හම්බන්තොට වන අලි රක්ෂිතයේ අක්කර ගණන් වන විනාශය දිගටම | දිනමිණ

හම්බන්තොට වන අලි රක්ෂිතයේ අක්කර ගණන් වන විනාශය දිගටම

ලුණම සමූහ සනත් ගමගේ

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට වෙන්කරන ලද කැලෑ ඉඩම් අක්කර ගණන් දිනෙන් දින ඉවක් බවක් නැතිව කපා දැමීම සිදුවන අතර, අලි කළමනාකරණ රක්ෂිත ප්‍රදේශය නීත්‍යානුකූලව ගැසට් කිරීම ද දිනෙන් දින කල් යෑම හේතුවෙන් හම්බන්තොට වල් අලි ගම්වැදීම නතර කර ගැනීමට නොහැකි වී ඇති බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී ජේ. ඒ. පී විජයකුමාර මහතා පැවැසීය.

හම්බන්තොට, අම්බලන්තොට, සූරියවැව, තිස්සමහාරාමය, ලුණුගම්වෙහෙර යන ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාසවල ගම් රැසක් නිරන්තරයෙන් වන අලි තර්ජනවලට ලක්ව ඇත. සූරියවැව ඒ අතර ප්‍රධාන තැනක් ගනී.

මෙම කලාපයේ දළ වශයෙන් වන අලි 300-400ක් සිටින අතර අලින්ගේ සියලු කැලෑ මේවන විට සංවර්ධනය සමඟ අලින්ට අහිමි වී තිබේ.

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිත ප්‍රදේශයක් ලෙස වෙන් කර ගැසට් පත්‍රයක් මගින් වනජීවී දෙපාර්තුමේන්තුවට පැවැරීමට අවශ්‍ය මූලික හා අවසන් කටයුතු සිදු කර වසර ගණනාවක් ගත වුවද එය තවමත් කථා බහට පමණක් සීමා වි අදාළ ප්‍රදේශ ගැසට් නොකිරිම නිසා එම ප්‍රදේශවල සිදුවන මිනිස් ක්‍රියාකාරකම් වලට එරෙහි වීමට වනජීවී දෙපාර්තුමේන්තුවට හැකියාවක් නොමැති වී ඇති බව විජය කුමාර මහතා කීය.

මෙම කලාපයට අයත් භූමි ප්‍රදේශ දිනෙන් දින අක්කර 10 සිට 50 ක් දක්වා කැලෑ ප්‍රදේශ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන කැලය කැපීම සිදු කරන හෙයින් රක්ෂිත ප්‍රදේශය දිනෙන් දින අඩුවන අතර එම ප්‍රදේශවල සිටින වන අලි ද ගම්වැදීම සිදු වේ.

හම්බන්තොට ගොන්නොරුව පාරේ යාබද කැළෑ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මීටර් 10ක් පමණ කැළෑ තීරුවක් ඉතිරි කර කැලය ඇතුළට වෙන්න මෙලෙස කැලය කැපීම සිදු කරන්නේ මාර්ගයේ යන එන අයට කැළය කැපීම සිදුවන බවක් නොපෙන්වීම සඳහා ය.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා - රක්ෂිත ප්‍රදේශයේ කැලය එළිකරන අය ගනැ වහාසොයා බැලීමට හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්වරියට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඇතැම් අයට නීත්‍යානු‍කූල බලපත්‍ර මෙම ඉඩම්වලට තිබෙනවා. යෝජිත අලි කළමනාකරණ රක්ෂිත ප්‍රදේශයට වෙන් කිරීමට හා එය ගැසට් කිරීමට අදාළ අමාත්‍යංශ මේවන විට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා

නව අදහස දක්වන්න