ශ්‍රීලනිප වෘත්තීය සමිති සම්මේලනයට නව කාර්යාලයක් | දිනමිණ

ශ්‍රීලනිප වෘත්තීය සමිති සම්මේලනයට නව කාර්යාලයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති ව්‍යාපාරය මේ රටේ ආර්ථීක, සමාජ සහ සංස්කෘතික ක්ෂේත්‍රවල විශාල පරිවර්තනයක් සිදුකිරීමට දායක වූ බව ජනාධිපතිතුමා පවසයි.
 
ඉතිහාසයේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එහි වෘත්තීය සමිති ව්‍යාපාරයත් එකම ගමන්මගක පැමිණි මානවවාදී ව්‍යපාරයක් බව  ජනාධිපතිතුමා සදහන් කළේ, ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ නව කාර්යාලය  (04) පස්වරුවේ විවෘත කරමිනි.
 
එම කාර්යාලය කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ. 
 
සමරු ඵලකය නිරාවරණය කර නව කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.
 
ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සම්ති සම්මේලනයේ නියෝජ්‍ය සභාපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය  ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා විසින් විශේෂ යෝජනාවලියක් මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය. 
 
ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ජ්‍යෙෂ්ඨයින් තිදෙනෙකු වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ශ්‍රී ලංකා නිදහස් රාජ්‍ය හා පළාත් කළමණාකරණ සහකාර සේවයේ උපාධිධාරි සංගමයේ ජාතික සංවිධායක ආචාර්ය එරික් ජයලත්, ශ්‍රී ලංකා නිදහස් කළමනාකරණ සහකාර නිලධාරින්ගේ සංගමයේ හිටපු  ප්‍රධාන ලේකම් ටියුඩර් රණසිංහ සහ ශ්‍රී ලංකා දුම්රිය කම්කරු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රූපසිංහ යන මහත්වරුන් එහිදී ජනාධිපතිතුමා අතින් සමරු තිළිණ ලැබූහ.
 
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න,  ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර, ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ඩබ්ලිව්. රෝයි ද මැල් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න