ජනතා ‍ද්‍රෝහියා: සත්‍ය ගවේෂකයකුගේ හුදෙකලාව | දිනමිණ

ජනතා ‍ද්‍රෝහියා: සත්‍ය ගවේෂකයකුගේ හුදෙකලාව

 ඊජිප්තියානු නාට්‍යවේදිනියක වන නෝරා අමීන් විසින්, නෝර්විජියානු නාට්‍යකරු හෙන්රික් ඉබ්සන්ගේ ‘ජනතා ද්‍රෝහියා’ (an enemy of the people) නාට්‍ය, අනුවර්තනය කොට අධ්‍යක්ෂණය කරන ලද අතර, එහි ප්‍රධාන චරිතයක් ද (ස්ටොක්මාන් බිරිය) රඟපෑවාය.

‘ජනතා ද්‍රෝහියා’රඟදැක්වුණේ කයිරෝ නුවර දේශපාලන ප්‍රතිසංස්කරණ උද්ඝෝෂණ හා ගැටුම් පැවති සමයෙහි ය. ඉන් මඳ කලකට පසු ට්‍රිපොලි නගරයෙහිදි ද ‘ජනතා ද්‍රෝහියා’ වේදිකාගත කෙරුණි. ඒ මොහොම්මද් ගඩාෆිගේ පාලනය බිඳවැටුණු ආසන්නයේම ය.

පසුව මෙම අත්දැකීම් ගැන කථා කළ නෝරා අමීන් මෙසේ සඳහන් කළාය.

“එය ඔවුන් සඳහාම කළ නාට්‍යයක් වශයෙනුයි ප්‍රේක්ෂකයින්ට දැනුණේ. සංස්කෘතික හෝ දේශපාලන සීමාවන් බලපෑවේ නැහැ.

ඇෆ්ගනිස්ථානයේ හරූන් නූරිද, ඉබ්සන්ගේ මෙම නාටකය, එරට ප්‍රධාන භාෂාවක් වන ඩාරි බසට නඟා නිෂ්පාදනය ‍කළේ ය.

හරූන් පසුව මෙසේ කීය,

“අපේ රටේ පැවති දූෂිත තත්ත්වයන් හා යටිතල පහසුකම් අවමවීම පිළිබඳ ගැටලු මෙම නාට්‍යය සමඟ කදිමට සම්බන්ධ වුණා. එපමණක් නෙවෙයි, නාට්‍යයේ එන පුරපතිගේ චරිතය, අපේ ජනාධිපති හමීඩ් කර්සායි සමඟත් සැසඳුණා.”

ලොව අප්‍රකට ර‍ටක්ව පැවති නෝර්වේ හි ඉපිද හෙන්රික් ඉබ්සන් විසින් 1882 දී රචිත ‘ජනතා ද්‍රෝහියා’ විවිධ භාෂාවන්ට පෙර‍ෙළමින් ලෝකය පුරා යමින් සනාථ කරන්නේ, නෝරා අමීන් සහ හරූන් නූරිගේ ඉහත ප්‍රකාශයන් ය.

පසුගිය ජූනි 23 වැනි සිකුරාදා සවස බොරැල්ලේ ‘පුංචි තියටර්’ රඟහලේ වේදිකා‍වටද ‘ජනතා ද්‍රෝහියා’ ප්‍රවිශ්ට වූයේය.

එය නරඹමින් සිටි මට, පිරිසිදු ජලය ඉල්ලා සටන් කළ රතුපස්වල ජනතාව, කුණු කන්දට යටවී මිය ගිය අසරණයින් ද මතකයට නැඟුණි. මෙය ලියන මොහොතේ උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව උද්ඝෝෂණයෙහි යෙදෙන දහසක් ජනතාව ද “දොස්තර ස්ටොක්මාන්” සමඟ අත්වැල් බැඳගෙන ඉබ්සන්ගේ නාටකය හරහා ගමන් කරනු මට මැවෙයි.

සැබෑ නාට්‍යකරුවා, කාල-දේශ සීමාවන්ගෙන් තොරව ජනතාවගේ ප්‍රකාශකයෙකු වෙමින් පවතින්නේය යන මතය නැවත වරක් සත්‍යයක් බවට පත්වෙයි.

ඉබ්සන්ගේ නාට්‍යය ඔහුගේ මුල් බසින්ම සිංහලයට නඟනු ලැබුවේ ප්‍රවීණ නාට්‍යවේදී විජිත ගුණරත්න විසිනි. නාට්‍ය වේදිකාව පිළිබඳ දිගුකාලීන අත්දැකීම් ඇති නිහාල් සුරංජි මෙහි අධ්‍යක්ෂකවරයා ය.

‘ජනතා ද්‍රෝහියා’ නාට්‍යයට පසුබිම් වන්නේ සංචාරක ආකර්ෂණය දිනූ ජල ස්නාන මධ්‍යස්ථානයක් (bathing complex/ health bath/ municipal spa) පිහිටි කුඩා නගරයකි. එහි වෛද්‍ය නිලධාරියා වන, දොස්තර ස්ටොක්මාන් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන්නෙකි. ඔහුගේ බිරිඳ කත්රීන් ඉතා දයාබර කාන්තාවකි. දියණිය පේත්ත්‍රා ගුරුවරියකි. පුතුන් දෙදෙනා පාසල් යන වයසේය.

දොස්තර ස්ටොක්මාන්ගේ වැඩිමල් සොහොයුරා පීටර් සිවිල් නිලධාරියකු මෙන්ම ස්නාන මධ්‍යස්ථානයේ පාලක ප්‍රධානියා ද වෙයි. (ඇතැම් ඉංග්‍රීසි පරිවර්තන හා නිෂ්පාදනවල ඔහු දැක්වෙන්නේ පුරපතිවරයා ලෙසිනි.)

නාන තාටකයන්ට ගලා එන ජලයට විස සහිත අපද්‍රව්‍යයන් මිශ්‍රවන බව සොයාගන්නා දොස්තර ස්ටොක්මාන් ඒ බව ප්‍රසිද්ධ කරමින් ඊට විරුද්ධව ජනමයක් ගොඩනැඟිමට උත්සහ කරයි. පුරපති පීටර් ඊට එරෙහිව තම සොහොයුරා හා ගැටෙයි.

ජලයට විස සහිත අපද්‍රව්‍ය මිශ්‍රවන්නේ හම් පදම් කරන කම්හලකිනි. එහි හිමිකරු දොස්තර බිරියගේ පෝෂක ප‍ියාණන් (foster father) ය.

විස ජලය පිළිබඳ කථාව පැතිරුණොත් නගරයට ඇති සංචාරක ආකර්ෂණය නැති වී ආදායම පහත වැටෙයි. ස්නාන මධ්‍යස්ථානය දෙතුන් වසරකට වසාදමා ප්‍රතිසංස්කරණය කිරීමට සිදුවෙයි. පුරපතිවරයා පවසන පරිදි ඒ සඳහා අතිවිශාල මුදලක් වැයවන අතර එය උපයා ගැනීමට සිදුවනුයේ බදු පැනවීමෙනි.

නගරයේ සමෘද්ධිය විනාශවීමට ඉඩ දෙනවාද, නැතහොත් ස්නාන මධ්‍යස්ථානය දිගටම පවත්වාගෙන යනවාද යන ගැටලුව විසඳා ගැනීම පිළිබඳව දොස්තර ස්ටොක්මාන් හා පුරපති පීටර් දෙපිලකට බෙදී ගැටෙති.

දොස්තර ස්ටොක්මාන්, පුවත්පත් කතුවර හුට්ස්ටඩ් හා ඔහුගේ සහායක බිලීන්ගේ සහාය පතයි. මුද්‍රණ ශිල්පී ඔස්ලක්සන් ද මුලදි දොස්තර පාර්ශ්වයට එකතු වෙයි.

එහෙත් සංචාරක ආකර්ෂණය බිඳවැටීමත් සමඟම නගරයට අත්වන ඉරණම පිළිබඳ බියවන වැසියෝ, දොස්තර අතහැර පුරපති සමඟ එක්වෙති. බහුජන මතය ඉදිරියේ සත්‍යය සැඟවී වැළලී යයි. දොස්තර ස්ටොක්මාන් හා ඔහුගේ දියණියගේ රැකියා අහිමි කෙරෙයි.

ඔවුන්ට කුලී නිවසින් පවා පිටව යාමට සිදුවෙයි. මුලදි සහායට සිටි මාධ්‍යවේදියෝ ද, මුද්‍රණ ශිල්පියෝ ද “බහුජන මතයට” හිස නමති.

තම නිවසට ගල්මුල් එල්ල වුවද ඇඳි වත පවා ඉරා දමා නින්දා අපහාස කෙරුණ ද දොස්තර ස්ටොක්මාන් තවදුරටත් නගරයේ ම රැඳී සිටීමට අදිටන් කර ගනී. ඔහු තම බිරියට මෙසේ කියයි.

“මමයි මේ ගමේ ඉන්න බලවන්තම මනුස්සයා. හැම දෙයක් ම තනියම දරාගන්න පුළුවන් එක්කෙනා තමයි, ලෝකයේ ඉන්න බලවන්ත මනුස්සයා” (විජිත ගුණරත්න පරිවර්තනය)

“... I have made a great discovery! you see, the fact is that the strongest man in the world is the man who stands most alone” (පීටර් වොට්ස්ගේ ඉංග්‍රීසි පරිවර්තනය - 1964)

ඉබ්සන්ගේ “පබ්ලික් එනිමි” නාට්‍යය, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් “ජන සතුරා” නමින් ද, චන්ද්‍රසෝම බිංදුහේවා විසින් “එනිමි” නමින් ද රංගගතකොට ඇත. එම නිෂ්පාදනයන්හි “දොස්තර ස්ටොක්මාන්” වූයේ ලූෂන් බුලත්සිංහල සහ ජනක කුඹුකගේ ය. මහාචාර්ය ආරියරත්න ඇතුගල, ඉබ්සන් නාටකය “රම්‍ය නගරය” නමින් ටෙලිනාට්‍යයක් නිර්මාණය කළේය. එහිදී දොස්තර වූයේ ආචාර්ය ලක්ෂ්මන් ප්‍රනාන්දු ය.

“ජනතා ද්‍රෝහියා” අධ්‍යක්ෂ නිහාල් සුරංජි ප්‍රවීණ හා නවක නළු නිළි පිරිසක් යොදාගන්නා නිසා එම නිෂ්පාදනයේ රංග කාර්යයෙහි අසමතුලිත බවක් පෙනීයයි.

ඉබ්සන්ගේ නාට්‍යයෙහි තේමාව මෙන්ම සංවාදයන් ද ඉතා ප්‍රබලය. එම ජීවගුණය, තම පරිවර්තනයෙහිදී ද රැකගන්නට විජිත ගුණරත්න සමත්වෙයි. ඉබ්සන්ගේ නාට්‍ය ඉල්ලා සිටින, සුසාධිත නාට්‍යයකට ඔබින “පොහොසත් බව” සුරංජිගේ නිෂ්පාදනයෙහිද වූයේ නම් එය වඩා ප්‍රබල නිෂ්පාදනයක් වීමට ඉඩ තිබිණැයි මට හැ‍ඟෙයි. (ඉබ්සන්ගෙන් මිදී නාට්‍යයක් හෝ කිරීමට ඇති හැකියාව හෝ අයිතිය වෙනම කාරණයකි) කෙසේ වෙතත් සරල විනෝදය සපයන “නාට්‍ය” මඟින් ප්‍රේක්ෂාගාර නොමඟ යවන සහ මුළා කරන අවධියක මෙබඳු ගැඹුරු නාටකීය අත්දැකීමක් ප්‍රදානය කිරීමට ගත් ප්‍රයත්නය පිළිබඳව නිහාල් සුරංජිට ප්‍රශංසාව හිමිවිය යුතුය.

“ජනතා ද්‍රෝහියෝ” නිෂ්පාදනයෙහි දොස්තර ස්ටොක්මාන් ලෙස වසන්ත විට්ටච්චි ද, සිවිල් නිලධාරි ලෙස ලලිත් රාජපක්ෂ ද ප්‍රදර්ශනාත්මක හා තරගකාරී රංගනයක යෙදෙති. දීපානි සිල්වා (පුවත්පත් කතුවරිය), උපුල් මායාදුන්නේ (බිලිං), හංසමාලා ජානකී (කැත්රින්), දීප්ති වීරසූරිය (කපිතාන්) මනා චරිතාවබෝධයෙන් යුතුව තම රංගනය ඉටු කළහ.

නවකයන් වුවද, පේත්ත්‍රා ලෙස රඟ පෑ මදීරා උදිශානී, ඔස්ලක්සන් ලෙස රඟපෑ ප්‍රසන්න මංජුල හා මාමණ්ඩිය වූ චාල්ස් රොයිස්ටන්, නාට්‍ය‍ වේදිකාවෙහි සුබ අනාගතයකට හිමිකම් ඇති ශිල්පීහු බවට පෙරනිමිති පළ කළහ.

“ජනතා ද්‍රෝහියා” යනු යහපත හා අයහපත අතර ගැටුමකි. සත්‍යය හා අසත්‍යය අතර ගැටුමකි. අවසානයේදී ජයග්‍රාහී බහුජන මතය යනු, සත්‍යයමදැයි ප්‍රශ්න කිරීමට අප පෙළඹෙයි. සත්‍ය ගරුක, පරමාදර්ශී චරිත බිම හෙළා සමතලා කොට දැමීමට යම් සමාජයක් පසුබට නොවේ නම්, එය ගමන් කරනුයේ මහා ප්‍රපාතයක් කරා බව පැහැදිලිය.

කපිල කුමාර කාලිංග
[email protected]

නව අදහස දක්වන්න