ව්‍යවස්ථාවෙන් ඒකීය භාවයට බුද්ධාගමට හානියක් නෑ | දිනමිණ

ව්‍යවස්ථාවෙන් ඒකීය භාවයට බුද්ධාගමට හානියක් නෑ

අසේල කුරුළුවංශ
එස්.කේ. සමරනායක

‍රටේ ඒකීය භාවයට හා බෞද්ධාගමට හිමි ප්‍රමුඛතාව යන මූලික වගන්ති වලට හානි වන ආකාරයේ ව්‍යවස්ථාවක් රජය කිසි විට‍කත් ගෙන නොඑන බවත් ඒ පිළිබඳ කිසිදු සැකයක් හෝ බියක් තබා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවත් ජනපති මෛත්‍රිපාල සිරි‍සේන මහතා ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරුන් හමුවෙහි ඊයේ (06) පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් හෝ කර නොමැති බැවින් ඒ පිළිබඳ

අනියත බියක් ඇතිකර ගත යුතු නොමැති බවත් ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙන්ම සෙසු ආගමික නායකයින්ටද මහ ජනතාවට ඉදිරිපත් කර අදහස් හා යෝජනා ගෙන යළි වෙනස් කම් කිරීමට රජය ක්‍රියාකරන බවද ඒ මහතා කීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහනුවර ජනපති මැදුරේදී ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය බැහැදැක උන්වහන්සේලා සමඟ පැය දෙකකට ආසන්න කාලයක් පුරා සාකච්ඡාවක නිරත විය.මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ඤාණරතන, රාමක්ඤ මහ නිකායේ මහ නායක නාපාන පෙමසිරි යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ මහ සංඝරත්නයත්,අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ,මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක,මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ව්‍යවස්ථා කෙටුම්පත සකස් කළ පසු එය කඩිමුඩියේ සම්මත කිරීමේ කිසිදු අවශ්‍යතාවක් රජයට නොමැති බවත් එහි අන්තර්ගතය සම්බන්ධයේන අදහස්,යෝජනා,විවේචන ඉදිරිපත් කිරීමට සැමට අවකාශ ලබා දෙන බවත් මෙහිදී ජනපතිවරයා මහ සංඝරත්නයට දැනුම්දී ඇත.

ත්‍රෛනිකායික මහ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය එකඟතාවකට පැමිණ සකස් කළ ලියවිල්ලක් යෝජනා මාලාවක් ලෙස ජනපතිවරයාට මෙහිදී බාරදී තිබේ.

නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අනවශ්‍යය බවත් අවශ්‍ යනම් මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් කිරීම වරදක් නොමැති බවත් ඇතුළු කරුණු ගණනාවක් අඩංගු ලියවිල්ලක් ජනපතිවරයාට බාරදුන් බවත් එයට ජනපතිවරයාගේ ප්‍රතිචාරය ඉතා යහපත් එකක් වූ බවත් අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍යය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද හිමියෝ කීහ.

සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා වලියේ ඇති කරුණු සම්බන්ධයෙන් ජනපතිතුමන්ට ක්ෂණික විසඳුම් ලබාදිය නොහැකි නමුත් එතුමා එම කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන බවට සංඝරත්නය හමුවේ පො‍රොන්දුවූ බවත් ආනන්ද හිමියෝ පැවසූහ. 

නව අදහස දක්වන්න