බුදු දහමට හිමිතැන කිසිදු වෙනසකට ලක් කරන්නේ නැහැ | දිනමිණ

බුදු දහමට හිමිතැන කිසිදු වෙනසකට ලක් කරන්නේ නැහැ

ශ්‍රි ලංකා ජන රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය කිසිලෙසකින් අඩුකිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද(06) අවධාරණය කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස තමන් කටයුතු කරන තාක්කල් එවැනි ක්‍රියාවකට ඉඩ නොතබන බවත් අගමැතිවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය වෙනස් කරන කිසිඳු කෙටුම්පතක් හෝ වාර්තාවක් මෙහෙයුම් කමිටුව ඉදිරිපත් කර නොමැති බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද එම ස්ථාවරයේ සිටින බව අවධාරණය කළ අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බුද්ධාගමට හිමි තැන වෙනස් නොකරන ස්ථාවරයේ සිටින බව මෙහෙයුම් කමිටුවට ප්‍රකාශ කර ඇති බවත් අගමැතිවරයා පැවසීය.

එමෙන්ම සියම් නිකාය මල්වතු පාර්ශ්වයෙන් කඩන්නට උත්සාහ කළ විට අද කෑ ගසන කීදෙනෙක් එදා කෑ ගැසූවාදැයි අගමැතිවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රශ්න කළේය.

පසුගිය 28 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයකදී නවවැනි ව්‍යවස්ථා සංශෝධනය කරන වාර්තාවක් බෙදාදී ඇති බවට දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු වලට ප්‍රතිචාර දක්වමින් අගමැතිවරයා එසේ පැවසීය.

එම සම්මන්ත්‍රණයේදී ව්‍යවස්ථා‍ සම්පාදක කමිටුව විසින් බෙදාදුන් සියළු වාර්තා සභාගත කළ අගමැතිවරයා මෙවන් වාර්තාවක් ඉදිරිපත්කර නොමැති බවත් ව්‍යවස්ථා සම්පාදක අනු කමිටු වාර්තා හයක් මේ වනවිට ඉදිරිපත් කර ඇති බවත් ඒවාද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

(ස්වර්ණා විජේකෝන්,රෝෂන් තුෂාර,මහින්ද අලුත්ගෙදර)

නව අදහස දක්වන්න