මාතලේ රෝහල් බිමේ කසළ දහනයෙන් ස්වසන රෝගී ඒක්කයට පීඩා | දිනමිණ

මාතලේ රෝහල් බිමේ කසළ දහනයෙන් ස්වසන රෝගී ඒක්කයට පීඩා

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ ස්වසන රෝගී ඒකකය අසල රෝහලේ කසළ දහනය කිරීමෙන් එහි ප්‍රථිකාර ලබන රෝගීන් හා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි ඔවුහු පවසති. ස්වසන රෝග ඒකකයට මීටර් 50ක පමණ දුරින් රෝහල් කසළ කළමනාකරණ ඒකකය පිහිටා ඇති අතර එහි කසළ දහනය කිරීම දින තුනකට වරක් සිදු කරනු ලබයි. ඉවතලන ප්ලාස්ටික් බෝතල් හා ඉටි කොළ හා දහනයේදී ප්‍රාදේශය පුරා විශාල ද දුර්ගන්දයක් හා දුමක් පැතිරයනු ලබයි.

එම ස්ථානයට ආසන්නයේම පිහිටි ස්වසන රෝගී ඒකකය තුළට දහනය වන කුඩා කොටස් දුමත් සමග පැමිණේ. මේ නිසා ස්වසන රෝගීන් සුව වනවා වෙනුවට ඔවුන්ගේ රෝගී තත්ත්වය වර්ධනය වන බවට ඔවුහු චෝදනා කරනු ලබති.

නේවාසිකව ප්‍රතිකාර ලබන එච්. ඩබ්ලිව්. සිල්වා මහතා - මම හුස්ම ගන්න අපහසුතාව නිසා ප්‍රතිකාර ගන්න මාතලේ රෝහලට ඇතුළත් වුණා. දැන් සති දෙකක් විතර මෙහි ප්‍රථිකාර ගනනවා. අපි ඉන්න වාට්ටුව අසල රෝහලේ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ උදුනක දවස් දෙකකට සැරයක් කසළ ගිනි තියනවා. ඒවා පැය 12ක් විතර පත්තු වෙනවා. එයින් පිටවන දුම දරාගන්න අමාරුයි, හරිම ගඳයි. අපි ඉන්න ඇදන් මතට ඒ දුමත් එක්ක කළු පැහැති කුඩු වගයක් වැටෙනවා. කුණු ගිනි තියන දවස්වලට අපිට කෑම එකවත් කන්න බෑ. අපිට විතරක් නෙවෙයි මෙහි සේවය කරන අයත් ගොඩක් අපහසුවෙන් ඉන්නේ. අපි වගේ රෝගීන් ඉන්න තැනක මේ වැඩේ කරන එකෙන් අපි නොමරා මරනවා. මේ ගැන වගකිවයුතු අංශයන්ගේ අවධානය යොමු කර අපේ ජීවිත බේරලා දෙන්න.

නේවාසිකය ප්‍රතිකාර ලබමින් සිටින කේ එම් බණ්ඩාරනායක මහතා - අපි ප්‍රථිකාර ගන්න අාවේ සාමාන්‍ය ස්වසන රෝගීන් ලෙසයි. අපේ වාට්ටුවේ එක් පැත්තක සාමාන්‍ය ස්වසන රෝගීන් හා අනෙක් පැත්තේ ක්ෂය රෝගීන් ප්‍රථිකාර ලබනවා. අපි දෙගොල්ලම වාගේම මෙම දුමත් එක්ක එන දරාගන්න බැරි ගඳෙන් හා සුලඟත් එක්ක අපේ ඇඳන් මතට හා කැමවලට වැටෙන දහනය වු අපද්‍රව්‍ය වල කුඩා කොටස් නිසා ඉන්නේ හරිම අපහසුවෙන්. මේ වාට්ටුවේ කාර්ය මණ්ඩලයද සේවය කරන්නේ කැමැත්තෙන් නෙවෙයි. මෙම අපහසුතාව ගැන රෝහල් බලධාරීන්ව කිහිපවිටක් දැනුවත් කරත් වැඩක් වෙලා නෑ.

අපි නම් තව ටික කාලයයි ඉන්නේ. අපිට පස්සේ එන රෝගීන්ටවත් මෙම ගැටලුව අත් නොවන්න ඕනා.

තව ටික කාලයක් ගියාම කාර්ය මන්ඩලයත් රෝගීන් වෙන එක නවත්වන්න බෑ. අපි බලධාරීන්ගෙන් වෙන මොනවත් ඉල්ලන්නේ නෑ. මේ ගැටලුවට කඩිනමින් විසදුමක් ‍ෙදන්න කියලයි.

මාතලේ දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂක අනුර වික්‍රම මහතා- ස්වසන රෝගී ඒකකයක් ආසන්නයේ කසළ ධාවකයක් පිහිටුවා තිබීම මමත් අනුමත කරන්නේ නෑ.

නමුත් මෙය වසර ගණනාවකට පෙරයි ඉදිකරලා තියෙන්නේ. මේ ගැටලුව පිළිබදව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කරලා තියනවා. මේ ගැටලුවට විසදුමක් ලෙස වෙනත් ස්ථානයක නවීන තාක්ෂණයෙන් යුතු කසළ ධාවකයක් පිහිටුවීමට රුපියල් දසලක්ෂ 6.5ක මුදලක් වෙන් කරලා තියනවා. එය ඉදිකළ විට මෙම ගැටලුවට විසදුම් ලැබෙයි .

මාතලේ මධ්‍යම සමූහ
සිරි අබයසිරි

නව අදහස දක්වන්න