හොර ඩොලර් නෝට්ටු ගැසූ ජාවාරමුන් 5ක් අල්ලයි | දිනමිණ

හොර ඩොලර් නෝට්ටු ගැසූ ජාවාරමුන් 5ක් අල්ලයි

විජයානි එදිරිසිංහ
උපාලි කරුණාරත්න

ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමක සුළ මුල සොයා ගත් පේරාදෙණිය පොලිසිය එම ඩොලර් මුද්‍රණ කොළ රැගෙන යමින් සිටි ජාවාරම්කරුවන් පස් දෙනකු නවීන පන්නයේ මෝටර් රථයක් සහ ඩොලර් මුද්‍රණය කරන කොළ තොගයක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාජ ඩොලර් ලෙස සකස් කර හොර රහසේ මුදා හැරියේ නම් එහි වටිනාකම රුපියල් කෝටි 13ක් පමණ වටිනා බවද පොලිසිය කියයි.

විදේශිකයකුගේ සහයෝගයෙන් මෙම ජාවාරම කරගෙන යන අතර මෙම ජාවාරම්කරුවන්ට එම ඩොලර් පත්‍රිකා පේරාදෙණියේ රසායනාගාරයක දී සකස් කිරීමට සැලසුම් කර තිබූ බවද පොලිසියට හෙළිවී ඇත.

ඊයේ පස්වරුවේ පේරාදෙණියේ එක් ස්ථානයක මෙම ජාවාරම්කරුවන් එකතුවන බවට ලැබුණු තොරතුරු මත එම ස්ථානය අසළ රැකවල්ලා සිටි පොලිසිය මෝටර් රථ දෙකෙන් ඩොලර් කොළ රැගෙන යාමට පැමිණි සැකකරුවන් පස් දෙනා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් මහනුවර අවට පදිංචිකරුවෝ වෙති. මොවුන් මෙම ජාවාරම මීට පෙරද සිදු කර ඇතැයි සැකකරන පොලිසිය මොවුන්ගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

නව අදහස දක්වන්න