අනාදිමත් කාලයක සිටම ශ්‍රී ලංකාවේ ලුණු භාවිතය තිබී ඇතත් ඒ අතරින් හම්බන්තොට ඉස්තරම්ම ලුණු නිෂ්පාදනය කරන ප්‍රදේශය බවට අමුතු පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවේ. මුහුදු ජලය පහසුවෙන් සපයාගත හැකිවීම, ලුණු නිෂ්පාදනයට උචිත වියළි කාලගුණයක් වසරේ වැඩි කාලයක් පැවතීම හා ඒ සඳහාම උචිත පොළොවක් පිහිටීම ආදී කාරණා අතින් රටේ සෙසු ලුණු උපදවන ප්‍රදේශ අභිභවා හම්බන්තොට පෙරට එයි.
රටේ මුළු ලුණු අවශ්‍යතාවෙන් 70% ක් ඉක්මවූ ප්‍රතිශතයකට ලුණු නිෂ්පාදනයට දැනටමත් හම්බන්තොට ලුනු ලේවාය සමත්ව සිටී. වර්ෂ 2020 වනවිට ඉන්දියාවෙන් තවදුරටත් ශ්‍රී ලංකාවට ලුණු ගෙන්වීමට වුවමනා නැති බවත් ඒ වනවිට රටම ලුනුවලින් ස්වයංපෝෂිත කරන බවත් ලංකා සෝල්ට් ආයතනයේ සභාපති අයුබ් ඛාන්, එහි උප සභාපති කීර්ති මුණසිංහ ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ප්‍රමුඛ සේවක පිරිස රටට කියන්නේ අභිමානයෙනි.
මේ ලුණු නිෂ්පාදනය ආහාර හිඟවලට රස කාරකයක් ලෙස එක්කරනවා පමණක්ම නොවේ මනුෂ්‍ය ශරීරයේ පෝෂණය හා වර්ධනයට අත්‍යවශ්‍ය ලුණු පෝෂ්‍ය පදාර්ථ සෛල තුළට ප්‍රවාහනයට මහෝපකාරී වන්නකි. බොහෝ ක්‍රියාකාරකම්වලදී සෝඩියම් මඟින් සෛල තුළ තරල පරිමාව පාලනය කිරීමත් අම්ල හා භෂ්ම සමතුලිතතාව ඇතිකිරීමෙන් සිරුරේ චලනයන් පහසු කරවීම කරයි. ශරීරය තුළ ස්නායු තරංග පරිවහනය කරන ලුණු හිඟවීම බර අඩුවීම, මුහුණේ පිරුණු බව අඩුවීම, ඇස් ගිලී සම අඳුරු පැහැගැන්වීම සේම සම එල්ලා වැටීමටත් හේතුවන්නක් බව වෛද්‍ය පර්යේෂණවලදී හෙළිදරව් කර ගන්නා ලද්දකි.
ඉන් නිම නොවන ලුණුවල කාර්යභාරය මේ වනවිට හම්බන්තොට සෝල්ට් ලිමිටඩ් වෙතින් වඩාත් පුළුල් කරමින් සිටී. ඒ අනුව එයින් කෘෂිකර්මාන්තයට පොහොරක් වශයෙන් ලුණු සැපයෙන අතරම ජිප්සම් සහ ආටීමියා වශයෙන් ලුණු නිෂ්පාදන ක්‍රියාවලියේදීම විවිධ පියවර තුළදී ලැබෙන අතුරු නිෂ්පාදන හරහා විශාල ධනස්කන්ධයක් රටට එක්රැස් කර ගැනීම පිණිස කටයුතු සිදුකෙරේ. ඒ කාරම් ජලය, ජිප්සම් හා අනෙකුත් ඉවතලන සබන්, කෝස්ටික් සෝඩා, මාගරින් සහ කඩදාසි ආදිය නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය වශයෙන් ගත හැකිවීමයි.
විශේෂයෙන්ම සුරතල් මත්ස්‍ය කර්මාන්තයේදී මසුන්ගේ අහරක් වන ආටිමියා මඟින් විශාල ධනයක් රටට ඉපිදවිය හැකිය. ඒවා අපනයනය කිරීමටත් ඉදිරියේදී ඉඩ පෑදෙනු ඇත්තේය. ඒ ශීඝ්‍රයෙන් නිෂ්පාදන පුළුල් කෙරෙන හම්බන්තොට මහ ලුණු ලේවායේත් එහිම පරිවාර ලේවායන් වන බුන්දල සහ පලටුපානට අයිති අක්කර දෙදහස් හයසියයක වපසරියක් දක්වා ලුණු නිෂ්පාදන ඉහළ නංවන්නට පියවර ගනිමින් සිටියි. කාරම් ජලය උපයෝගි කොටගෙන නිපදවා චීනයට අපනයනය කිරීමට පාන වර්ගයද එවන් තවත් සුබවාදී අපේක්ෂාවකි.
ජිප්සම් සිමෙන්ති නිෂ්පාදනයේදී යොදන අමුද්‍රව්‍යයක්, ලුණු නිෂ්පාදන ක්‍රියාවලියේදී උපදින ක්ලොරින් ජල පිරිපහදුවක්, ගිනි නිවන ද්‍රව්‍යයක්, පී.වී.සී, භාණ්ඩ නිපදවීමට ගන්නා අමුද්‍රව්‍යයක් වගේම විවිධ කෘමි නිෂ්පාදනවලටත් යොදාගැනෙනවා. පේෂකර්ම සහ ඇඟලුම් කර්මාන්තවලටත් විරංජන කුඩු නිෂ්පාදනයටත් ලුණු නිපදවීමේදී උපදින සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උපකාරි වෙනවා.
දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් SLS සහ ISO 9001 හා 22000 ප්‍රමිති සහතික හිමිකරගත් ලංකා සෝල්ට් ලිමිටඩ් වෙතින් සාඩම්බරයෙන් යුතුව ශ්‍රී ලාංකිකයන්ට පිදෙන ආහාර සුරක්ෂිතතා සහතික දිනූ සෞඛ්‍යාරක්ෂිත දේශීය ලුණු නිෂ්පාදනයයි.
වෙළෙඳ පොළේ පවතින අඩුම මිලට උසස්ම තත්ත්වයෙන් අයඩින් මිශ්‍ර ලුණු, මේස ලුණු ලක්ලුණු ලේබලයෙන් වෙළෙඳ පොළේ අලෙවි කෙරේ.
මුලින්ම ජලාශගත කරන මුහුදු ජලය ඉනික්බිතිව කෘත්‍රීම තටාකවලට පුරවාගනී. අනතුරුව තව තවත් පරිවාර ගැඹුරු හා නොගැඹුරු තටාක තුළදී මුහුදු ජලය වාෂ්පීකරණය කෙරේ. වේලිවලින් එකිනෙක වෙන්කෙරෙන ඒ තටාකවල පාත්තිවලින් අන්තිමේදී කඩා වෙන්කරගන්නා ඝන ලුණු කොටස් එතැනින් පසුව සයමසක පමණ කාලයක් ත්‍රපීසියමක හැඩයට ගොඩගසා තබන්නේ ඒවායේ අඩංගු මැග්නීසියම් ලවණ ඉවත් කිරීමටය. එය ලුණු අට්ටි කිරීම ලෙස හඳුන්වයි.
අට්ටි කළ ලුණු ඉල්ලුම මත ලංකා සෝල්ට් කර්මාන්ත ශාලාවේදී සකස් කරන ආකාරය විශේෂයෙන් පාසල් දරුවන් ඇතුළු කාටත් වැදගත් අවස්ථාවකි. එහිදි නිරන්තර පරීක්ෂාවට ලක්කෙරෙන ලුණු කර්මාන්ත ශාලාව තුළදී විවිධ අවස්ථාවලදී පිරිසුදු සහ වැඩි දියුණු කිරීම්වලට ලක්කෙරෙමින් යන්ත්‍ර ඔස්සේ ඒ ඒ නිෂ්පාදනවලට හැරේ. ලුණු කැට සහ කුඩු වශයෙන් ප්‍රධාන වශයෙන් නිවසේ මුළුතැන්ගෙයට පැමිණේ.
මේ දිනුම් ලැබුවත් වසර දෙකහමාරකට පමණ කලින් වර්තමාන පාලනාධිකාරිය ලංකා සෝල්ට් ආයතනය බාරගන්නා විට පැවැති තත්ත්වය තවදුරටත් එම පිරිස විස්තර කළේ මෙලෙසිනි.
මීට වසර දෙකහමාරකට කලින් මිලියන 333 ½ ක් ණය බරින් පිරුණු රාජ්‍ය ආයතනයක් තමයි අපි යහපාලන රජයෙන් පත්වූ කළමනාකාරිත්වය විදියට බාරගත්තේ. ඒ ලංකා සෝල්ට් කියන ණය කන්ද අපි දැන් ගෙවා දමලා හමාරයි. ඒ රජයෙන් මුදල් නොගෙන. දැන් අපි රජයට ආදායම් උපදවාදෙන රාජ්‍ය ව්‍යාපාරයක්. පලටුපාන ලේවාය උකස් කරලා ඒ උකස සින්න වී තිබුණු තත්ත්වයකදියි අපි ලුණු සමාගම බාර ගත්තේ. ඒත් අද අපි රටට ණය නැහැ. ස්ථිර සේවකයන් 900ක් පමණ සිටියා. අනියම් සේවකයන් ඇතුළුව ඒ ප්‍රමාණය 1200ක් පමණ වෙනවා. ඊට අමතරව ලුණු කඩන කාලයට තවත් විශාල පිරිසකට අමතර රැකියා ලැබෙනවා. ඉන්දියාවෙන් ලුණු කඩන යන්ත්‍රයක් රුපියල් කෝටියකට ගෙන්වලා අපිට ලුණු අස්වනු කඩාගත හැකියි. ඒ වගේ යන්ත්‍ර දෙකක් ගෙන්නුවාම ලුණු කඩන්න තවත් මිනිස් ශ්‍රමයක් අවශ්‍ය නෑ. ඒත් රජයේ සමාගමක් විදියට ලංකා සෝල්ට් අපේ රටේ වැඩි පිරිසකට රැකියා සැපයීමේ වැදගත්කම අවබෝධ කරගෙන සිටින්නේ. ඒත් වර්තමානයේ ලැබූ ශීඝ්‍ර දියුණුවට ඇතැම් පටු අරමුණු සහිත දේශපාලන ව්‍යාපාර සහ තරගකාරී සමාගම් ඊර්ෂ්‍යා කරනවා. ඒ මත පිහිටා නොයෙක් බොරු දෝෂාරෝපණ ලක්ලුණු පැකට්ටුවට එල්ල කරනවා. ඒත් ඒවා පුහු තර්ක විතරක් මිසෙක ඔප්පු කළ හැකි ඒවා නොවෙයි. මේ නිසා ‘ලක්ලුණු’ පිළිබඳ ඔබ තැබූ විශ්වාසය අපි හැමදාමත් දිවිහිමියෙන් රකින බව වගකීමෙන් කියනවා...’
නව අදහස දක්වන්න