එතෙර මෙතෙර වෙළෙඳාමේ කලාපයේ එක වීමට | දිනමිණ

එතෙර මෙතෙර වෙළෙඳාමේ කලාපයේ එක වීමට

ජයසිරි මුණසිංහ

 පුළුල් ආර්ථික දැක්මක්

ශ්‍රී ලංකාව එතෙර මෙතෙර වෙළෙඳාමෙන් කලාපයේ ප්‍රමුඛයාවීමට ක්‍රියා කළ යුතු වැඩපිළිවෙළ සකස් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඩොලර් මිලියන 12ක් ලැබී ඇතැයි උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කරයි.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක වෙළෙඳ හවුල, හාවර්ඩ් විශ්වවිද්‍යාල හා මෙරට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගේ අනුදැනුම මත සකස් කැරෙන මේ ප්‍රතිපත්තිය ඔස්සේ ගමන්කොට වසර 2020 දී ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බිහිකිරීම රජයේ අරමුණ බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකාවේ වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග, මංමාවත්, ජලය, විදුලිය, සන්නිවේදන ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණු කැරෙන අතර, නව කර්මාන්තපුර රාශියක් ‍රටපුරාම බිහිකරන බවද සුජීව සේනසිංහ මහතා කීය.

ව්‍යාපාර පහසුකිරීමේ දර්ශකයෙන් ඉදිරියට ඒම පිළිබඳව කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මාර්ග සිතියම එළිදැක්වීමේ උත්සවයෙන් පසුව පැවැති මාධ්‍ය හමුව අමතා අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ කීය.

ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම, ජාත්‍යන්තර වෙළෙඳාම, ආයෝජන දිනා ගැනීමට විශාල රුකුලක්, සම්පතක්. මේ උතුම් පිහිටීමෙන් අපි නිසි ප්‍රයෝජන ගෙන නැහැ. ඒ නිසා තමයි අප අද වනවිට අපනයන ආදායමෙන් අඩු රටක් වී ත‍ිබෙන්නේ.

මේ තත්ත්වයෙන් මිදී වේගයෙන් අපනයන ආදායම වැඩිකර ගන්නට මඟ කියාදීමට ජාත්‍යන්තර ප්‍රජාව අද අප සමඟ එකතුවී තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගෙන රට දියුණු කිරීම අපගේ යුතුකමයි.

ඉතා ඉක්මනින් අපි කළුතර දිස්ත්‍රික්කයේ නව කාර්මික කලාපයක් පිහිටුවනවා. ඒවාගේම මුළු රටේම සෑම පළාතකම මේ කලාප ගොඩනඟනවා. ඒවා සිදුකරන්නේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘති ලෙසයි. රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

පොතපතේ දැනුම, යන්ත්‍රෝපකරණ සහ කරුණු දෙක එකට එක්කළ කාර්මිකකරණයක්, කර්මාන්තකරණයක් අපේ රටේ ගොඩනැඟී නැහැ. යුරෝපයේ මේ දේ තිබෙනවා. එවන් දියුණු රටවල තිබෙන නව ක්‍රමවේද අපේ රටට හඳුන්වාදීමයි අද දවසේ අපේ වගකීම යැයිද සුජීව සේනසිංහ මහතා පැහැදිලි කළේය.

 

 

නව අදහස දක්වන්න