මැඩම්ලා සර්ලා සහ මහත්වරු නෝනලා | දිනමිණ

මැඩම්ලා සර්ලා සහ මහත්වරු නෝනලා

 “අපරාදේ... ඒ ලෙවල් කරන කාලෙ අපි මහන්සි වුණා මදි. අපි හැමදේම සැහැල්ලුවෙන් ගත්තේ. අපට තේරුණේ ම නෑ ඒක ජීවිතේ තීරණය කරන කඩඉම කියල...”

ඇගේ ස්වරයෙහි වූයේ පසුතැවිල්ලකි. උසස් පෙළ සඳහා කලා විෂයයන්ගෙන් අධ්‍යාපනය ලබන කාලයේ ඇය විභාගය බරපතළ දෙයක් සේ නොසැලකුවා ය. සැහැල්ලුවෙන් පන්ති යමින් විනෝදයෙන් කල් ගත කළ කාලය අවසානයේ විභාගය යන්තමින් සමත් වුව ද සරසවි යන්නට තබා විද්‍යා පීඨයකට ඇතුළු වන්නටවත් ඒ ප්‍රතිඵල ප්‍රමාණවත් නොවුණි. රැකියාවක් සරි කර ගැනීම ඉතා අසීරු කාර්යයක් විය. අමාරුවෙන් පාසලක සුළු සේවිකා පත්වීමක් ලබාගත්තේ ද ආණ්ඩු පක්ෂයේ සමිති සමාගම්වලට බැඳෙමින්, පළාත්බද දේශපාලනඥයා වෙනුවෙන් මැයිදිනවලට හා ඔහුට ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යමින් කළ දුෂ්කර ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් වශයෙනි. එහෙත් රැකියාව සතුටුසහගත නැත. තමන් සේවා ස්ථානයේ පහළ මට්ටමේ තැනැත්තියකැයි ඇයට නිතරම සිතෙයි. වැඩිහිටි සුළු සේවිකාවෝ ද අලුත් අය හරිහැටි තම සේවය ඉටු නොකරන බව පවසමින් සියලු වැඩ ඇයට ම පටවන්නට තැත් කරත්. ඇය හා එකම පන්තියේ උගෙන සරසවි වරම් ලද පැරැණි මිතුරියක් ද එම පාසලේ ම සේවය කරයි. ගුරුවරිය ඇය තමා හා එකට උගත් බව හඟවන්නටවත් කැමති නැත. නිතරම ඇගේ දෑස් මඟහරිමින් ගමන් කරයි. වතාවක් ඇයට නියමිත තැනක් හරිහැටි පවිත්‍ර කොට නැති බවට විදුහල්පතිවරයාට පැමිණිලි කොට ඇත්තේ ද පැරණි මිතුරියක වන ගුරුවරියයි.

කලකට පෙර මම බිරිය සමඟ ඇගේ ‍සන්ධි රෝගයක් සඳහා ප්‍රතිකාර ගැනීමට විශේෂඥ වෛද්‍යවරියක හමුවීම සඳහා චැනල් මධ්‍යස්ථානයක් වෙත ගියෙමි. වෛද්‍යවරිය ඇගේ පරීක්ෂා කිරීම් අවසානයේ අප භෞත චිකිත්සකවරයා වෙත යොමු කළා ය. අප භෞත චිකිත්සකවරයා වෙත යන විට චැනල් මධ්‍යස්ථානයේ සුදු ඇඟලුම් ලා සිටි සේවිකාවක් අපට බාධා කළා ය. දැන්ම යැවිය නොහැකි බව කීවා ය. භෞත චිකිත්සකවරයා සිටියේ රෝගියා බලාපොරොත්තුවෙනි. ඔහු නොරිස්සුම් සහගත ලෙස පමාවට හේතු විමසීය. අපි සිද්ධිය කීවෙමු. ඔහු දැඩි ලෙස කෝපයට පත්විය.

“අට පාස් කෙල්ලන්ට ඕනැ විදිහට ද මෙතන වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ? ඔයාලත් ඇයි අට පාස් කෙල්ලන්ගෙන් අවසර ගන්ට ගියෙ? ”

භෞත චිකිත්සකවරයාගේ කෝපය එතෙකින් නිමා නො වී. ඔහු වහා නැගිට ගියේ අට පාස් කෙල්ලට එරෙහිව චැනල් මධ්‍යස්ථානයේ හිමිකරුවාට පැමිණිලි කරන්නට ය.

ශ්‍රී ලංකාවේ විවිධ වෘත්තිකයෝ සිය වෘත්තීන් මත තත්ත්වයන් නිර්මාණය කරගෙන සිටිත්. මෙසේ නිර්මාණය කරගත් තත්ත්ව පදනම් කරගෙන උසස්, මධ්‍යම, පහළ ආදි වශයෙන් රැකියා තරාතිරම් නිර්මාණය වේ. මෙම තරාතිරම රැකියාමය ‘පන්ති බේදය’ යනුවෙන් නම් කිරීමේ කිසිදු අසාධාරණයක් නැත.

වතාවක් මම ගිලන්ව රජයේ රෝහලක නැවතී සිටින විට එහි සාමාන්‍ය සේවක සේවිකාවන් එම්. බී. බී. එස්. උපාධිලාභී වෛද්‍යවරුන්ට හා වෛද්‍යවරියන්ට සර්, මැඩම් යනුවෙන් ආමන්ත්‍රණය කරනු ඇසීමි. එහෙත් එම උපාධිය නැති ඊට පහළ ශ්‍රේණියේ අයට මහත්තයා හා නෝන මහත්තයා යන ආමන්ත්‍රණ පද ය. වෛද්‍ය නලාව කර ලා සිටිය ද ආමන්ත්‍රණය තරාතිරම පිළිබිඹු වන අයුරින් සකස් වී ඇත. මෙම ක්‍රමවේදය අද ඊයේ ඇතිවූවක් නො වේ. කාලාන්තරයක් තිස්සේ අපේ රාජකාරිමය තත්ත්වයන් මත සකස් වී පුරුදු පුහුණු කරන ලද තත්ත්වයකි.

මා දන්නා හඳුනන වෛද්‍යවරයෙක් අධ්‍යාපනය සඳහා අවුරුද්දක පමණ කාලයකට බටහිර රටකට ගියේය. බටහිර සිට පැමිණි වෛද්‍යවරයා මා හමුවූ අවස්ථාවක සිය බටහිර අත්දැකීම් මට විස්තර කළේ ය.

“එහෙ පහසුකම් ඉහළයි. සේවය බොහොම පහසුයි. මිනිස්සු මෙහෙ වගේ අනුන් ගැන හොයමින් කල්ගත කරන්නෙ නෑ. තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවා. හැබැයි ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයකුට ‍ලොකු ගෞරවයක් තියෙනවා. එහෙ වෛද්‍යවරයකුට විශේෂ සැලකිල්ලක් නෑ. සාමාන්‍ය සේවකයො පවා නම කියලයි කතා කරන්නෙ.”

වෛද්‍යවරයාගේ කතාවෙන් මට වැටහුණේ ශ්‍රී ලංකාවේ ඇති වෘත්තිමය පන්ති බේදය ඔහු ගිය බටහිර රටේ නොවූ බවය. ඔහු ඒ බටහිර රටේ බොහෝ දේ අගය කළත්, ඉහළ වෘත්තිකයන්ට විශේෂ ගෞරවයක් නො වීම ඔහුගේ කනස්සල්ලට හේතු වී තිබිණි. ඒ කාලයක් මෙරට තුළ ඉහළ වෘත්තිකයකු සේ ගෞරවය ලැබීම නිසා ඇතිවුණු මානසිකත්වය විය යුතු ය.

මට අතීතයට අයත් කතාවක් මතක් වෙයි. ඔහු බැංකු නිලධාරියෙකි. එවකට අවිවාහකයෙකි. ඔහු මා හඳුනන යුවතියකට විවාහ යෝජනාවක් කර තිබිණි. එහෙත් ඇය ඔහුට කැමති නොවූවා ය. (විවාහය වැනි භාරදූර කාර්යයක දී ඊට අදාළ ස්වාධීන තීරණ ගැනීම දෙපාර්ශ්වයේ ම පොදු අයිතියකි.) නමුත් ඇගේ ප්‍රතිචාරය පිළිබඳ ඔහු සිටියේ එක්තරා අන්දමක කේන්තියකිනි. ඔහු මා හා මෙසේ කීවේ ය.

“ ඇයි එයා මට අකැමැති වුණේ? මම හොඳ වැටුපක් ලබන කෙනෙක්. මගේ අයිය රජයේ ඉහළ නිලධාරියෙක්. ලොකු අක්ක විදුහල්පතිනියක්. අපට දේපළ තියනවා. සමාජ තත්ත්වයෙන් අපි එයාලට ඉහළ මිසක් කිසිසේත් ම පහළ නෑ. ඇයි මේ අකමැත්ත?” ඔහුගේ කතාව පුරාම තිබුණේ සාම්ප්‍රදායිකව අපේ සමාජය අපට උරුම කර දුන් මහන්තත්ත්වයයි. විවාහය යනු අන්‍යෝන්‍ය අවබෝධය මත සිදුවිය යුත්තක් බව සිතන්නට සමත් චින්තනයක් ඔහු පුරුදු පුහුණු කරගෙන තිබුණේ නැත.

“ ඇයි මට මේ මිනිස්සු ‍ගෞරව කරන්නෙ නැත්තෙ? මම ඉහළ නිලධාරියෙක් නේද?” ; “එයා මම රජයේ ඉහළ නිලධාරියෙක් කියල නොහිතයි කතා කළේ?” මෙවැනි කතා කියන අය මතු නොව, මෙවැනි සිද්ධි මත අනෙකා මාරු කරන්නට නැත්නම් පළිගන්නට පෙළඹුණු අය මට හමුවී ඇත. මේ කාලයක් තිස්සේ අප විසින් පුරුදු පුහුණු කරගනු ලැබූ චින්තන ක්‍රමවේදයයි.

සමාජයක් විදිහට මේ ක්‍රමයේ ඇති අවාසි අපි භුක්ති විඳිමින් සිටිමු. සමහර ආයතනවල පහළ මට්ටමේ සේවකයන් ලොක්කා සතුටු කරන ක්‍රමවේදයන් අනුගමනය කරමින් රාජකාරිය වෙනුවෙන් නො ව ලොක්කා වෙනුවෙන් කටයුතු කරමින් සිටිති. ලොක්කාගේ කටයුතු ඉටු කරදීම සහ කේලාම් සැපයීම හේතුවෙන් ලොක්කා ද නොදැනුවත්ව ම මේ මිනිහාගේ හිරකාරයෙක් වෙයි. ඉන්පසු කේලාම්කාරයා ආයතනය තුළ නිල නොවන බලධාරියෙක් වෙයි.

බරපතළම තත්ත්වය එය නො වේ. පහළ යයි සම්මත රැකියාවන්හි යෙදෙන්නට අපේ අලුත් පරපුර දක්වන අකැමැත්තයි. නගරයක වීදියක සැරිසරන ඔබට මේ තත්ත්වය පැහැදිලි වනු ඇත. බොහෝ වෙළෙඳ සල්වල දක්නට ලැබෙන මෙවැනි දැන්වීම් ඔබට දැකිය හැක. ‘ඇබෑර්තු තිබේ.’ ; ‘වෙළඳ සේවික සේවිකාවන් අවශ්‍යයි.’ මෙවන් දැන්වීම් ප්‍රදර්ශනය වන්නේ රැකියාවන් නැතත් එවන් රැකියාවන්ට එන්නට තරුණ පරපුර දක්වන අකැමැත්ත හේතුවෙනි. කර්මාන්ත සඳහා අවශ්‍ය මිනිස් ශ්‍රමය ලබාගැනීම ශ්‍රී ලංකාවේ දී පහසු නැත. ඒ ක්ෂේත්‍රයට අයත් අයගෙන් නිතරම මේ මැසිවිල්ල අසන්නට ලැබේ. වැවිලි කර්මාන්තය උදෙසා මිනිස් ශ්‍රමය සොයා ගැනීම අතිශයින් අපහසුය. හැම දෙනම පතන්නේ පඩි අඩු වුවත් රජයේ රැකියාවකි. නැතහොත් ටයි පලඳින මේසය මත සිට කළ හැකි සුදු කරපටි රැකියාවකි. මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ආයෝජන අපේක්ෂා මෙන් ම කර්මාන්තමය අපේක්ෂා ද බිඳ දමයි. අපේ දේශය ක්‍රම ක්‍රමයෙන් පසුගාමී රටක් බවට පත් කරයි. මේ තත්ත්වය වෙනස් කරන්නට චින්තනමය විප්ලවයක් ඇවැසිය. යෝධ ආකල්පමය වෙනසක් ඇවැසිය. ආරම්භ කළ යුත්තේ අධ්‍යාපනයෙනි.

මහානාම දුනුමාල
[email protected]

නව අදහස දක්වන්න