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය දැන් හැඳින්වෙන්නේ ජාතික අපරාධයක් හැටියට ය. එයින් සිදුවී ඇති විනාශය හා ඉදිරියේ දී සිදුවීමට නියමිත විනාශයත් සැලැකිල්ලට ගන්නා විට එය ජාතික අපරාධයක් ලෙස සැලකීමෙහි වරදක් දකින්නට නැත. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතවාද කිහිපයක් පවතී. එක මතයකින් කියැවෙන්නේ මෙය වහාම නවතා දැමිය යුතු බව ය. තව මතයකින් කියැවෙන්නේ නිසි පරීක්ෂාවකින් පසු නැවත මේ ව්‍යාපෘතිය විධිමත් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ය. තවත් මතයකින් කියැවෙන්නේ නිසි පරීක්ෂාවකින් තොරව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අය නීතිය හමුවට ගෙන යා යුතු බව ය.

මේ සෑම මතයකටම හේතු - සාධක හා තර්ක තිබේ. එහෙත් අප තෝරාගත යුත්තේ නිවැරැදි ස්ථාවරය යි. මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතු ය. එක; ව්‍යාපෘතියෙන් හරි අඩක් නොව; හතරෙන් තුනක්ම මේ වනවිට අවසන් ය. දෙක; ව්‍යාපෘතිය සඳහා විදේශ ණය ලබාගෙන ඇති අතර ඒවා පොලියත් සමඟ ගෙවා දැමිය යුතු ය. ව්‍යාපෘතිය කළත් - නැතත් ණය ගෙවීමට සිදු වේ. ඉදිරිපත් වී ඇති තවත් මතයක් වන්නේ වෙල්ලස්සට වතුරත් ඕනෑ; බණ්ඩාරවෙල ගිලා බසින්නත් බෑ යන්න ය. එය කළ හැකි ද යන්න ගැටලුවකි. ජනාධිපතිවරයාගේ නියමය පරිදි ව්‍යාපෘතිය විශේෂඥයන් පිරිසකගේ පරික්ෂාවට ලක්වීමට නියමිත ය.

මේ මොහොතේ අපගේ සිහියට නැ‍ඟෙන්නේ රුහුණේ නිල්වලා යෝජනා ක්‍රමය යි. 1983 දී ආරම්භ කළ මේ යෝජනා ක්‍රමයට අනුව නිල්වලා ග‍ඟෙහි ගංවතුර නැවතිය යුතු ය. ගංවතුර පිටාර ගැලීම නිසා; වාර්ෂිකව කුඹුරු අක්කර ගණනින් විනාශයට පත් විණි. යෝජනා ක්‍රමයට අනුව අලුත් කුඹුරු අස්වැද්දීමට ද, කන්න දෙක ම වගා කිරීමටද ලැබේ. 1989 දී ව්‍යාපෘතිය අවසන් වූ අතර ඉහත සඳහන් එකක්වත් සිදු වූයේ නැත. රුහුණේ ගොවියා කබලෙන් ළිපට වැටුණේ යැයි කියන්නට පුළුවන. ව්‍යාපෘතිය ඉදි කළේ ප්‍රංශ සමාගමකි. එම සමාගම අපගේ පාරිසරික සාධක සලකා බැලුවේ නැත. ගොවි ජනතාවගේ හෝ දේශීය ඉංජිනේරුවන්ගේ හෝ අදහස් විමසුවේ ද නැත. අදත් එහි ජනතාව නිල්වලා යෝජනා ක්‍රමයේ පව් ගෙවති.

එක අතෙකින් බලන විට උමා ඔය බහුකාර්ය සාධන ව්‍යාපෘතියත් නිල්වලා යෝජනා ක්‍රමයට සමාන කරන්නට පුළුවන. ප්‍රංශ සමාගම බොහෝ ප්‍රදේශවල හිතුවක්කාරී ලෙස කෘත්‍රීම ඇළවල් ඉදිකළේ ය. මේ නිසා ප්‍රදේශ ගණනාවක ළිං සිඳී ගියේ ය. තවත් ප්‍රදේශවල කුඹුරු බිම්වලට මුහුදු ජලය කාන්දු වූයේ ය. දැඩි ආම්ලිකතාව නිසා කුඹුරු යායවල් පුරන් විය. මුලදී සඳහන් වූයේ නිල්වලා යෝජනා ක්‍රමය මඟින් වී වගාවට රුපියල් දසලක්ෂ හතළිස් තුනක් ද, වෙනත් වගාවලට රුපියල් දස ලක්ෂ දහතුනක් ද අලුතෙන් ආදායම් ලෙස එකතු වන බව ය. එහෙත් ප්‍රතිඵලය වූයේ පැවැති ආදායම ද අහිමි වීම ය. මේ හැරෙන්නට දීර්ඝ කාලයක සිට පැවැති ළිං ටික ද සිඳී ගියේ ය.

රටේ සංවර්ධනයට අදාළ මහා පරිමාණ ව්‍යාපෘති ඉදිකරන විට රජයක් ඉතා පරෙස්සම් සහගත වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතු ය. එහි වගකීමෙන් වැඩි හරිය පැවරෙන්නේ දේශපාලකයා වෙත ය. දේශපාලකයා ගනු ලබන තීන්දු හා තීරණ සියල්ලට ඉහළින් පවතින බැවිනි. යෝජනා ක්‍රමයක සැලැසුම, එය ඉදිකරන ආයතන, දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ මත පමණක් නොව; මහජනයාගේ අදහස් ද මෙහිලා වැදගත් වන බව දේශපාලකයන් කල්පනාවට ගත යුතු ය. එහෙත් අපේ රටේ බොහෝ දේශපාලකයන් විශේෂඥ මත මෙන්ම ජනතා අදහස් ද බැහැර කරන තැනක සිටින බව රහසක් නොවේ. ඇතැම් දේශපාලකයෝ තම ප්‍රතිරූපය නංවාගැනීම සඳහා ද තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සඳහා ද සංවර්ධන ව්‍යාපෘති පාවිච්චි කරති.

ඌව යනු හුළං මුවාවක පිහිටි ප්‍රදේශයකි. මුළු ප්‍රදේශයෙන් විශාල කලාපයකට ප්‍රමාණවත් වර්ෂාවක් ලැබෙන්නේ නැත. පළාතේ ප්‍රධාන ගංගාව ලෙස සැලකිය හැක්කේ ද උමා ඔය ය. මේ ඔය ඌවේ මහඔය ලෙස ද හැඳින් වේ. උමා ඔය නිම්නයේ සියලු වගා කටයුතු සිදු වන්නේ ද ඔය ඇසුරුකරගෙන ය. මේ හැරෙන්නට රන් ටැඹේ ජලාශයට ජලය සපයන ප්‍රධාන මාර්ගයක් ලෙස ද උමා ඔය පවතී. මේ සියල්ල දෙස බලන විට පෙනීයන්නේ උමාඔයේ ජලය වෙල්ලස්සට ගෙන යෑම තාර්කික නැති බව ය. ඇතැම් දේශපාලකයන් තාර්කික බව හෝ අයුක්තිය හෝ සලකන්නේ නැත. ඊට වඩා තම අභිමතයට ප්‍රමුඛතාව දී විරෝධතා නොසලකා තම ඉලක්කය වෙත ගමන් කිරීම දේශපාලකයන්ගේ සිරිත වී තිබේ. මේ ව්‍යාපෘතිය ද ඊට නිදසුනක් සේ ගත හැකි ය.

අද වන විට තත්ත්වය සංකීර්ණ බව පෙනී යයි. ගැටලුව ජිනීවා මානව හිමිකම් කොමිසම දක්වා ගෙන යෑමේ උත්සාහයක් ද පවතී. ඒ අතින් එම උත්සාහය විවේචනය කළ නොහැක්කේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් ද මෙහි ඇති බැවින් ය. තවත් අතෙකින් ව්‍යාපෘතියට මුල් වූ අයම ජනතා උද්ඝෝෂණවලට සහාය දක්වමින් ඒ පැත්තේ සිට කතා කරන බවක් ද පෙනෙන්නට තිබේ. සංවර්ධන ව්‍යාපෘති සමඟ දේශපාලනය ද ගමන් කරයි. චෝදනා, ප්‍රති - චෝදනා නැ‍ඟෙයි. එහෙත් මෙය නිමාවට පත් විය යුත්තේ රටට හා ජනතාවට හිතකර ලෙසින් යැයි කියන්නට පුළුවන. දේශපාලන කඹ ඇදිලිවලින් සිදුවන්නේ ගැටලුව තවදුරටත් උග්‍ර වීම පමණි.

උමා ඔය ගැටලුව සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව එකට එකතුවී සාකච්ඡා කරන්නේ නම්; එය වැදගත් ය. මෙහිදී ප්‍රමුඛතාව ලබා දිය යුතු පිරිස වන්නේ ඌවේ ජනතාව බව කිව යුතු ය. ඌව යනු දීර්ඝ කාලයක් තිස්සේ විවිධ හේතු - සාධකවලින් බැටකන ප්‍රදේශයකි. ඉංග්‍රීසි පාලන සමයේ සිට ම මේ ප්‍රදේශවලට ලැබී ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය. එහි දුප්පත්කම ඉහළ ය. විරැකියාව වර්ධනය වෙමින් තිබේ. පොදු පහසුකම්වල තත්ත්වය දුර්වල ය. දැන් සිදුවී ඇත්තේ ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්නා වැනි සිද්ධියකි. මෙය නිවැරැදි කළ යුතු ය. සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නවතා දැමිය යුතු යැයි අප කියන්නේ නැත. එහෙත් ඒවා සිදුවිය යුත්තේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන පරිදිය. කොටින් ම උමා ඔය ව්‍යාපෘතිය, නිල්වලා යෝජනා ක්‍රමයක් නොවිය යුතු ය.


නව අදහස දක්වන්න

Or log in with...